ඩිව් ගුණසේකර රහස් පෙට්ටගමක් අවුස්සයි

D. E. W. Gunasekeraදොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර. හෙවත් අපි කවුරුත් ඩී ඩිව් ගුණසේකර යනුවෙන් හදුන්වන හිටපු ඇමතිවරයා මේ දිනවල අතීත මතක වීදි ඔස්සේ සැරිසැරීමට කලය කැප කරයි.

මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග අතර ඇතිවූ ව්රසකයේ පසුබිම පිළිබඳව ඔහු මේ තාක් බොහෝ දෙනා දැන නොසිටි බොහෝ දේ සති අන්ත පුවත් පතකට හෙළිදරව් කොට ඇත.

චන්ද්‍රිකා – මහින්ද සමග ඔබට දිගු කලක සබඳතා තිබෙනවා. ඇත්තටම ඔවුන් දෙන්නා අතර ගැටුම ඇරඹුණේ කොහොමද?
ඒක කාලයක් තිස්සේ පැවැති ගැටුමක්. පාද යාත්‍රාව අවස්ථාවේදී මාතරදී මහින්ද චන්ද්‍රිකාගේ මූණටම කුණුහරුපයෙන් බැන්නා. කවදාවත් මහින්දත් චන්ද්‍රිකාත් දේශපාලන වශයෙන් පෑහුණේ නැහැ. චන්ද්‍රිකා එදා වාමගාමීයි. මහින්ද ටිකක් දක්ෂිණාංශිකයි. එදත් ඔහු ජාතිකවාදී ස්ථාවරයේ හිටියා.

මහින්දට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීමට චන්ද්‍රිකා එකඟ වුණේ කොහොමද?
ඒ කාලයේ දවසක් චන්ද්‍රිකා මේ ගැන පැය ගාණක් මා සමග කතා කළා. ඒ වෙලාවේ ඇය කිව්වේ මහින්ද තමාගෙන් ඈත් කළේ එස්.බි. සහ මංගල කියල. එසේ නොවුණානම් මට හොඳ අගමැති කෙනෙක් කරගන්න තිබුණා කියලා කිව්වා. ඒ වෙලාවේ ජාතික වශයෙන් පදනමක් ලබාගෙන ඇත්තේ මහින්ද විතරක් නිසා මම අකමැති වුණත් මහින්දට අපේක්ෂකත්වය දෙන බව ඇය කිව්වා. මම ඇවිත් මහින්දට දුරකථන ඇමතුමක් දුන්නා. ග්‍රීන් ලයිට් එකක් ඇවිත් තියෙනවා ඒ නිසා කට වහගෙන ඉන්න කියලා මම මහින්දට කිව්වා.

ඒත් අපේක්ෂකත්වය ලැබෙන්න කලින් මහින්ද හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ක ගිවිසුම් ගැහුවා නේද?
ඔව්. ඒක ආරංචි වුණාම චන්ද්‍රිකාට කේන්ති ගිහින් තිබුණා. ඇය හමුවන්න යන්න මෛත්‍රීත්, නිමල් සිරිපාලත් බයෙන් හිටියේ. මම තමයි ඔවුන් දෙන්නා ඇදගෙන චන්ද්‍රිකා ළඟට ගියේ. අපි ගිහින් චන්ද්‍රිකා සැනසුවා. මේ ගැන මමත් මහින්ද එක්ක තරහින් හිටියේ. මේ ගැන මහින්දගෙන් ඇහුවම ඔහු කිව්වේ බැසිල් මෙන්න හාමුදුරුවෝ ටිකක් අරගෙන ආවා, මමත් අත්සන් කළා කියලයි.

