ආබෘෘ මරණය අබිරහසක්?

 

මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියක් අමානුෂික වදකයකට ලක් කිරීම සම්බන්ධව චෝදනා ලැබ, SARATH AABRUU1 ඇප මත නිදහස්ව, අපරාධ නඩුවක් සදහා චූදිතයෙක්ව උසාවි යමින් සිටි මෙරට අධිකරණ ඉතිහාසයේ එකම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ හිටපු  සරත් ද ආබෘෘ ගේ මරණය අබිරහසක් බව වාර්තා වේ. එම අබිරහස් මරණය පිළිබඳ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ඊයේ (15) ආරම්භ කර තිබුණේය.

ඔහු ඊයේ පෙරවරුවේ රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි සිය දෙමහල් නිවසේ උඩු මහලින් වැටී මියගොස් තිබිණි. ආබෘෘ උඩුමහලින් වැටෙන විට ඔහුගේ බිරිද,  දියණිය, දියණියගේ ගුරුවරිය හා සේවිකාව සිටි බව පොලිසිය කියයි.

කලුබෝවිල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන කීවේ ආබෘෘ පෙරවරු 11.30 පමණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවය.

උඩුමහලින් වැටෙන්නට පෙර ඔහු සිය බිරිද දියණිය හා දියණියගේ ගුරුවරිය සමග ආයුර්වේද වෙදකම් කරන හිමිනමක් හමුවීමට කටුබැද්ද ප්‍රදේශයට ගොස් ඇත. පසුව ඔවුන් නිවසට පැමිණි බවත්, සියල්ලන්ම දෙවන මහලේ සිටිය බවත්, තමන් ඉහළ මාලයේ සිට පහළ බලනවිට ආබෘෘ සිරුර බිම වැටී තිබෙනවා දුටු බවත් ගුරුවරිය පොලිසියට පවසා ඇත.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහමඩ් සාබ්දීන් විසින් සිදුකර තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහය තවමත් කලුබෝවිල ශික්ෂණ රෝහලේ තබා තිබේ. එම පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතය.

සරත් ද ආබෘෘ මිය යනවිට 63 වන වියේ පසුවිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.