ඇත්තට වඩා නැත්තට හිත ඇදෙන්නේ ඇයි?

අද්භූත දේවල් විශ්වාස කිරීමට අප පෙළඹෙන්නේ ඇයි? – මයිකල් ෂර්මර්

තෙරේසා මව් තුමියගේ මුහුණු හැඩය ගත් බනිස් ගෙඩිය

තෙරේසා මව් තුමියගේ මුහුණු හැඩය ගත් බනිස් ගෙඩිය

මම මයිකල් ෂර්මර්. සැකසිත් ඇත්තන්ගේ සමාජයේ අධ්‍යක්ෂ, ඒ වගේම ‘ස්කෙප්ටික්’ හෙවත් සංශයවාදියා නමැති සඟරාවේ ප‍්‍රකාශක. නොයෙක් ආශ්චර්යයන්, අතිමානුෂික ක‍්‍රියා පිළිබඳ කතන්දර, විද්‍යාව ලෙස එළිබස්සන අවිද්‍යාවන් වගේම  ඕනෑම ආකාරයක මිථ්‍යාමත, විලම්බීත මනස්ගාත විමසා බලා එළිදරව් කිරීමයි අප කරන්නේ. බොරුව එළිදරව් කරන අය වශයෙන් අපේ කට්ටිය හඳුන්වාගන්නවාට වඩා අප කැමැති වැරදි අදහස් වෙනුවට නිවැරදි අදහස් ආදේශ කරන කට්ටියක් වශයෙන් හඳුන්වා ගැනීමටයි.

සාමාන්‍යයෙන් අනාවැකි විශ්වාස කිරීමේදී යමෙක් මතක තබා ගන්නේ හරි ගිය අනාවැකි පමණයි. වැරදුනු අනාවැකි ගණන ගැන ඒ අයට වගේ වගක්වත් නැහැ. නමුත් විද්‍යාවේදී අප නිගමන වලට එන්නේ හරිගිය ප‍්‍රතිඵල ගනන මෙන්ම වැරදුනු ප‍්‍රතිඵල ගණනත් විමසා සසඳා බැලීමෙන් පසුවයි.

අනෙක් අතට විද්‍යාව කියන්නේ අනාවැකියක් ඇදහිල්ලක් වගේ හුදෙක් නිකම්ම යමක් නොවෙයි. විද්‍යාව කියන්නේ ක‍්‍රියාපදයක්. වෙනත් අන්දමකට කිව්වොත් ඇත්තටම විද්‍යාව යනුවෙන් අප හඳුන්වන්නේ යමක් ගැන නිසි ලෙස විමසා බැලිය යුතු ආකාරයයි. විශ්වයේ ඇති   ඕනෑම සිදුවීමක්, සංසිද්ධියක් සම්බන්ධයෙන් තිරසාර සාක්ෂිමත පදනම් වූ ස්වාභාවික පැහැදිලි කිරීමක් සොයා ගැනීමයි විද්‍යාවෙන් කරන්නේ.

විද්‍යාත්මක ක‍්‍රමයට අනුව පරිණාමීය ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් ලෙස මිනිසා බිහිවීය යනුවෙන් අප කියන විට ඒ සඳහා ෆොසිල ද්‍රව්‍ය වැනි නිසි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න  ඕනැ. සාක්ෂිවලින් තහවුරු නොවේ නම් ඒ කියමන විද්‍යාත්මක නිගමනයක් ලෙස පිළි ගැනෙන්නේ නැහැ. ඒත් විද්‍යාවේදී මෙන් නොව විශ්වාසයේදී දෙවියන් විසින් මිනිසා මවනු ලැබීයැ‘යි කී විට එය සැලකෙන්නේ සාක්ෂි අවශ්‍ය නැති ආශ්චර්යයක් විදියටයි. ‘‘එහිදී ආශ්චර්යමත් දෙයක් සිදුවිය’’ යනුවෙන් කී විට ආයේ ඒකේ විශවාස කරන්න මිසක් විමසන්න දෙයක් නැහැ. ආශ්චර්යක ආයේ ඉතින් පැහැදිලි කරන්න වත් අත්හදා බලා නිශ්චය කරගන්නවත් දෙයක් තිබීම අවශ්‍ය නැහැ කියන එකයි විශවාසකරුවාගේ ඇදහිල්ල.