චන්ද්‍රිකා මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම ගැන ඔබ දන්නවාද?
නැහැ. චන්ද්‍රිකා රැස්වීම් දෙකකට විතරයි ආවේ. ඉන් පස්සේ ඇය එක රැස්වීමකටවත් ආවේ නැහැ. ඇය මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව අපි කවුරුවත් දැන සිටියේ නැහැ. මහින්දත් චන්ද්‍රිකා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන ආකාරයට වැඩ කළා.

යුද්ධය අවසන් කාලයේදී ඔබ වැඩබලන විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස වැඩ කළා නේද?
පහුගිය අවුරුදු දහයේම වැඩබලන විදේශ ඇමැතිවරයා ලෙස වැඩ කළේ මම. රෝහිත බෝගොල්ලාගම වගේම ජී.එල්. පීරිස්ද වෙන අයෙක්ට වැඩබලන විදේශ ඇමැතිකම දෙනවාට කැමැති වුණේ නැහැ. යුද්ධය අවසන්වීමට පෙර පැවැති කැබිනට් රැස්වීම අවසන් කරලා ජනපතිවරයා, මම, තිස්ස, ජී.එල්., මහින්ද සමරසිංහ නවත්වා ගත්තා. ඒ වන විට විදේශ අමාත්‍යාංශයේ ‍ලේකම් ප්‍රසාද් කාරියවසම්ද පැමිණ සිටියා. ඒ වෙලාවේ මහින්ද කිව්වේ හෙට තමන් ජෝර්දානයට යනවා කියලා. ඒ වන විට අපි කවුරුවත් ඔහුගේ සංචාරය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වන විට බටහිර රටවලින් යුද්ධය නැවැත්වීමට හෝ කොටි නායකයින්ට පැනලා යාමට අවස්ථාවක් දීමට බලපෑම් එල්ලවෙමින් තිබුණා. ඒ වෙලාවේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඔහු කිව්වේ මේ ඇමැතිවරුන්ගෙන් අහන්නේ නැතිව කිසිම තීරණයක් ගන්න එපා කියලයි. ප්‍රසාද් කාරියවසම් දක්ෂ විශ්වාසවන්ත නිලධාරියෙක්. ඒ වෙලාවේ තමයි මෛත්‍රීපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවුණේ අපි දෙදෙනාටයි.

මහින්දගේ කැබිනට් මණ්ඩලය 2010 අවුරුද්දෙන් පසුව මොන වගේ වුණාද?
2005 සිට 2010 දක්වා ඔහු කිසිම තීරණයක් කැබිනට් මණ්ඩලයෙන් අහන්නේ නැතිව ගත්තේ නැහැ. ඒත් 2010 පසුව අමුතුම විදියකට වැඩ කළේ. හාමුදුරුවෝ ටිකක් එකතුවෙලා ඔහු දේවත්වයට පත්කළා. ජැක්සන් ඇන්තනීලා එකතුවෙලා ඔහු මහ රජාට ඇන්දුවා. ඒක ඔළුවට ගැහුවට පස්සේ ඕනම කෙනෙක් හැසිරෙන්නේ ඒ විදියට තමයි. ගෝඨාභයගේ බලපෑම් එහෙම තිබුණා. ගෝඨා ආරක්ෂක ‍ලේකම් වුණාට පස්සේ හමුදාව තුළ විනයක් ඇතිවුණා වගේම නරක පැත්තකුත් තිබුණා. ඔහුගේ වැඩ ගැන මහින්ද බැලුවේ නැහැ. ආරක්ෂාව ගෝඨාට දුන්නා. ආර්ථිකය බැසිල්ට දුන්නා. මහින්ද ජොලියේ හිටියා.

