සාලියවැව පොලීසියේ උමතුවට උත්තර බඳින රසික සහ හසිතා

Saliyawewa Police - Rangana and Hasithaපසුගිය ජුලි මස 23 වෙනිදා රාත‍්‍රියේ දී සාලියවැව පොලීසියේ ඕ අයි සී ඇතුළු නිළධාරින් දසදෙනෙකුට අධික පිරිසක්, සිය නිවෙසට පැමිණ සිදුකළ අසාධාරණ කලබැගෑනිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට යැයි කියමින්, රසික උදයකුමාර යන සිය සොහොයුරාව සාලියවැව පොලීසියට රැගෙන ගොස් ඔහුට එරෙහිව සාවද්‍ය චෝදනා දෙකක් මත නඩු පවරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ මස 18 වෙනිදා පුත්තලම උසාවියේදි එම නඩු විභාගකෙරෙන බවත් සාලියවැව, පලූගස්සේගම අජන්තා පුෂ්පකුමාරි යන අය අයිතියට ප‍්‍රකාශ කළා.

රසික උදයකුමාරගෙන් කටඋත්තරයක් ගෙන පසුදා උදෑසනම ෆැක්ස් කරන මෙන් වනාතවිල්ලූව පොලීසියේ ලොකු මහත්තයා විසින් දන්වා ඇති හෙයින්, ඔහුගෙන් කටඋත්තරයක් ගෙන ඉක්මනින් නිවෙසට ඇරලවන්නම් යැයි ප‍්‍රකාශ කරමින් සාලියවැව පොලිසියේ නිළධාරියෙකු පැමිණ (ඔක්තෝබර් 06දා සවස) රසික උදයකුමාරව පොලීසිට කැටුව ගිය බව, රසික උදයකුමාරගේ සොහොයුරිය වන අජන්තා පූෂ්පකුමාරි ප‍්‍රකාශ කළේය.

“මල්ලී ගල් පොරණුවේ වැඩකරලා හවස 5.30 ට විතර තමයි දවල්ට කෑම කකා හිටියේ. එතකොට මොටර් බයිසිකලයකින් මහත්තයෙක් ඇවිත් රසික ඉන්වාද කියලා ඇහුවා. එයා කිව්වා ඔයාලා දන්නවා නේද වනාතවිල්ලූවේ පොලීසියේ ලොකු මහත්තයා , එදා මෙහාට ආවේ. එයා හරිම හොඳයි, එයා කිව්වා රසිකගෙන් කටඋත්තරයක් අරගෙන හෙට උදේම එහාට ෆැක්ස් කරන්න කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුව්වා. එතකොට මල්ලි කන එක නවත්වලා කටඋත්තරය ගන්න කියලා ඒ මහත්තයා ළඟට ගියාම, කිව්වා මෙතන බැහැ, පොලීසියේ පොතේ ලියලා ගන්න ඕනේ. වරනේ යන්න, මම ම මේ බයිසිකලයෙන් උඹව ගෙනත් ඇරලවන්නම් කියලා. මල්ලි ගඩොල් වැඩකරන්න ඇඳගෙන හිටියේ පරණ ඇඳුමක් නිසා එයා කිව්වා කලිසමක් දාගෙන ඉක්මනට වරෙං කිව්වා. එතකොට මල්ලි කිව්වා කලිසං නම් නැහැ, ඔක්කොම හෝදලා දාලා කියලා. එහෙනම් මූට සරමක් දීපං කියලා මගේ මහත්තයාට කිව්වා. ඒ එක්කම ඒ මහත්තයා කිව්වා මම ගොඩක් දවසකින් ගෙදර ගියෙත් නැහැ, මට පරක්කුවෙනවා ඉක්මන් කරපන්, උඹව ගෙනත් දාලා මම ගෙදර යන්න ඕනෙ කියලා කියන ගමන් ඇහුවා, දැන් ගඩොල් කීයයද බං? මටත් ගේ හදාගන්න ගඩොල් ඕනේ කියලා කියමින් ම මල්ලිව බයිසිකලේ දාගෙන අරගෙන ගියා.” යැයි අජන්තා සිද්ධිය පැහැදිලි කළා.