ඇතැම් විටෙක විද්‍යාඥයෝත් ඩාක් එනර්ජී, ඩාක් මැටර් හෙවත් අඳුරු ශක්තිය, අඳරු පදාර්ථ වගේ වචන වලින් ඔවුන්ගේ වර්තමාන දැනුමේ ඇතැම් හිස්තැන් පුරවන බව සැබෑවක්. ඒත් ඔවුන් එසේ කරන්නේ  එමගින් අදහස් කරන්නේ කුමක්දැයි නිශ්චිතව නිරාකූල කරගැනීමට හැකිවන තෙක් පමණයි. අවිනිශ්චිත යම් දෙයක් එසේ නම් කිරීමම ඒ පිළිබඳව කෙරෙන අඛන්ඩ විමසිලි ක‍්‍රියාදාමයක ආරම්භයක් පමණයි. ඒත් දෙවියන් විසින් මිනිසා මවනු ලැබීය කී විට එතනින්ම විමසිලි ක‍්‍රියාව අවසන්. කොටින්ම එතැන විමසිල්ලක් තිබුනේම නැහැ.

ටිකක් බැරෑරුම් විදියකට කිව්වොතින් විද්‍යාවෙදි අප බලන්නේ න්‍යාය සහ දත්ත අතර ගැලපීමක් තිබෙනවාද නැද්ද යන්නයි. උදාහරණයකට ගත්තොත් සෙනසුරු ග‍්‍රහයා වටා ඇති වළලූ දෙසට තම දුරදක්නය යොමු කර බැලූ ගැලීලියෝට ගැටළු දෙකකට මුහුණ දෙන්නට සිදුවුණා. මුලම ගැටළුව වුණේ ග‍්‍රහයන් වටා ග‍්‍රහක වළලූ ඇති විය හැකි බවට ඒ වන විට විද්‍යාත්මක න්‍යායක් බිහිව නොතිබීමයි. දෙවැනි ගැටලූව ඒ කාලේ භාවිතා වුණු දුරදක්න වලින් ඒ තරම් පැහැදිලි ලෙස බැලිය නොහැකි බැවින් ගැලීලියෝට ලැබුනු දත්ත නොපැහැදිලි අනියත ඒවා වීමයි. ඒ නිසා ‘‘ඈතින්ම පිහිටි ග‍්‍රහලෝකය කිසියම් වස්තු තුනකින් සමන්විත බව මා නිරීක්ෂණය කළා’’ යනුවෙන් ගැලීලියෝ ලියා තැබුවා. මෙයින් කියවෙන්නේ ග‍්‍රහක වලලූ පිළිබඳ විද්‍යාත්මක න්‍යායක් නොමැතිව අනියත දත්ත මත පිහිටා හොඳ විද්‍යාත්මක නිගමනයකට පැමිණිය නොහැකි බවයි. එම ගැටළුව විසඳා සෙනසුරු ග‍්‍රහයා වටා ඇත්තේ ග‍්‍රහක වළලූ බව නිගමනය කරනු ලැබුවේ ගැලිලියෝ මියගොස් අවුරුදු 13 කට පසු ක‍්‍රිස්ටියන් හුගයෙන් විසින් 1655දීයි.

සෙනසුරු ග‍්‍රහයා වටා ඇත්තේ කුමක්දැයි අනාවරණය කර ගැනීමට තැත් කළ සියල්ලන්ටම වැරදුනු තැන් ක‍්‍රිසිටියන් හුගයෙන් ඒ පිලිබඳවලියු  සිය පොතේ ලැයිස්තු ගත කළා. අනෙක් අතට සෞරග‍්‍රහ මණ්ඩලය සැදුනු ආකාරය හා ග‍්‍රහක වළලූ ඇතිවෙන ආකාරය ගැන වඩා හොඳ න්‍යායක් වගේම වඩා පැහැදිලි දැක්මක් ඇති දුරදක්නයක ආධාරයත් ක‍්‍රිස්ටියන් හුගයෙන්ට ලැබුණා.

නියත දත්තයන් නැතිව න්‍යායක් බිහිවීමේ දි ඇති විය එක්තරා වැරැද්දක් වන්නේ න්‍යායෙන් නිපදවෙන දැනුම ඇතැම් අගතීන්ගෙන් ගහණවීමට ඇති ඉඩ කඩයි. ඒ අනුව මිනිසුන් අද්භූත දේවල් විශ්වාස කරන්නේ ඇයි? යන්නට පිළිතුරු සෙවීමේදීද  මූලික ගැටලූවක් වන්නේ අපැහැදිලි දත්ත මත බොහෝමයක් දේවල් සරල හුරුපුරුදු රටා ලෙස සැලකීමට අප පුරුදුව සිටීමයි.

