මුරලි බාල්දියක් පෙරළලා… ශ්‍රී ලංකාව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණි කරයි.

MUTTIAH-MURALITHARAN-වෝන්-මුරලි කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයට දින දෙකක් තිබියදී අද (24) ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට බැණවැදී බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවී කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව වාර්තාවෙයි.

ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සඳහා නිදහස්කර නොතිබියදී මුරලිදරන් මෙම කණගාටුදායක හැසිරීම ප්‍රදර්ශනයකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කිරීමට පියවරගත් බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල   පවසයි.

මුරලිට එරෙහිව පන්දුයැවීමේදී ජත්‍යන්තරයෙන් චෝදනා එල්ලවත්දී පාලක මණ්ඩලය හා ජනතාව ඔහු වෙනුවෙන් පෙනීසිටි බවත් අද ඔහු මෙවැනි හැසිරීමක් තම උපන් රටට එරෙහිව උපන් ප්‍ර දේශයේ සිටම සිදුකිරීම කණගාටුවට කරුණක් බවද ඔහු කියයි.

වෝන් මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසාබැලිය යුතුව ඇතැයිද හෙතෙම පැවසුවේය.

මුරලිලා 10 ක් අපේ රටට එරෙහිව පන්දු යැව්වත් අපට මුරලි දැන් හිටපු ක්‍රීඩකයෙක් පමණක් බවත් වෘත්තිය අතින් ලොව ඕනෑම කණ්ඩායමකට තම දැනුම ලබාදීමට මුරලිට අයිතිය ඇති බවත් පැවසූ සුමතිපාල  මෙරට ජනතාව මෙය මුරලිගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවද ප්‍රකාශකළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් සුමතිපාල මහතා මේබව පැවසුවේය.

එහෙත් මුත්තයියා මුරලිදරන් පවසා තිබුණේ තමන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරාධනාව පිළිගත්තේ  තමන් කොපමණ ආසාවෙන් හිටියද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ සේවය ලබා ගැනීම සඳහා කිසිම ඉල්ලීමක් හෝ උනන්දුවක් නොදැක්වූ නිසා බව ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.