ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වාස් ගේ ගෙල සිදිති

Vaasශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ඉහළ දැමීමේ කළමනාකරු වූ සයමන් විලී ගේ නිර්දේශ ප්‍රකාරව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස යෝජනා වී සිටි චමින්ද වාස්ට එම තනතුර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පහළ වැටීමත්, වේගපන්දු යවන්නන්ගේ ළදරු මට්ටමේ පන්දු යැවීම ජාත්‍යාන්තර තලයට සමීප නොවීමත් නිසා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රමනායකව එළැඹෙන ඔස්ට්‍රෙලියාව සමග සංචාරයෙන් පසුව ඉවත් කිරීම පිළිබද සලකා බැලිමත් සමග  මේ තනතුර සදහා චමින්ද වාස්ගේ නම යෝජනා වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ඉහළ දැමීමේ කළමනාකරු වූ සයමන් විලී මේ පිළිබදව චමින්ද වාස් සමග සාකච්ඡාකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබිණි. එහෙත් වාස් පත්කරගැනීම පිළිබදව විලීගේ නිර්දේශවලට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ අදහස් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමත් සමග අර්බුදය මතුවුනේය. ඊට හේතුව මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වාස් තම වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස තෝරා ගන්නවාට විරෝධය පලකිරීමය.

මේ විරෝධතාවයට ආසන්නම හේතුව වී ඇත්තේ මීට ඉහත චමින්ද වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන විට කණ්ඩායමේ  ක්‍රීඩකයන් වූ ලසිත්දෙ මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා හා ඇන්ජලෝ මැතිවුස්  සම්බන්ධව ඉදිරිපත් කළ ශාරීරික යෝ ග්‍යතාවය පිළිබද  වූ ලද ස්වාධීන වාර්තාවන්ය. මෙහිදී වාස් ලසිත් මාලිංග සම්බන්ධව පූර්ණ වාර්තාවක් සකස් කර තිබිණි. වර්ෂ 2011 පසු මාලිංගගේ බර වැඩිවීම, කඩුලු ගැනීමේ අගය පහළ වැටීම, ඕවරයකට දල සාමාන්‍ය ලකුණු ප්‍රමාණය ඉහළ යෑම වැනි දත්ත සමග මාලිංගගේ පරිහාණිය ඒ දත්තවලින් පෙන්වා තිබිණි. තිසර පෙරේරා කණ්ඩායමේ නොසිටියයුතු තරමට ශාරීරික යෝග්‍යතා පිරිහුණු ක්‍රිඩකයෙක් බවත්, නුවන් කුලසේකර මාස 6 ක් කණ්ඩායෙමෙන් ඉවත් කර තබා ඔහුගේ ක්‍රිකට් යථාවත් කරගෙන පැමිණීමට සැලස්විය යුතු බවත් ඔහු නිර්දේශ කර තිිබිණි. මැතිවුස් වේග පන්දු යවන්නෙක් ලෙස කටයුතු කරන්නේ නම් ඒ අංශය මීට වඩා වැඩි දියුණු විය යුතු බව හෝ පන්දු යැවීම සදහා  වෙනත් වේග පන්දු යවන්නෙක් තෝරා ගතයුතු බවට ඔහුගේ නිර්දේශය විය.

කෙසේ වෙතත් ඒ වාර්තා ක්‍රිකට් ආයතනයට ලබාදීමත් සමග මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වාස් සමග බහින්බස් වීමක් ඇතිකරගෙන තිබිණි. වාස් යළි වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කිරීමට විරුද්ධ වී ඇත්තේ මේ ගැටුම උපුටා දක්වමින් කණ්ඩායමේ සංහිදියාවට ඔහු බාධාවක් විය හැකි බවට චෝදනා කරමිනි.

කණ්ඩායම ඇතුළෙන් ඇතිවූ මෙම විරෝධය හේතුවෙන් අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති අතර ක්‍රීඩකයන්ගේ ඉල්ලීම අනුව විදෙස් පුහුණුකරුවෙක් ගෙන්වා ගැනීමට ඇති ඉඩකඩ පිළිබදව ක්‍රිකට් ආයතනය සොයා බලමින් සිටින බව වාර්තා වේ.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.