පසුව, සාලියවැව පොලීසියේ සිටිි රසික උදයකුමාර විසින් තමන්ගේම ජංගම දුරකථනයෙන් සිය සොහොයුරියට කථාකර පවසා ඇත්තේ තමන්ව මෙසේ පොලීසීයට රැගෙනවිත් ඇත්තේ එවැනි කටඋත්තරයක් ගැනීමට නොවන බවයි.

එම ප‍්‍රකාශය ඔස්සේ වහා ක‍්‍රියාත්මක වුණු රසික උදයකුමාරගේ බිරිඳ වන සයමස් ගැබිණි කාන්තාවක වු හසිතා සසිකාන්ති, සාලියවැව පොලීසියට ගොස්, කටඋත්තරයක් ගැනීමට කියා රැ ගෙන ආ සිය සැමියා වන රසික උදයකුමාරව මෙසේ සිරකුඩුවේ දැමීමට හේතුව කුමක් දැයි විමසා ඇත.

එවිට, එහි සිටි පොලිස් නිළධාරියෙක් ප‍්‍රකාශකර ඇත්තේ “වරෙන්තුවක්” යන වචනය පමණි. වරෙන්තුවට හේතුව කුමක් දැයි හසිතා විසින් යළි ප‍්‍රශ්න කිරීමෙදි යළිත් වතාවක් එම පොලිස් නිළධාරියාම ප‍්‍රකාශකර ඇත්තේ “වරෙන්තුවක් කියන්නේ වරෙන්තුවක් මිසක් වෙන මොකවත් නොවෙයි” කියාය.

ආ උඹ ආවනේ. මම හෙට උදේ තමා උඹ ගැන බලාගන්නේ” කියා, තමන් පොලිසියට ගෙනාපසු සාලියවැව පොලිසියේ ඕ අයි සී මහතා තමන්ට තර්ජනාත්මකව ප‍්‍රකාශ කළ බව ඒ වන විටත් පොලිස් කුඩුවේ සිටි සිය සොහොයුරා විසින් හසිතා සසිකාන්තිට පැවසු බව අජන්තා පුෂ්පකුමාරි පැවසීය.

පළමු සිද්ධියෙන් පසුව පුත්තලම පොලීසියේ දැමු පැමිණිල්ල විභාගකර ඇතත්තේ වනාතවිල්ලූව පොලිසියෙනි. එහිදි, හසිතා සසිකාන්ති විසින් සිද්ධිය පිළිබඳව වනාතවිල්ලූව පොලිසියේ දි සිදුකළ කටඋත්තරයට අදාළව, මෑත දිනකදි වනාතවිල්ලූව පොලීසියේ නිළධාරියෙකු මොවුන්ගේ නිවසට පැමිණ, ඔවුන් නිරතවන රැකියාව කුමක් ද යන්න පරික්‍ෂා කර ඇත. එහිදි එම පොලිස් නිළධාරියා විසින්, “ඇත්ත තමයි. ඔයගොල්ල ගඩොල් කපලා නේ ජිවත් වෙන්නේ. ඉතිං කොහොමද නඩු කියන්නේ, මේක කථාබහා කරලා සමාදාන වෙන්න. මම සාලියවැව පොලීසියේ ලොකු මහත්තයාටත් කියන්නම් මීට පස්සේ ඔයාලට එහෙම කරන්න එපා කියලා” යනුවෙන් ප‍්‍රකාශකර පිටව ගොස් ඇත්තේ අවශ්‍යතාවයක් වුවහොත් කථාකරන්නැයි කියා දුරකථන අංකයක් ද ලබා දෙමිනි.

එහෙත්, රසික උදයකුමාර පසුගිය 06 වෙනිදා මෙසේ පොලීසියට රැගෙන ආවේ වනාතවවිල්ලූව පොලිසියේ ලොකු මහතාගේ නියෝගයක් අනුව යැයි දැනගන්නා රසිකගේ බිරිඳ හසිතා, වනාතවිල්ලූව පොලීසියේ ලොකුමහතා ඇමතුවිට එය සාවද්‍ය බොරුවක් බව දැනගත්තේ යැයි අජන්තා පුෂ්පකුමාරි පැවසීය.

