ආණ්ඩුව බස්නාහිර පළාත් සභාවෙන් ප්‍රවේසම් විය යුතුයි.- නිශාන්ත වර්ණසිංහ

nishantha sri warnasinhaබස්‌නාහිර පළාත් සභාවේ තමන් දරන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීම සම්බන්ධයෙන් පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා වගකිව යුතු බව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සමාජ සුබසාධන පරිවාස හා ළමා රක්‌ෂක සහ කාන්තා කටයුතු ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

පළාත් මහ ඇමති මුදල් ඇමතිවරයා වශයෙන් මන්ත්‍රීවරුන්ගේ සාමූහිකත්වය රඳවා ගැනීම ඔහුගේ වගකීමක්‌ බවත් එහෙත් ඔහු එම වගකීමෙන් මිදී කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය.

පළාත් සභාවක වැය ශීර්ෂ 3 ක්‌ සම්මත කර තවත් එක්‌ වැය ශීර්ෂයක්‌ පරාජයට පත්කර අය වැය සම්මත කර ගැනීමේ ක්‍රමවේදය නොවන බවත් පැවසූ පළාත් ඇමැතිවරයා පළාත් සභා පනත මහ ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස්‌ උල්ලංඝනය කර ඇති බවත් පැවසී ය.

තමාගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීමෙන් පළාතේ සිදුවන සෞඛ්‍ය සේවා අඩාළවීම් ඇතුළු අනෙකුත් ගැටලුවලට මහ ඇමතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් වගකිවයුතු බවත් ශ්‍රී වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය.

තනතුරු හෝ වරදාන අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන්ගේ ප්‍රාණ ඇපකරුවකු වීමට තමන් කිසිසේත් සූදානම් නැති බව අවධාරණය කළ වර්ණසිංහ මහතා බස්‌නාහිර පළාත් සභාව පිළිබඳව රජයත් ජනාධිපතිවරයාත් ප්‍රවේශම් විය යුතු බව කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.