අව්වයි වැස්සයි මිහිතල මඟුලයි

global warming1

ලෝකයේ  බොහෝ රටවල පිපාසයට දිය පොදක් සොයා ගන්නට අපහසුව තිබියදී ලංකාවේ ගංගා ඇළදොළ උතුරවමින් අසනි වැසි ඇදහැලෙයි. වැව් අමුණු පිරී දෝරෙ යයි. ගංවතුරින් පිරිසක් පීඩාවට පත් වුවද කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ට වැස්ස මංගල්ලයක් වෙයි. අපි වාසනාවන්තයි කියා උදම් අනමු.

 

 

 

මන්ද වර්ෂාව සොබා දහමෙන් ලැබෙන දායාදයකි. “ජීවයයි ජලය ජීවිතේ” කීවද වර්ෂාව  අද මුළු මහත් ලෝකයටම තර්ජනයක්ව ඇති “ග්ලෝබල් වෝමිං” හෙවත් මිහිතල උණුසුම නමින් හැඳින්වෙන සාපයේම පංගුකාරයෙකි. කාලගුණික, දේශගුණික රටාවන් වෙනස් වී ඇත. වසරකට දෙවතාවක්  ඊසාන සහ නිරිත දිග මෝසම් වැසි පුරුදුව සිටි අපට අද අනපේක්ෂිත ධාරානිපාත ඇදහැලෙනු දක්නට ලැබෙයි. සංඛ්‍යාත්මකව ගතහොත් අවුරුදු පනහකට පෙර මහ වැස්සකදී  ලද ජල ධාරිතාව පැයට මිලිමීටර් 80ක් පමණි. නමුත් පසුගිය සතියේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූ මන්නාරමට පැයට මිලිමීටර් 350ක වැසි ලැබුණි.

මෙය දැඩි අසාමාන්‍ය තත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  මිලිමීටර් 80 ධාරිතාවට සරිලන අයුරින් කාණු පද්ධති සකසා ඇති හෙයින් ඊට වඩා වැඩියෙන් වහින විට නගරවල කාණු උතුරන්නට පටන් ගනියි. පාංශු ඛාදනය නිසා වැව් පතුල්වල රොන්මඩ තැන්පත්වීමෙන් ඒවායෙහි  රඳා ගත හැකි ජල ධාරිතාව අඩු වීමද අධික වර්ෂාව ඇති කළ ප්‍රශ්නයකි. පසුගිය අවුරුදු සියය ඇතුළත මුහුදු ජල මට්ටමද සෙන්ටිමීටර් 17කින් ඉහළ ගොස් ඇති බව ගණනය කොට ඇත.

 

1-the-cause-of-global-warming-marx-rehburg

 

 

අපිත් රත් වෙලා ඉන්නෙ

දුර ගමනක් යන විට වතුර බෝතල් උස්සා ගෙන යාමේ සිරිතක් අපට නොතිබුණි. බස්වල  කෝච්චිවල කූල් වතුර විකුණන්නට තිබුණේ නැත. ලංකාවේ උෂ්ණත්වය 1880 අවුරුද්දේ සිට දශකයකට සෙල්සියස් අංශක 0.2 බැගින් ඉහළ ගොස් ඇත. මෙය ගෝලීය උණුසුම ඉහළ යෑමේ අගයට ඉතා සමීප බව පැවසේ. ෆොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් එකතුවීම  දිගටම පැවතුණහොත් මේ තත්වය තවත් වර්ධනය වනු ඇත. අනෙකුත් සංවර්ධනය වන රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය අවම අගයක් ගැනීම සතුටට කරුණකි.

 

පැත්තක් වැස්සෙන් සීතල වෙද්දී තවත් පැත්තකට බොන වතුර ටික හොයා ගැනීමත් දුෂ්කර වී ඇත. වියළි කලාපයට මෙම කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව භෝග වර්ග සොයා යන්නට සිදුව තිබේ. වියළි කලාපයන් තවත් වියළමින් තෙත් කලාපයන් තවත් තෙත් කරමින් තත්වය උග්‍ර අතටම හැරේ. උෂ්ණත්වය අධික ප්‍රදේශවල  මදුරුවෝ සුලබව බෝ වෙති. උන් කඳුකර ප්‍රදේශ කරාද සංක්‍රමණය වෙති. ජලයෙන්  බෝවන රෝග මෙන්ම මැලේරියා, ඩෙංගු වැනි රෝග සුලභව පැතිරීමට පටන් ගනියි. ආර්ථික වර්ධනය මන්දගාමී වීම, දිළිඳුකම පිටු දැකීමේ පියවරයන් ගැනීම ඉතා දුෂ්කර වීම, ආහාර ආරක්ෂාවට තර්ජන එල්ලවීම මිහිතල උණුසුමේ විපාකයන්ය.

rain

 

තියෙන ප්‍රශ්න වැඩි කරමින් නැති ප්‍රශ්න ඇති කෙරෙයි.  තිරසර සාවර්ධනය උදා කර ගන්නට නම් මිනිසා මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතු වේ. කුසගින්න සහ ස්වාභාවික විපත්වලට මුළු ලොව සෑම දෙනාටම සම සමව මුහුණ දෙන්නට සිදු වනු ඇත. මන්ද මේ කිසිවක් සොබා දහම කළ දේවල් නොව මිනිසාගේ ක්‍රියාවන්ගේම ප්‍රතිවිපාක බැවිනි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.