ආදිවාසී නිවසේ මල්වර සාදයට පොලිසියෙන් අවුලක්

aadeeබිබිල රතුගල ආදිවාසී නායකයා වන්නේ සුදාවන්නිල ඇත්තෝය. පසුගිය 23 වැනිදා ඔහුගේ නිවසේ සාදයක්‌ පැවැත්විණි. ඒ තම මිණිබිරිය ලොකු ළමයෙකු බවට පත්වීමේ සතුට නිමිත්තෙනි. එදින දවස පුරා පැවැත්වුණු මෙම මල්වර සාදයට මත්පැන් වලින් ද කිසි අඩුවක්‌ නොතිබිණි.

දහවල් කාලයේ මල්වර සාදයට කාන්තා පාර්ශ්වයේ සහභාගිත්වය වැඩි වූ අතර රාත්‍රි කාලයේදී එය වෙනස්‌ වී පිරිමි පාර්ශ්වයේ සහභාගීත්වය වැඩි විය. මත්පැන් අඩුවක්‌ නොමැතිව තිබුණ නිසා බොහෝ පිරිස්‌ රතු කට්‌ට පනින තුරු මත්පැන් පානය කළෝය. බමණ මතින් මත් වූ සමහර ආදිවාසීහු ඔවුනට ආවේණික ගීත මෙන්ම නව පරපුරේ ජනප්‍රිය ගීත පවා ගායනා කළේය.

බිබිල රතුගල ප්‍රදේශය අයිති රත්මල්ගහඇල්ල පොලිස්‌ බල ප්‍රදේශයටයි. ආදිවාසීන්ගේ මල්වර සාදය පැවැත්වුණු දින රාත්‍රි නවයට පමණ පොලිස්‌ හදිසි දුරකථන ඇමතුම් අංකයට (119) ලැබුණු ඇමතුමක්‌ අනුව ආදිවාසීන් ජීවත්වන ගම්මානයේ එක්‌ නිවසක්‌ තුළ මුදලට බූරුවා ගසන බවට තොරතුරක්‌ ලැබුණි. මෙය කියන්නේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරිහුය. ඇඹිලිපිටිය සිද්ධියේ දී ද පොලිසිය පැවසුවේ හදිසි දුරකථන ඇමතුම් අංකයට (119) ලැබුණු ඇමතුමක්‌ අනුව එම මල්වර සාදය පැවැති ස්‌ථානයට ගිය බවයි. නමුත් පසුව එය පොලිසිය විසින් ගොතන ලද අමූලික බොරුවක්‌ බව ඔප්පු විය.

ලද දුරකථන ඇමතුමට අනුව රත්මල්ගහඇල්ල පොලිසියේ නිලධාරීහු කිහිපදෙනෙක්‌ සිsවිල් ඇඳුමින් සැරසී යතුරු පැදිවලින් ආදිවාසීන් ජීවත්වන රතුගල ප්‍රදේශයට පැමිණියෝය. ඒ මුදලට බූරුවා ගසන පිරිස අත්අඩංගුවට ගැනීම සඳහාය. රතුගල ගම්මානය තුළ කිලෝ මීටරයක්‌ පමණ ගිය පසු කෑ කෝ ගසමින් ගීත ගයන ශබ්දයක්‌ ඇසුණි. එම ශබ්දය එන්නේ රතුගල ආදිවාසී නායකයාගේ නිවස තුළින් බව පොලිස්‌ නිලධාරීන්ට අවබෝධ වූහ. හොරුත් එක්‌කම බඩුත් අල්ලා ගත හැකි යෑයි සිතූ පොලිස්‌ නිලධාරීහු වහාම එම ස්‌ථානයට ගියහ.

“එකෙක්‌වත් ඉන්න තැන්වලින් හෙල්ලෙන්න එපා. ඔහොමම හිටපන්. බොලා අරක්‌කු බිබී බූරුවත් ගහනවා මෙතැන. දැනගනින් අද උඹලට කරන වැඩේ. හතර හන්දි කඩලා දානවා බොලාගේ” කියා සිවිල් ඇඳුමින් සැරසුණු එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ගිගුම් දුන්නේය.

වෙන්න යන්නේ කුමක්‌ දැයි කියා මල්වර සාදයේ සිටි ආදිවාසී ජනතාවට හිතා ගැනීමට නොහැකි වූහ. සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක්‌ තමන්ට මෙසේ අණ කරන්නේ කුමක්‌ අරබයාද යන්න ඔවුනට නොතේරුණි. අවම වශයෙන් එම සිවිල් පිට පැමිණි පොලිස්‌ නිලධාරීහු තමන් කවුරුදැයි කියාවත් හඳුන්වා දුන්නේ නැත.

නැවතත් එම සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස්‌ නිලධාරීහු “කෝ බූරුවා ගහපු එවුන් ගෙන්නපල්ලා. නැත්නම් දන්නවනේ වෙන දේ. මේ ඉන්නේ එකෙක්‌. ළඟදීත් බූරුවා ගහලා අහුවුණේ උඹව නේද? පෙන්නපන් අනිත් එවුන්ව” කියා එතැන සිටි ආදිවාසියකුගේ බෙල්ලෙන් ඇල්ලීමට සැරසුණේය.

