අවම බලයේ තේරුම -සුරේන් රාඝවන්

ආචාර්ය සුරේන් රාඝවන්

 

පසුගිය සිකුරාදා කොළඹ නගර මධ්‍යයේ මහ දවල් අප අත්දුටු පොලිස් පහරදීම් පිළිබඳව අදහස් දක්වමින් ‘අවම බලය’ ‘අවශ්‍ය බලයක්’ ලෙස හුවා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිදු කළ අපූරු සාධාරණීකරණය ෆූකෝ විසින් මතු කරන ලද ‘අන්තවාදී සීමාකිරීම්’ සඳහා හොඳම නිදසුනක් වන අතරම, ලැප්ටොප් පරිගණකයක් පදනම් කරගෙන ඉතාම අත්තනෝමතික ලෙස පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන හිංසා කිරීම ‘සමස්ථ සමාජ ව්‍යුහයේ ක්ෂුද්‍ර යාන්ත්‍රණය’ සමග පොලීසියට ඇති ‘ඇයිහොඳයියේ’ තරම මැනවින් කියා දෙන්නකි. මෙය, රාජ්‍යය විසින් එහිම වැසියන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය මැනවින් ඉස්මතු කරන අවස්ථාවකි. එසේම, පශ්චාත් යුධ රාජපක්ෂ රෙජීමය යටතේ පොලීසියට පවරා දී තිබුණු ‘මිලිටරි’ බලාධිකාරිය අත්හැරීමට ඇති නොකැමැත්තද පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ‘සාධාරණ හේතු දැක්වීමෙන්’ මොනවට පිළිබිඹු වෙයි. පසුගිය කාලය පුරාවටම පොලීසියට ලබා දී තිබුණේ ‘අල්ලපන්-ගහපන්’ පන්නයේ ආඥා/බලතල විය. සමස්ථ පොලිස් සේවයේම ආචාරධාර්මික විඥානය මෙන්ම පොලීසිය විසින්ම රැකීමට නියමිත ‘නීතියට ඇති බිය’ සහමුලින්ම පහව යාමට බලපෑ කරුණද එයම බව පෙනී යයි. මේ නිසාම, මහපාරේ රාජකාරීන්හි නිරත රථවාහන පොලිස් නිලධාරියාගේ සිට ඉහළම පොලිස් නිලධාරියා දක්වා සෑම තරාතිරමකම නිලධාරීන් රටේ සිවිල් නීතිය තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයක් අපි අද අත්දකිමු. වත්මන් පොලීසිය අපට පෙනෙන්නට ඇත්තේ ‘රාජ්‍යය තුළම ඇති හෙංචයියන්ගෙන් සමන්විත තවත් රාජ්‍යයක්’ පරිද්දෙනි. දේශපාලනික බලය නමැති සාධකය හේතුවෙන් භය පක්ෂපාතීත්වය දැක්විය යුතු සහ එසේ කිරීම අනවශ්‍ය වශයෙන් පුරවැසියන් තෝරා වෙන්කර ගන්නා පොලීසිය සෑම විටම පාහේ මේ දෙවනුව කී බල රහිත සිවිල් වැසියා කෙරෙහි ප්‍රකට කරන්නේ ඉතාම ආවේගශීලී හා ප්‍රකෝපකාරී හැසිරීමකි.

මෙහි ඇති ඛේදනීයම තත්ත්වය නම් මෙවැනි ම්ලේච්ඡ හා අමානුෂික ක්‍රියා වෙත සහාය දක්වන නින්දිත (අ)සංස්කෘතියක්ද මුල්බැස ගෙන තිබීම බව කිව යුතුයි. විශේෂයෙන්ම, අර්බුදයක් ඇති වීමේ ඉඩක් ඇතැයි පෙනෙන සිදුවීම්වලදී බුද්ධිමත් ලෙස ගැටුම් නිරාකරණ ක්‍රම පිළිවෙත් අනුගමනය කරනවා වෙනුවට ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස්, බැටන් පොලු හා රබර් උණ්ඩ ආදිය කෙරෙහි විශ්වාසය තබා හැසිරීම අනුමත කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙළඹීමෙන්ම මෙය පැහැදිලි වෙයි. සත්‍ය වශයෙන්ම, නිල ඇඳුමේ චණ්ඩිකම වනාහි ‘පුරවැසිභාවය’ පිළිබඳව රාජ්‍යය දරන ආකල්පය විදහා දක්වන කැඩපතක් වැන්න!

 

ආන්තිකකරණය

 

‘ශික්ෂණය’ හා ‘දඬුවම් කිරීම’ විෂයික බල ව්‍යුහය පිළිබඳ ෆූකෝගේ විශිෂ්ට විග්‍රහය අවධානය යොමු කරන්නේ ආන්තිකකරණය (marginalization) සහ සමාජ-දේශපාලනික බල සබඳතා ජාලය තුළ ආන්තිකකරණයට ලක් වීමේ සීමා මායිම් වෙතයි. අන්තයේ සිට කේන්ද්‍රය දක්වා, එනම් දුබලයාගේ සිට බලවතා දක්වා බලය ව්‍යුහගත වන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීම ඔහුගේ විශ්ලේෂණයේ අරමුණයි. මෙම කරුණ සිත්හි තබාගෙන විමසන විට පෙනී යන පැහැදිලි සත්‍යයක් තිබේ. පසුගිය සිකුරාදා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ ‘පිරිස් පාලනය’ සඳහා විශේෂයෙන්ම පුහුණු කර ඇති ප්‍රචණ්ඩයින් වෙත නියමිත ආඥා නිකුත් කළ, එසේම රටේ මහජනතාවගේ බදු මුදලින් වේතන ලබන, සියලු දෙනා සහසුද්දයෙන්ම දැන සිටි එක් කරුණක් විය. එනම්, අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණ කරමින් සිටි සිසුන් අතර දහම් සිරිසේන කෙනෙකු හෝ චතුරිකා සිරිසේන කෙනෙකු කොහෙත්ම නොසිටි බවයි! මේ දරුණු ප්‍රහාරයට ලක් වූ පිරිස අතර සිටි සියලුම දෙනා බොහෝ විට ග්‍රාමීය පෙදෙස්වල වැඩකරන පන්තියේ මව්පියන්ගේ දූවරුන් හා පුතුන් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඇත්තෙන්ම, මේ ඉල්ලීම් මුල්කරගෙන උද්ඝෝෂණ කරමින් පාරට බහින්නට ඔවුනට සිදු ව ඇත්තේද ඒ හේතුව නිසාමය. මේ අතරම, ලේ පිපාසාවෙන් පෙළුණු ශ්‍රී ලංකා පොලීසියේ මුග්ධ ප්‍රහාරවලට ලක්වීමට ඔවුන් සතුව තිබූ එකම ‘සුදුසුකම’ වූයේද එයම බව පිළිගැනීමට අපි නිහතමානී විය යුත්තෙමු.