 

අඟහරු ලොවේ මුහුණු 1976

 

අඟහරු ලොවේ මුහුණු 2001

 

එවකට පැවැති තාක්ෂණය අනුව නාසා ආයතනය 1976 දී අඟහරු ලොවේ මතුපිට පෙදෙසක ඡායාරූපයක් ගත් විට බොහෝ අය අඟහරු වැසියන් විසින් තනන ලද කිසියම් දැවැන්ත මුහුණක ස්වරූපයක් ඒ ඡායාරූපයෙන් පෙනෙන බව විශ්වාස කළා. එහෙත් 2001 දී වඩා දියුණු තාක්ෂණය යොදා නැවත එම ස්ථානය ඡායාරූප ගත කල විට අර මුහුණු මෙන් පෙනුනේ අඟහරු ලොවේ භූ විෂමතා ලක්ෂණ වලින් කොටසක් බව පැහැදිලි වුණා. ඇස තරමක් පුංචි කොට 2001 දී ගත් ඡායාරූපය දෙස බැලූවත් අර දැවැන්ත මුහුණුවල ස්වරූපය ඇති කර ගන්නට පුළුවන්. මන්ද ඇස පුංචි කිරීමේදී අපේ ඇසට ලැබෙන දත්ත ප‍්‍රමාණය යථා වශයෙන් ඇති දත්ත ප‍්‍රමාණයට වඩා අඩුයි. එවිට මුහුණක ස්වරූපය හඳුනාගන්න යැයි මා නොකීවද ඔබ නිතැතින්ම මුහුණක ස්වරූපය හඳුනා ගනීවි. ඒයට හේතුව මිනිස් මුහුණු දැක ගැනීම සඳහා පරිණාමයෙන්ම අපව ප්‍රෝගෑම්කර හෙවත් ක‍්‍රමලිඛිත කර ඇති බැවිනුයි.

සෙවල පෙඳ සහිත බිත්ති වල ඇති ඇතැම් කුරුටු ගෑම්, කරවුනු පාන් පෙති සහ ගස් වල ඇති පොතු මත මිනිස් මුහුණු දැකීමට අප පුරුදුව සිටින්නේ මුහුණු රටා දැකීමට අපේ යටිහිතේ ඇති කැමැත්ත නිසයි. 1966 දි ටෙනසි නගරයේ බේකරි හිමියෙක් තෙරේසා මව් තුමියගේ මුහුණේ ස්වරූපයට පිලිස්සී සැදුනු බනිස් ගෙඩියක් පෙන්වා සැලැකිය යුතු මුදලක් සොයාගත්තා. තෙරේසා මව්තුමිය සාන්තුවරියක් ලෙස සැලකිය යුතුයැයි ඇතැමුන් අදහස් කළත් මාධ්‍යවේදී ක‍්‍රිසටොපර් හිචන්සන් ඇය ගැන ලියු ‘මිෂනරි පොශිෂන්’ නම් ගවේෂණාත්මක පොතින් ඒ මතය තරයේ අහියෝගයට ලක් කළා. කෙසේ වෙතත් ඒ ආශචර්යමත් බනිස් ගෙඩිය ප‍්‍රදර්ශනය කිරීම නතර වුනේ තෙරේසා මවුතුමියගේ නිතීඥයන් බේකරි කරුවාට විරුද්ධව නීති මගින් කටයුතු කරන බවට තරවටු කළ පසුවයි. ඒ හා සමානව ඊ-බේ ඔස්සේ අලෙවි කළ චීස් පාන් පෙත්තක ඇතිව තිබූ කන්‍යා මරිය තුමියගේ මුහුණක් ආශචර්යක් ලෙස සැලකූ ලාස් වේගාස්හි කැසිනෝ හිමියෙක් ඩොලර් 28,500 කට එය මිලදී ගෙන රාමු කරගත්තා. මෙවැනි මනස්ගාත ආශචර්යන් ගැන ආගමික ලෝකයෙන්  ඕනෑ තරම් උදාහරණ දිය හැකියි.

අප අවබෝධ කරගත යුතු දෙයනම් අපේ මොළ සැදි පැහැදී ඇත්තේ රටා සෙවිමට බවයි. බිත්තිවල ඇති කුරුටු රටා , බනිස්ගෙඩි, පාන්පෙති වල පමණක් නොවෙයි රෑට ඇදවෙන හෙවනැලි, වැනෙන රෙදි කඩමාලූ, ලඳු පඳුරු වලද මුහුණක නැත්නම් සිරුරක හැඩයක් දැක අප හොල්මන් වන්නේ හැම දෙයකින්ම පාහේ කිසියම් රටාවක් දැකීමට නිසගයෙන් අප තුළ ඇති නැඹුරුවයි. ඒ අගතීගාමී නැඹුරුව ගැන සිහි නුවණින් යුතුව දැනුවත් වීමට නොහැකි වුනොත් ආශ්චර්යන් අලෙවි කරන වංචනිකයන්ගෙන් මෙන්ම හිතේ මැවෙන හොල්මන් වලින්ද අපට ගැලවීමක් නැහැ.

මයිකල් ෂර්මර් පැවැත්වූ ටෙඩ් කතාවක් තතු වෙබ් අඩවියෙන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.