13 වැනි සංශෝධනය ඉවත් කිරීමටත් මහින්ද උත්සාහ ගත්තා නේද?
ඔව්. 13 වැනි සංශෝධනය ඉවත් කරන්න එක් වරක් උත්සාහ ගත්තා. ඒ උත්සාහය වළක්වාගත්තේ කැබිනට් මණ්ඩලයේදී මම ගිහින් විමල් වීරවංශගේ බෙල්ල මිරිකන්න හැදුවයින් පස්සේ තමයි. එක වෙලාවක ඔහු 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදාහැරීමකුත් කරනවා කියලා කිව්වා. ඒක කිව්වේත් කැබිනට් මණ්ඩලයෙන් අහන්නෙත් නැතිවයි. එහෙම කියපු මහින්දම තමයි පසුව 13 වැනි සංශෝධනය ඉවත් කරන්න හැදුවේ.

18 වැනි සංශෝධනය මහින්ද ඉදිරිපත් කරන අවස්ථාවේදී මොකද වුණේ?
ඒ වෙලාවේ අපේ පක්ෂ ඇතුළෙත් අර්බුදයක් තිබුණා. යුද්ධය අවසන් වූ වහාම ආණ්ඩුවෙන් ඉවත්වෙලා අර්බුදයක් ඇති කළ යුතු නැතැයි අපේ පක්ෂය පසුව තීරණය කළා. මේ වෙලාවේ මම මහින්ද හමුවීමට ගියා. මැරෙනකම් අගමැති වෙලා ඉන්න, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා මම ඉල්ලා සිටියා. ඒත් ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. 18 වැනි සංශෝධනයට විරුද්ධව කවුරුවත් කටක්වත් ඇරියේ නැහැ.

කඩිනම් ජනාධිපතිවරණයකට නොයන ලෙසත් එසේ ගියහොත් පරාජය වන බවත් ඔබ කල් ඇතිව කියා තිබුණා. මේ සඳහා මලිත් ජයතිලක සැකසූ විග්‍රහයත් සකස් කර තිබුණේ ඔබේ ඉල්ලීම මතයි. එවැනි දෙයක් කළේ ඇයි?
කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය ජුනි මාසයේදී රත්නපුරයේදී තිබුණා. එම සම්මේලනයට දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් සකස් කළ යුතුව තිබුණා. එයට මම අල්ලාගත්තේ මලිත් ජයතිලකයි. මලිත්ගේ තාත්තා අපේ පක්ෂයේ සාමාජිකයෙක්. මැතිවරණ ප්‍රතිඵල ඔහු විග්‍රහ කර තිබුණා. එම විග්‍රහය අනුව මහින්ද රාජපක්ෂ පරාජයට පත් වන බව ඔහු පෙන්වා දුන්නා.

මේ වාර්තාව මහින්දට පෙන්නුවේ නැත්තේ ඇයි?
අපි මේ වාර්තාව අනෙක් පක්ෂ නායකයින්ට පෙන්වා දී තිබුණා. ජාතික සංවිධායක බැසිල්, පක්ෂ මහ ‍ලේකම් මෛත්‍රීට, සන්ධානයේ ‍ලේකම් සුසිල්ට, විමල්ට පෙන්නුවා. එහෙත් මහින්දට පෙන්නුවේ නැහැ. ඒ මෙවැනි දෙයක් ඇසීමට මහින්ද රාජපක්ෂ සූදානමින් නොසිටින නිසා තමයි අපි ඔහුට එවැන්නක් පෙන්නුවේ නැත්තේ. මහින්ද කවුද කියලා මම ‍පොඩි කා‍ලේ ඉඳලා දන්නවානේ. ඔහු අසතුටු වෙන කිසිම දෙයක් අහන්න කැමැති නැහැනේ. මේ අතරවාරයේදී තමයි මහින්ද පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ. පක්ෂ නායක රැස්වීමක් කලින් මම මෛත්‍රීගෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට හේතුව විමසා සිටියා. ඔහු කිව්වේ ඉක්මනට ජනාධිපතිවරණයකට යන්න සූදානමින් සිටින නිසා මේ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි. වාසු, මම, තිස්ස තුන්දෙනාම එකට අරලියගහ මන්දිරයට ගියේ. ඒ කතාව පටන්ගත්තාම කවුරුත් බිල්ලෝ වගේ හිටියා. කවුරුවත් කිසිම දෙයක් කිව්වේ නැහැ. මට ජනාධිපතිවරණය දිනන්න බැහැ කියලා කවුද විග්‍රහයක් හදලා ඇමැතිවරුන්ට පෙන්නලා තියෙනවා කියලා ඔහු කිව්වා. ඒ වෙලාවේ මම කිව්වේ ඒ විග්‍රහය කියලා හදන්න කිව්වේ මම කියලා. අවුරුදු දෙකක් තිබියදී ජනාධිපතිවරණයට යන්න එපා කියලා මම කිව්වා. අවුරුදු දෙකකින් ඡන්දයකට ගිහින් පැරදුනොත් ගෙදර යන්න කියලා කිව්වා. මහින්දත් මේසයට ගහලා කතා කළා. මාත් මේසයට ගහලා කතා කළා. මාත් එක්ක ඇවිලුනා. එදා සාකච්ඡාවෙන් පසුව රෑ කෑමට එන්න කියලා කිව්වා. ඒත් මම කෑමට ඉන්නෙත් නැතිව අරලියගහ මන්දිරයෙන් එළියට ආවා.

