UGC පිස්සු කෙළියි… සරසවි සිසුන් 150 සරසවි වරම් අහිමි වේ…

sabaragamuwaසබරගමු විශ්විද්‍යාලයේ සනාතන සභාව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අරත ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස උසස්පෙළට අලුතින් හදුන්වා දුන් තාක්ෂණවේදය විෂය ධාරාවෙන් සරසවි ප්‍රවේශ සුදුසුකම් ලද සිසුන් 150 ගේ සරසවි අධ්‍යාපන අයිතිය අහිමි කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ කැබිනට් අනුමැතිය ද සහිතව කලින් ඉදිකිරීමට සියල්ල සැලසුම්කළ  සබරගමු සරසවියේ තාක්ෂණ විද්‍යා පීඨය ආරම්භ කිරීමට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් වැලැක්වීමය.  ඒ අනුව මේ වසරේ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ඇතුළත් කරගැනීමට තීරණය කර තිබූ  සිසුන් 1825 න් ඇතුළත් කරගනු ලබන්නේ 1675 ක් පමණි.

තාක්‌ෂණවේදය විෂය ධාරාව  යටතේ සිසුන් ප්‍රථම වරට උසස්පෙළ විභාගයට පෙනී සිටියේ  පසුගිය වසරේදීය.  මේ විෂය ධාරාව යටතේ සිසුන් දොළොස්‌ දහසක්‌ පමණ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් 7800 කට අධික පිරිසක්‌ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබා සිටියහ.  පවතින තත්වය යටතේ එම විෂය ධාරාවෙන් සිසුන් 2200 ක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට මුලින් සැලසුම් කර තිබිණි. නමුත් සියලු විශ්වවිද්‍යාලවල තත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව බදවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 1825 ක් බව ප්‍රකාශ විය. අවසානයේ බදවා ගැනීමට සිදුවී ඇත්තේ 1675 කි. අවසාන කප්පාදුවෙන් අනතුරුවත් සරසවි වරම් ලද සිසුන් 150 අධ්‍යාපන අයිතිය අහිමිකළ ඒ කතාව සැකවින් මෙසේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේද අනුමැතිය මත විශ්ව විද්‍යාල 10 ක තාක්ෂණ විද්‍යා පීඨ ආරම්භ කිරීමට සැලසුම් විය. සබරගමුව සරසවියේ තාක්‌ෂණ පීඨය රත්නපුරයේ පිහිටුවීමට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේද අනුමැතිය සහිතව  සියල්ල සැලසුම් කර තිබිණි. පසුව එම පීඨය රත්නපුරයේ නොව බෙලිහුල්ඔය පඹහින්නේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේම ආරම්භ කරන ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව  දැනුම් දුන්නේය.  සිසුන්ගේ අනාගතය වියවුල් කළ ගැටලුව ඇතිවූයේ එතැන් සිටය.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එරෙහිවනවිට රත්නපුරයේ  මෙම තාක්ෂණ විද්‍යා පීඨයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා රුපියල් දශ ලක්‌ෂ 1065 ක ඇස්‌තමේන්තුව වෙනුවෙන් කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියද ලැබී තිබිණි. පඹහින්නේ මෙම තාක්‌ෂණ පීඨය ආරම්භ කරන ලෙස ප්‍රතිපාදන කොමිසම දැනුම් දුන්නද එය ප්‍රායෝගික නොවන හෙයින් පීඨය එහි ස්‌ථාපිත කිරීමට එකඟ නොවන බවට සබරගමුව විශ්වවිද්‍යාලයීය සනාතන සභාව තීරණයක්‌ද ගෙන තිබේ. මෙම තත්ත්වය මත මින් ඉදිරියට හෝ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්‌ෂණ පීඨය ස්‌ථාපිත කළ නොහැකි බව එහි ආරංචි මාර්ග කීවේය.

මෙවර සබරගමුවට ඇතුළත් කිරීමට නොහැකි වන සිසුන් 150 දෙනා වෙනත් විශ්වවිද්‍යාලවල තාක්‌ෂණ පීඨයන්ට ඇතුළත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා  ප්‍රකාශ කළද නියමිත සිසුන් සංඛ්‍යාව හැර අමතර සිසුන් බඳවා ගැනීමට එකඟතාවක්‌ හෝ පහසුකම් හෝ නැතැයි විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරු “දිවයින”ට පැවසූහ.

 

සබැඳි පුවත්

2 thoughts on “UGC පිස්සු කෙළියි… සරසවි සිසුන් 150 සරසවි වරම් අහිමි වේ…

  • September 8, 2016 at 5:47 pm
    Permalink

    දැන් මේ හොර සහතික දීපූ (කොන්/ගොන්) දොස්තරලට මොකද වෙන්නේ

    Reply
  • September 8, 2016 at 6:37 pm
    Permalink

    මේ ආචාර්ය මහාචාර්ය ගොල්ල මොකද කරන්නේ-අහිසක ළමුන් ගේ ජීවිත

    Reply

Leave a Reply

Your email address will not be published.