වහාම එතැනට මැදි වූ ආදිවාසී නායකයා ‘මෙතැන කවුරුත් බූරුවා ගැහුවේ නැහැ. අද මගේ මිණිබිරියගේ මල්වර සාදය. ඒකයි මේ අය මෙතැන ඉන්නේ” කියා පැවසුවේය.

“යනවා යන්න. ඒවායින් අපිට වැඩක්‌ නැහැ. මෙතන මල්වර සාද කියලා බූරුවා ගහනවා. අපිව ගොනාට අන්දන්නද හදන්නේ බොරු කියලා” පොලිස්‌ නිලධාරියකු පැවසුවේය.

තත්ත්වය එන්න එන්නම දරුණු වූයේය. දෙපිරිසම ආවේගශීලීව වචන හුවමාරු කර ගත්තෝය. ගතවූයේ නිමේෂයකි. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරියෙක්‌ පුටු පහරක්‌ ආදිවාසී නායකයාට එල්ල කළේය. එයින් ප්‍රකෝප වූ බීමතින් සිටි ආදිවාසීහු පොලිස්‌ නිලධාරීන්ට පෙරළා පහර දුන්නේය.

දැන් ආදිවාසීන්ගේ මල්වර සාදය එකම ගුටි කෙළියකි. මෙය දැන ගැනීමත් සමඟ නිල ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ද එම ස්‌ථානයට පැමිණියේය. ඒ සමගම පොලිස්‌ නිලධාරියකු නිවසේ විදුලිය විසන්ධි කළේය.

ඝන අඳුරේ පවා දෙපිරිස ජයටම ගුටි බැට හුවමාරු කර ගත්තේය. සුළු මොහොතකට කලින් ඇසුණු ගීත වෙනුවට දැන් ඇසෙන්නේ තනි තිත්ත කුණුහරුප සහ කාන්තාවන්ගේ විලාප හඬවල් ආදියයි. පැය භාගයක පමණ කාලයක්‌ පැවැති ගුටිබැට හුවමාරුව අවසන් වූයේ දෙපිරිසම තුවාල ලබමිනි.

රතුගල ආදිවාසී නායකයා, ඔහුගේ බිරිඳ විමලාවතී සහ තවත් කුඩා දරුවකු බිබිල මහ රෝහලට ඇතුළත් වූ අතර පොලිස්‌ සහායක අම්පාර රෝහලට ඇතුළත් කළේ ගුටිබැට හුවමාරුවේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

මේ අතර රතුගල ආදිවාසී නායකයාගේ බිරිඳ වන විමලාවතීව ගුටිබැට හුවමාරු වන අවස්‌ථාවේ කැලයකට ඇදගෙන යන්නට පොලිස්‌ නිලධාරියකු උත්සාහ කළ බවට තවත් චෝදනාවක්‌ එල්ල වූවේය. නමුත් පොලිස්‌ නිලධාරීහු එකහෙළාම එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරති. නමුත් ඇය පුන පුනාම ප්‍රකාශ කරන්නේ පොලිස්‌ නිලධාරියකු එසේ කිරීමට උත්සාහ කළ බවයි.

රත්මල්ගහඇල්ල පොලිසියෙන් මෙම සිද්ධිය පිළිබඳ විමසීමේදී පැවසුවේ ආදිවාසී ගම්මානයේ නිවසක මුදලට බූරුවා ගහන බවට ලැබුණු තොරතුරක්‌ මත එය විමර්ශනය කිරීමට ගිය අවස්‌ථාවේ එහි බීමතින් සිටි පිරිසක්‌ පොලිස්‌ නිලධාරීන්ට එලව එලවා පහර දුන් බවත් ඉන් එක්‌ අයෙක්‌ තුවාල ලබා රෝහල් පවා ගත කළ බවයි.

මෙම සිද්ධිය පිළිබඳ ආදිවාසී නායකයාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ තමාගේ නිවසේ මල්වර සාදයක්‌ පැවතුණ බවත් සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක්‌ යතුරු පැදිවලින් පැමිණ ඥතීන්ට බැණ වැදී එළියට නොයන ලෙස තර්ජනය කළ බවත් එය විමසීමට තමා ගිය අවස්‌ථාවේ එතැන සිටි පුද්ගලයකු තමාට පුටුවකින් පහර දුන් නිසා දෙපිරිස අතර ගැටුමක්‌ ඇති වූ බවයි.

මෙහිදී දෙපිරිස අතින්ම වැරදි සිදු වී ඇත. නමුත් ලොකුම වැරැද්ද සිදු වී ඇත්තේ පොලිසිය අතින්ය. පොලිස්‌ උණ ඇඟට නොගෙන තම අනන්‍යතාවය ඔප්පු කර එම පිරිස පරීක්‍ෂා කළා නම් මෙවැනි තත්ත්වයක්‌ උදානොවනු ඇත.

  • දිවයින පුවත් පතෙන් –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.