වරිග නම්බුව රැකගන්න එක්දින සටනට එන ඔස්ට්‍රෙලියාව…

mathiwsබලා පොරොත්තු රහිත ලජ්ජා සහගත පරාජයකින් පසු ( ටෙස්ට් තරගාවලිය 3-0 )    ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ඔස්ටේ‍්‍රලියාව තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී  වෙනසක් සදහා සැරසෙමින් සිටිති. ඒ ස්වකීය අභිමානය වෙනුවෙනි. ඇත්තෙන්ම මේ එක්දින තරගාවලිය ඔවුන්ගේ ආත්ම ගෞරවය රැකගැනීම සදහා වූ තරගාවලියකි. එක්දින සටන වෙනුවෙන් කණ්ඩායම් දෙකම ඊයේ අද ( 19) ප‍්‍රථම පුහුණු සැසිවලට සහභාගි වෙමින් සිටියහ. ඒ 21 වැනිදා තමන් අභිමුව ඇති අභියෝගය ජය ගැනීම සදහාය.   කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30 ට ආරම්භ කිරීමට නියමිතය.

‘‘අපි සියලු දේ අමතක කර දමා එක්දින තරග වෙනුවෙන් ඔලුව හදාගෙන තියෙනවා.” …ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් මාධ්‍යයට කීවේය.    ඔස්ටේ‍්‍රලියාව එක්දින සටනට පිවිසෙන්නේද ප‍්‍රසාද ලකුණු 123 ක් සමග ශ්‍රේණියේ පළමු ස්ථානයේ   සිටින අතරතුරය. එහෙත් ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 102 ක් ලබා අදාළ ශ්‍රේණියේ හය වැනි තැන පසුවේ. මෙම තරගාවලිය ශ‍්‍රී ලංකාව ජය ගතහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන දක්වා උසස්වීම් ලබන අතර ඔස්ටේ‍්‍රලියාව පරාජය වුවහොත් ටෙස්ට් ශ්‍රේණියේ සිදුවූ ඉරණම අත්විදීමට සිදුවේ.

ජයග්‍රාහී මානසිකත්වයක් සහිත ශ‍්‍රී ලංකා පිලේ එක්දින සංයුතිය තේරීම මන්දගාමීව සිදු විය. නමුත් සනත් ජයසූරියගේ ක‍්‍රිකට් තේරීම් කමිටුව නිල වශයෙන් කණ්ඩායම ප‍්‍රකාශයට පත්කිරීම කල්මරද්දී දුරකථන ඔස්සේ කණ්ඩායමේ ඒ ඒ ක්‍රීඩකයන්ට ඔවුන් එක්දින තරගාවලියට අයත් සංචිතයේ සිටින බව දැනගන්නට ලැබී තිබිණි.   .        ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිතේ තිබෙන සංයුතිය නිල වශයෙන් මුදා හැරීම මෙතරම්  අසීරු මන්දැයි මේ වනවිට මාධ්‍යය තුළ කතා බහට ලක්ව තිබේ. මේ ආකාරයට කල් මැරීම සමහර බලවතුන්ගේ චොයිස් තේරීමේ උප්පරවැට්ටියක් දැයි සැකයක් ඇතිවනු පෙනේ.  සනත් ජයසූරියගේ තේරීම් කමිටුවට රට ඉදිරියේ ඇති වගකීම තේරුම් යත්වායි කාගේත් ප්‍රාර්ථනාව වි තිබේ.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට  නවක ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක්ම එක් වී ඇත. ඒ අතර තිලකරත්න ඩිල්ෂාන්ද කණ්ඩායමට එක්වී තිබේ.   ඩිල්ෂාන් අවසන් එක්දින ඉනිම දහය තුළදී අර්ධ ශතක හතරක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකා පිලේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටී. ප‍්‍රශ්නය වී ඇත්තේ ඔහුට තවත් දෙමසකින් හතළිස් වැනි උපන්දින කේක් ගෙඩිය කැපීමට සිදුවීමයි. වයස අවුරුදු 42 දීත් මංගල ටෙස්ට් තරග අරඹපු විශිෂ්ටයන් සිටියදී ඩිල්ෂාන් තවමත් සමුගැනීමේ වගේ වගක් නැත. මම සමුගන්න තීරණය කරල නැහැ. මම හොඳින් ක‍්‍රීඩා කරන නිසා එහෙම හිතන්න අවශ්‍යතාවක් නැහැ. ඒත් සමහරුන්ට  ඕන ඇති මාව අයින් කරන්න” යැයි සංචිතය නම් කිරීමට මාධ්‍යය කළ විමසීමකදී   ඩිල්ෂාන් කියා තිබිණි.

දශක හතරකට ඉහතදී ඔස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව පළමු වරට එක්දින සටනකට සහභාගි විය. 1975 ක‍්‍රිකට් ලෝක කුසලානයේදී අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල ලකුණු 52 කින් පරාජය කිරීමට ඉයන් චැපල්ගේ ඔස්ට්‍රෙලියාවට හැකිවිය. නමුත් ඉන් වසර අටකට පසුව දෙරට යළිත් මුණ ගැසුන අවස්ථාවේ ප‍්‍රතිඵලය වෙනස් විය. දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ප‍්‍රබලයැයි සම්මතව සිටි ඔස්ටේ‍්‍රලියානුවන්   2-0 ක් ලෙස පරාජය කර ලංකාව ජය ගත්තේය. ඒ වන විට ශ‍්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා 12 මසක්වත් ගත වී නොතිබුණි. අදාළ පරාජයත් සමග ග්‍රෙග් චැපල්ගේ  ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙවර ස්ටීවන් ස්මිත්ගේ පිල මෙන් නන්නත්තාරව සිටියේය.

යළිත් 1992 දී ලංකාවට පැමිණි ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ටේ‍්‍රලියානු පිල අර්ජුන රණතුංග මෙහෙයවූ ශ‍්‍රී ලංකා පිල හමුවේ 2-1 ක පරාජයක් අත්වින්දේය. වසර 29 ක් පුරා ශ‍්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට නොහැකිව සිටි ඔස්ටේ‍්‍රලියානුවන් 2004 දී රිකී පොන්ටින්ගේ නායකත්වයට යටතේ 3-2 කින් තරගාවලිය ජයග්‍රහණය කළේය. එවකට ශ්‍රී ලංකා නායකයා වූයේ මාවන් අතපත්තුය.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැති එක්දින තරගාවලි  හයේදී ශ‍්‍රී ලංකාව තෙවරක් ජය ගනිද්දී ඔස්ටේ‍්‍රලියාව ජය ගෙන ඇත්තේ දෙවතාවක් පමණි. එක් තරගාවලියක් සම සමව අවසන්ව ඇත. කෙසේ වෙතත්   හෙට තරගය ඉතාමත් උණුසුම්ය. බෙහෙවින්ම උද්වේගකරය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.