අළුත් ව්‍යවස්ථාව සිහිනයක්ද?

එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සංදේශයට පවසද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත කියා සිටියේ මෙවර මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම 113ක අවශ්‍ය බහුතරයක් හිමි නොවිමට ඉඩකඩ වැඩි බවට නැගෙන මතයේ ඇත්තක් ඇති බව යි.

මේ පරස්පර විරෝධී ප්‍රකාශ දෙකෙන් පෙනී යන්නේ තුනෙන් දෙකේ බලය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඒකමතික අදහසක් නැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ ජාතික ආණ්ඩුවක් ඇති කිරීම තමන් ගේ අරමුණ වන බවයි. ඒ තුළ තුනෙන් දෙකේ බහුතර බලයට වඩා වැදගත් වන්නේ විවිධ පාර්ශව සමඟ එකට වැඩ කිරීමට ඇති හැකියාවයි.

 

 

අළුත් ව්‍යවස්ථාවක්

රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂත් කියා සිටින්නේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බවයි. අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ.

මේ තුනෙන් දෙකේ බලය තනි පක්ෂයකට ලබා ගත නොහැකි හෙයින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩක් නැති බව ඇතැම් දේශපාලන විචාරකයින් පවසන අතර තවත් පිරිසක් කියා සිටින්නේ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් ඇති බවයි.

විසුරුවා හැරුන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු

ප්‍රවීන නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දෙන අන්දමට මැතිවරණ ක්‍රියාදාමයක් තුළින් තුනෙන් දෙකේ බහුතර බලයක් සහිතව 1970 දී සහ1977 දී බලයට පත්වූ ආණ්ඩු අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක විය.

1970 දී බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව තමන්ගේ බල කාලය දීර්ඝ කර ගැනීම සහ 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විධායක බලතල ඇතුලත් වන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ අනිටු විපාක හෙළිදරව් කරන බව ලාල් විජේනායක පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව තුළ කිසිදු පක්ෂයකට තුනෙන් දෙකේ බහුතර බලයක් නොලැබෙන වාතාවරණයක් තුළ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම් සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් ඇති බව විචාරකයින් පෙන්වා දෙති.

ක්‍රමෝපායලාල් විජේනායක

 

පළමුවැන්න නම් අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එක කර ගැනීමයි.

දෙවැන්න නම් නව පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ හරහා කතිකාවක් ඇති කර ගනිමින් සම්මුතිවදීව අළුතින් කෙටුම්පත් කෙරෙන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමයි.

තුනෙන් දෙකේ බලයක් නැති අවස්ථාවකදී සෙසු පක්ෂ දිනාගත නොහැකි වුවහොත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට හැකියාවක් තිබේදැයි විමසූ විට ලාල් විජේනායක කියා සිටියේ මේ සඳහා නව පාර්ලිමේන්තු සංස්කෘතියක් තුළින් ගැටළුව විසඳාගත ගත යුතු බවයි.

 

නව පාර්ලිමේන්තු සංස්කෘතියක් ඇතිවන්නේ හු කීමෙන් නොව තර්කයෙන් විතර්කයෙන් ගැටළුවක් විසඳා ගත හැකි පාර්ලිමේන්තු නියෝජිතයින් පත්වන්නේ නම් පමණක් ලාල් විජේනායක වැඩි දුරටත් කියා සිටියේය.

අළුත් පාර්ලිමේන්තු සංස්කෘතියක්

ශ්‍රි ලංකාවේ මන්ත්‍රීවරුන් ගේ පාර්ලිමේන්තු දායකත්වය පිළිබඳව පරිගණකගත විශ්ලේෂණයක යෙදුන සුරේකා සමරසේන පැවසුවේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 225ක් අතුරින් 202ක් නැවත තරඟ වදින බවයි . සමස්තයක් ලෙස ගත් කළ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විවාදය,කාරක සභාව,ජනතා පෙත්සම් ඉදිරිපත් කිරීම ආදී අවස්ථාවල ඉතා මැනවින් සහභාගි වන අතර තවත් පිරිසක් නිසරු දේ කියමින් කාලය ගත කරන බවත් ඇය කියා සිටියාය.

නව පාර්ලිමේන්තු සංස්කෘතියක් බිහිකර ගැනීමේ හැකියවක් ඇති මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.