Saliyawewa Police - Rangana and Hasitha
රසික සහ හසිතා සිය දියණිය සමඟ

සාලියවැව පොලීසියේ හදිසි ආක‍්‍රමණය හේතුවෙන් හසිතාට සිදුවු මානසික පීඩනය, තුවාල පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටිමින් කොළඹ මානව හිමිකම් කොමිසමට දැමු පැමිණිල්ල (අගෝ 04 දින) විභාග කිරීම සඳහා පුත්තලම මානව හිමිකම් කොමිසම වෙත පැමිණෙන්නට කියා (ඔක් 10 දින) දන්වා සිටී ලිපිය ලැබුණු දිනයේ ම පස්වරුවේදි (ඔක් 06 දින), සාලියවැව පොලීසියෙන් පැමිණ ඉතාම වංචනික ලෙසට සියලූම අයව රවට්ටා සිය සොහොයුරා රැගෙන ගොස් අත්අඩංගුවට ගත්තේ යැයි අජන්තා කීවේය.

“අපි මොකටද මිස් පොලීසිට ගහන්නේ ? ඇරත් අපි කොහොමද පොලීසියකට පහර දෙන්නේ ? අපිට මොකක්ද තියෙන හයිය්ය? අපි මේ දුප්පත් මිනිස්සු. පොලිසියේ මහත්තුරු මොකද දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් මෙච්චර පලිගන්නේ ? ඇයි අපිව රවට්ටන්නේ ?” යැයි අජන්තා සිය කණගාටුව ද ප‍්‍රකාශ කළේය.

ජුලි 23 වෙනි දා රසිකගේ බිරිඳ හසිතා මුහුණ දුන් හදිසි පොලිස් ආක‍්‍රමණයේ පසු ප‍්‍රථිඵල හේතුවෙන් ඇය මේ වන විට යළිත්වරක් රෝහල්ගතවී සිටින බැවින් ඇගෙන් සෘජුව ප‍්‍රකාශ ලබාගැනිමට නොහැකි විය.

කෙසේවෙතත්, සාලියවැව පොලීසියෙන් බලහත්කාරයෙන් දැමු “පොලීසියට පහරදීම සහ අරක්කු නඩුව” යන සාවද්‍ය නඩු දෙක මේ මස 18 වෙනිදා එනම් ලබන අඟහරුවාදා දින පුත්තලම උසාවියේදි විභාග කෙරෙන බව ද රසිකගේ සොහොයුරිය අජන්තා අයිතිට ප‍්‍රකාශ කළා.

පාසැල් යන කුඩා දියණියක හා නව දරු උපතක් අපේක්‍ෂාවෙන් සිටින, කුලියට ගඩොල් කපා ජීවත්වන, රසිකත් හසිතාත්, පොලීසියේ උවමනාවට දැමු සාවද්‍ය නඩුවලට ගෙවන්නේ සහ දඩ මුදල් ගෙවන්නේ කොයි පොලීසියෙන් ලබාදෙන මුදලින් ද ? නැතිනම් පොලිස් කොමිසමෙන් ලබාදෙන මුදලින් ද ? පොලීසියේ උවමනාවට සාවද්‍ය චෝදනාවලට අත්අඩංගුවට ගෙන සිටිය දී මේ මිනිසුන් ජීවත් වෙන්නේ කොයි පොලීසියෙන් ලබාදෙන මුදලින් ද ? නැතිනම් පොලිස් කොමිසමෙන් ලබාදෙන මුදලින් ද ? ඇත්තෙන්ම, වරදකරුවන් නොවන මිනිසුන් බලහත්කාරයෙන් වරදකරුවන්කර, අත්අඩංගුවට ගෙන, නඩු පවරන්නේ,එය පොලීසියේ විනෝදාංශයක් ද ? නැතිනම් උමතුවක් ද ? මේ අවනඩුව කාහට පැහැදිළි කළ හැකිද ?

පිංතුර හා සටහන – මෙලනි මානෙල් පෙරේරා

උපුටා ගැනීම – මිරර් ආර්ට්ස්.lk

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.