ආරියවතී ගලප්පත්තිට රටේ නීතිය වලංගු නැද්ද?. ග්‍රාම නිලධාරීහු අසති…

Ariyawathi Galappaththiත්‍රිකුණාමලය නගර සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභය පුර ග්‍රාම නිලධාරීවරියට නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් අමාත්‍යයවරිය වන ආරියවතී ගලප්පත්ති දුරකතන මගින් තර්ජනය කරමින් ග්‍රාම නිලධාරීනියගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අපක්ෂපාතිව ක්‍රියා නොකරන බව  ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රජයේ නිලධාරීයකුගේ රාජකාරියට බාධා කිරීම අධිකරණයට ඉදිරිපත් කළ හැකි ආකාරයේ වරදක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අදාළ දේශපාලනඥ වරියට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති වරයාගෙන් ඉල්ලීමක් කරයි.

ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ උපදෙස් මත අභයපුර ග්‍රාම නිලධාරී වසමේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් රාජකාරී කටයුතු කරමින් සිටියදී නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මිය දුරකතන මගින් ග්‍රාම නිලධාරිනියට තර්ජනය කළ බවත් ඒ සම්බන්ධයෙන් ත්‍රිකුණාමළය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා තිබෙන බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

ත්‍රිකුණාමළය ප්‍රාදේශීය ලේකම්වරයා හා ත්‍රිකුණාමළය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලිසියට පැමිණිල්ලක් කර ඇතත් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවක් පෙනෙන්ට තිබෙන බව එම සංගමය පවසයි.

මෙම දේශපාලනඥවරිය මෙයට ප්‍රථම ආන්නද කුලම් ග්‍රාම නිලධාරීනියගේ රාජකාරියටද බාධා එල්ල කිරීමේ අවස්ථා රැසක් ඇති බවත් දිගින් දිගටම රාජ්‍යය නිලධාරීන්ට ස්වාධිනව තම රාජකාරී සිදුකිරීමට මෙම තත්ත්වය බාධාවක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.