ඉන්පසුව ඔහු ඔබ සමග උරණ වුණාද?
ඊට දවස් දෙක තුනකට පස්සේ මට අරලියගහ මන්දිරයට එන්න කියලා පණිවුඩයක් යවා තිබුණා. මම, තිස්ස සහ වාසු එදා අරලියගහ මන්දිරයට ගියා. එදා අපි පැය දෙකහමාරක් ඔහුට කරුණු කිව්වා. එදා වෙන්න ඇති ඔහු පැය දෙකහමාරක් වාඩිවෙලා කවුරු හරි කියන දෙයකට සවන් දෙන්න ඇත්තේ. ඔබතුමා අවුරුදු විස්සක් මේ රටේ අඛණ්ඩව ඇමැතිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා කියලා දන්නවාද ඇහුවා. අවුරුදු විස්සක් එකම ඇමැති කෙනෙක් දකිනවා නම් මිනිස්සු වෙනසක් වෙන්න ඕන කියලා විශ්වාස කරන්නේ නැද්ද කියලා ඇහුවා. ජාතික හැඳුනුම්පත මැතිවරණයකදී අනිවාර්ය කළේ කොතරම් අමාරුවෙන්ද කියලා මම ඇහුවා. ඒ නිසා කාටවත් හොර ඡන්ද දාන්න වෙන්නේ නැහැ කියලා මම මහින්දට කිව්වා. හොර ඡන්ද දාන්න අයිතිය තිබුණා නම් 2015 මැතිවරණය මහින්ද දිනනවා. එදා රැස්වීම ඉවර වෙලා එන වෙලාවේ මහින්දගේ කනට කරලා කාටවත් ඇහෙන්න නැති වෙන්න රිස්ක් එකක් ගන්න එපා කියා කියලයි ආවේ.

පැරදුණාට පස්සේ මහින්ද හමුවුණේ නැද්ද?
එක වතාවක් හමුවුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා දීම ගැන කතා කිරීමටයි. මෛත්‍රී මහින්දට නාම යෝජනා දීමට අකමැති වන විට මම මැදිහත්වෙලා තමයි නාම යෝජනා අරගෙන දුන්නේ. ඊට පස්සේ ඒ බව මහින්දට දැනුම්දීමට ඔහු හමුවුණා. මහ මැතිවරණයෙන් පසුව කවදාවත් මට ඔහු හමුවෙලා නැහැ. මැතිවරණයෙන් පස්සේ හැමෝම කාල්ටන් එකට ගිහින් ඔහු හමුවුණත් මම ගිහින් හමුවුණේ නෑ.

සාකච්ඡා කළේ සංජය නල්ලපෙරුම

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.