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාලකයන් විසින් මනාව පුහුණු කරවන ලද ආයුධ සන්නද්ධ ‘පොලිස් තාක්ෂණය’ දුබලතමයාගේ ‘ජෛවීය දේශපාලනයට’ (bio-politics) අත පොවන්නේ මෙවැනි පසුබිමක් තුළය. ශාරීරික පමණක් නොව ව්‍යුහාත්මක අතින්ද පුරවැසියාගේ සාමූහික අධිෂ්ඨානය සුණු විසුණු කර දමා අඩපණ කිරීම එහි එකම ආධ්‍යාශය බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. අන් සෑම ‘ජෛවී දේශපාලනික’ උත්සාහයකදීම මෙන්ම මෙහිදීද අසරණ සිසුවියන් තමන්ගේ ‘මෘදු ඉලක්ක’ ලෙස සලකා ක්‍රියාත්මක වීමට මේ ආයුධ සන්නද්ධ කුලී හේවායන් පෙළඹුණු හේතුවද එයමය.

දැනටමත් මනාව ස්ථාපිතව පවතින බිහිසුණු පාලන/පීඩක උපක්‍රම උඩුයටිකුරු කිරීමට ‘යහපාලනය’ වැනි දෘෂ්ටිවාද හා සංකල්ප මාත්‍රයන්ට හැකි බව සිතීම විහිළුවකි. ජේ. ආර්. ජයවර්ධන යටතේ 1983 සිට 88-89 ප්‍රේමදාස ආණ්ඩුව දක්වා පැවැති පීඩක රෙජීමයන්හි කැබිනට් ඇමතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද ආණ්ඩුවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහාය පළ කරමින් සිටි යුගයක් තිබූ බව අපට කළ නොහැක. දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා දැකීමෙන් ඔහු කම්පනයට පත් වේ නම්, ඒ ඉතාම අඩු වශයෙනැයි සිතන්නට සාධාරණ හේතු අපට ඇත.

 

මේ නිසා, ආණ්ඩුවේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වෙත අවදියෙන් සිටිමින් ‘සැබෑ වෙනසක්’ වෙනුවෙන් හඬනැගීම ජනවාරි 08 දින ලංකා දේශපාලනයේ වෙනසක් උදා කිරීමට එකා මෙන් කැප වූ සහ එම කැපවීම අගෝස්තු 17 දින තවදුරටත් තහවුරු කළ සිවිල් බලවේග සතු සමාජ කාර්යභාරයක් වන්නේය. ආණ්ඩුකරණය, රාජ්‍ය-සිවිල් සමාජ සම්මුතිය ආදිය ආශ්‍රිත එවැනි වෙනසක් අපේක්ෂා කරන අයට පොලීසිය හොඳ තෝරාගැනීමක් වනු ඇත.

ශ්‍රී ලංකා පොලීසිය තම ආයතනික දර්ශනය, බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ පරිපාටිය පමණක් නොව තමන් පිළිබඳව හා සමස්ථ සමාජය වෙතත්, තමා පාලනය කරනු ලැබෙන බලවේග වෙතත් දක්වන ආකල්පය කැපී පෙනෙන වෙනසකට බඳුන් කළ යුතු කාලය දැන් එළැඹ තිබේ. එවැනි අවශ්‍යතාවක් ඉස්මතු කරනු පිණිස රටේ ජීවනාලිය බඳු තුරුණු රුධිරය මහමග හෙළන්නට වීම කණගාටුවට කරුණකි. එහෙත්, ඉතාම වගකීම්සහගතව මෙවැනි සිදුවීම්වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය සිය පුරවැසියන්ට සලකන ආකාරය වෙනස් කරගත යුතුය යන අවශ්‍යතාව ඉස්මතු කිරීමට අප පැකිළෙන්නේ නම්, සිකුරාදා ලෙයින් තෙත් වුණු මහපොළොව යළිත් වියැළී නුදුරු අනාගතයේදීම නැවතත් එලෙසම පෙඟී යන අයුරු දකින්නට අපට සිදු වනු නොඅනුමානය!


මූලාශ්‍ර – Foucault, M. (1977) Discipline and Punish. New York: Vintage Books.

*ආචාර්ය සුරේන් රාඝවන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන සඳහා වන ඔක්ස්ෆර්ඩ් කේන්ද්‍රයේ (Oxford Centre for Buddhist Studies) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්වතෙකි. මෙය, ‘Politics of Policing’ යන හිසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ වූ ලිපියක සිංහල පරිවර්තනයකි. පරිවර්තනය අශාන් වීරසිංහ විසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.