එන්න… ධනංජයලාගෙන් ඉගෙන ගන්න….

Sri Lanka's Dhananjaya de Silva celebrates scoring a hundred during the first day of their third test cricket match against Australia in Colombo, Sri Lanka, Saturday, Aug. 13, 2016. (AP Photo/Eranga Jayawardena)

ධනංජය මධුරංග සිල්වා තවම 24 හැවිරිදිය. හම්බන්තොට දෙබරවැව මධ්‍යමහා විද්‍යාලයෙන් ජාතියට දායාද කළ තවත් විශිෂ්ටයෙක් ඊයේ ස්වකීය ජවය හා තම ක්‍රිකට් අනාගත ප්‍රභාව ලෝකයට පෙන්වූයේය. ඒ කුජීතව ලකුණු 27 කඩුලු 5 දැවී කුජීත්ව සිටි අපේ කණ්ඩායම ගෞරවාන්විත තැනකට ඔසවා තබමින් රැස්කළ විශිෂ්ට ශතකයත් සමගය.“ ජාතියේ වාසනාවන්තම ක්‍රීඩකයා” වූ දිමුත් කරුණාරත්න පිට පිටම පස් වතාවක් මිචෙල් ස්ටාක් හමුවේ එකම තරගාවලියකදී  අඩුම ලකුණු සාමාන්‍යයකට දැවී යද්දීත් ඔහුව ආරම්භක පිතිකරු ලෙස තෝරාගත් ඇන්ජලෝ මැතිවුස්ට හා ඔහුගේ තේරීම් කමිටුවට හෙලුව වසා ගන්නට හැකිවූයේ ධනංජය සිල්වා නිසාය. ඔහුට එක්ව තවත් අනගි ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නිසාය. තම පාසල් ක්‍රිකට් සගයා තව දුරටත් ජාතිය ඉදිරියේ චාටර් නොකිරීමේ වගකීම මැතිවුස්ට ඇත්තේය. මක්නිසාද යත් ඔහුගේ අනෙක් පාසල් ක්‍රිකට් හිතවතා වූ තිසර පෙරේරාට භක්තිවන්ත වන්නට ගොස් රටේ ක්‍රිකට්වලට කළ විනාශය ප්‍රමාණවත් නිසාය.

තිසරලාටත් තුන් ඉරියව් ක්‍රීඩකයන් ගැන කියා දෙන්නට ධනංජය ගැන අපට කතා කරන්නට හිතෙන්නේ එබැවින්ය.

ධනංජය උපන්නේ 1991 සැප්තැම්බර් 6 වැනිදාය. ගම හම්බන්තොටය. මුලින්ම අධ්‍යාපනය ලබන්නේ දෙබරවැව මධ්‍යමහා විද්‍යාලයෙන්ය.   පසුව මහානාම විද්‍යාලයෙන් හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නේය.

මේ තරුණයා කරලියට එන්නේ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙසය. දකුණත් පිතිකරුවෙක් මෙන්ම දකුණතින් ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙක් ලෙස ඔහු කටයුතු කළේය. බදුරලිය ක්‍රීඩා සමාජය, කඳුරට මූන්ස්,  රාගම ක්‍රිකට් සමාජය හා ටැමිල් යුනිනයන් ක්‍රීඩා සමජය    ක්‍රීඩා කළ ධනංජය සිල්වා ශ්‍රි ලංකා ඒ සහ 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.  ඔහු ජාත්‍යන්තර තරග සඳහා ලංකාව වෙනුවෙන් මුලින්ම කැදවනු ලබන්නේ  2015 ජූලි වලදීය. ඒ පකිස්ථානයට එරෙහිව පැවති 20 විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනි. ධනංජය තම මුල්ම තරගට 2015 ජූලි මස 30 දා පකිස්ථානයට එරෙහිව මුහුණ දුන් අතර ලකුණු 31 ලබා ගත්තේය. එහෙත් තරගයෙන් ලංකාව පැරදිනි.

ධනංජයගේ මුල්ම ජාත්‍යාන්තර එක්දින තරගය වූයේ පසුගිය ජූනි මස අයර්ලන්තය හා පැවති තරගය ය. එදින ඔහු ලංකාවේ 169 වැනි එක්දින ක්‍රීඩකයා ලෙස වර්ණ දිනා ගත්තේය.

ධනංජය ද සිල්වා තවමත් සහභාගී වී ඇත්තේ තවම ටෙස්ට් තරග තුනකටය. මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ පසුගිය 26 වැනිදා පල්ලෙකැලේ දී ඔස්ට්‍රෙලියාවට එරෙහිවය. තුන්වන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී (13 දා) ඔහු සිය මංගල ශතකය  ලබා ගත්තේය.

ලකුණු 6 කින් සිය ලකුණු ගැනීම ආරම්භ කළ මුල්ම ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රීඩකයා වන්නේ ධනංජය ය. ඊයේ ( 13)   ඔහු තවත් වාර්තාවක්  තැබුවේය. ඒ හත්වන පිතිකරුවා හෝ ඊට පහළින් පිටියට පැමිණ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් වාර්තා කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසය.  මීට පෙර එම දස්කම කර ඇත්තේ රොමේෂ් කලුවිතාරණය. ඒ 1992 වසරේදියි. එම වාර්තාවද තැබුවේ එස්සස්සී පිටියේදීය.

අප මෙතෙක් ලද අත්දැකීම් අනුව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු වෘත්තීය මට්ටමේ පන්දු යවන්නෙක්, පිතිකරුවෙක් හෝ පන්දු රකින්නෙක් නොවන ප්‍රාථමක කලවමක විකෘති ස්වරූපයක්ය. එහෙත් ධනංජයලා, ඩිල්රුවන්ලා මෑතක සිට අපට ඒ විකෘතිය වෙනුවට යහපත් චිත්‍රයක් මවමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු කවරෙක්දැයි කියා දෙන්නේය. ඒ කියවීම ඉතා රසවත්ය.

(AP ඡායාරූපයකි / එරංග ජයවර්ධන )

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.