දුලබ වාසනාවක් සහිත පිතිකාර යෞවනයා… අවිශ්ක ප්‍රනාන්දු

CANTERBURY, ENGLAND - AUGUST 16: Avishka Fernando of Sri Lanka U19 hits a boundary during the Royal London One-Day Series match between England U19 v Sri Lanka U19 on August 16, 2016 in Canterbury, England. (Photo by Sarah Ansell/Getty Images).

වීරහැන්දිගේ ඉනෝල් අවිශ්ක ප්‍රනාන්දු    ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා  එක් දින තරගාවලිය ඉලක්ක කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයට තේරී සිටී.  තවම 18 වන වියේ පසුවන මේ යෞවනයා   අතිශය දුර්ලභ වාසනාවක් සහිත තරුණ ක්‍රීඩයෙකි. මක්නිසාද යත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීම් ලබන්නේ පළමුපෙළ තරගවලට සහභාගීවීමටත් පෙර වීමය.

අවිශ්ක ප්‍රනාන්දු ඉපදුනේ වර්ෂ 1998 අප්‍රේල්මස 05 දාය. තවමත් පාසල් වයසය.     අතිශයම මනරම් රිද්මයක් සහිත දකුණත් පිතිකරුවෙක් මේ තරුණයා ප්‍රකටය. බොහෝ තරුණ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට්වල දොර අභියසට පැමිණ ගියහ. එහෙත් මේ තරුණ ක්‍රීඩකයා හැමතිස්සේම තමන් වෙත අවධානය යොමු කරගනිමින් එම ප්‍රවේශ දොරට තට්ටු කරමින් සිටියේය. මේ ඒ තරුණයා ගැන තොරතුරු ටිකකි.

අවිශ්ක ක්‍රිකට් ආරම්භ කළ මුල් අවධියේදී ම ඔහු ක්‍රිකට් වලින් යා හැකි දුර පෙන්විය. මේ අතර ඔහු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් වුනේය.  විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනේක පුදුම සහගත තෝරාගැනීම වූ වමතින් පා දගපන්දු යවන අමිල අපොන්සො එම විද්‍යාලයේම ඉගන ගනිමින් සිටි සිසුවෙක් වීමය.

අවිශ්ක පාසලේ 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනවිට වයස අවුරුදු 16 කි. වර්ෂ 2015 පාසල් ක්‍රිකට් වාරයේ ලකුණු 1000 ඉක්මවූ ක්‍රීඩකයෙක්වූවා සේම 19 න් පහළ ශ්‍රී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විය. 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සිය දෙවන තරගයේදීම සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දු 103 දී ලකුණු 127 ක් ලබා ගත්තේය.

බංගලාදේශයේ පැවති වර්ෂ 2016 වයස 19 පහළ අයිසීසී ලෝක ශුරතා තරගාවලියේ දී  එංගලන්තයට එරෙහිව ලකුණු 185 ක් හඹා යන්නට පිටියට පැමිණි අවිශ්ක කණ්ඩායමේ නායකයා ලෙස සිය වගකීම ඉටු කරමින් පන්දු 95 දී ලකුණු 96 ක් ලබා ගත්තේය. එම අර්ධ අවසන් පූර්ව තරගය කඩුලු 6 ලංකාව ජය ගත්තේය.

වර්ෂ 2016 දී දකුණු අප්‍රිකානු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ සංචාරය කළේය. කණ්ඩායමේ නායකයා ලෙස  අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ඉතා දුෂ්කර තත්ව යටතේ  පන්දු 115 දී ලකුණු 97 ලබා ගත්තේය.

පොදුවේ 19 න් පහළ ක්‍රිකට් තරග වලදී අවිශ්ක ඉතාම ඉහළ දක්ෂතා පෙන්වා ඇත්තේ ඔස්ට්‍රෙලියානු හා එංගලන්ත කණඩායම්වලට එරෙහිවය. 19 න් පහළ තරගාවලි වලදී ඔහු එංගලන්තය සමග තරග 6 ක්‍රිඩාකර ලකුණු 420 ක් රැස් කළේය. තරගයක ලකුණු ගැනීමේ සාමාන්‍ය 70 ක් විය. ඔස්ට්‍රෙලියාවට එරෙහිව තරග 5 දී ලකුණු 387 ක් ලබාගෙන ඇත්තේය. ලකුණු ගැනීමේ සාමාන්‍ය 61.33 ය.

ශ්‍රී ලංකා එංගලන්ත 19 න් පහළ තරගාවලිය නිමාවුනු හැටියේම අවිශ්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයට කැදවා ඇත්තේය. ඒ ආරම්භක පිතිකරුවෙක් ලෙසය. තම වයස් ඛාණ්ඩයේ ක්‍රිකට් මිස ජාත්‍යාන්තර තලයේ තබා අන්තර් සමාජ තරගයක්වත් ක්‍රීඩා කර නැති මේ තරුණයා ලොව අංක එකේ එක්දින තරග කරුවන්වන ඔස්ට්‍රෙලියානුවන් අභියස කෙසේ හැසිරේදැයි අපට තවම කියන්නට බැරිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.