ඇන්ජලෝ-සංගා යළිත් සම්මානයේ

 ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘ඩයලොග් – ශ්‍රී ලංකා ක‍්‍රිකට්’ සම්මාන උළෙලේදී වසරේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිවුවැනි වරටත් සම්මාන හිමිකර ගත්තේය. වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පිට පිටම දෙවැනි වසරටත් සම්මාන හිමිකර ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් පසුගිය වසරේද ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වීරයා බවට පත්වෙමින් සම්මාන හතරක් දිනා ගැනීම කැපී පෙනෙන සිද්ධියකි. මැතිව්ස් වසරේ දක්‍ෂතම එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ දක්‍ෂතම එක්දින පිතිකරු සහ වසරේ දක්‍ෂතම ටෙස්ට් පිතිකරු යන සම්මාන තුන ද හිමිකර ගත්තේය.
මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී ඊයේ (19) රාත‍්‍රී පැවැත්විණි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන්, රොෂාන් මහානාම සහ කුමාර ධර්මසේන මෙම සම්මාන උළෙලේදී විශේෂ සම්මාන හිමිකර ගත්හ.
දශක තුනකට ආසන්න කාලයක් වෘත්තීය මාධ්‍යවේදීන් වශයෙන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට කරන ලද සේවය වෙනුවෙන් එස්. ආර්. පතිරවිතාන (ද සන්ඬේ ටයිම්ස්), වර්නන් ගුණසේකර (දිනමිණ)  සහ මංගල ධර්මපේ‍්‍රම (ලක්බිම) යන මහත්වරු ජීවකාල සම්මාන හිමිකරගත්හ.
ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් තෙවැනි වරටත් පැවැති මෙම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී 2014 වසරේ විශිෂ්ට දස්කම් දැක්වූ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ සම්මාන ලැබූහ. මෙහිදී දේශිය තරගාවලිවලදී සහ අන්තර්ජාතික තරගවලදී දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 60 කට වැඩි පිරිසක් සම්මාන ලැබූහ.
ජනතා ඡුන්දයෙන් තෝරා ගන්නා වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයා සම්මානය සඳහා ක‍්‍රීඩකයන් 22 ක් නම් කර තිබූ ඒ අතරින් වැඩිම ඡුන්ද සංඛ්‍යාවක් ලබාගත් කුමාර් සංගක්කාර ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙලට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හරීන් ප‍්‍රනාන්දු මහතාද, සහභාගි වූහ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන අනුග‍්‍රහකයා වන ‘ඩයලොග්’ ආසියාටා සමාගම වෙනුවෙන් එම සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය මහතා සහ සමූහ අළෙවි ප‍්‍රධානී අමලි නානායක්කාර මහත්මිය මේ අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ තරග සංචාරයට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ සියලූම ක‍්‍රීඩකයන් මෙම උළෙලට සහභාගි වී සිටීම කැපී පෙනුණි. එම කණ්ඩායමේ නිලධාරීන් වන හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන ශී‍්‍රමත් ක්ලයිව් ලොයිඞ්, රිචී රිචඞ්සන් සහ කර්ට්ලි ඇම්බ‍්‍රා්්ස් යන මහත්වරු අතින් සම්මාන ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට අවස්ථාව උදාවිය.
අන්තර්ජාතික සම්මාන ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:

  • වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා : ඇන්ජලෝ මැතිව්ස්

 

  • වසරේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා : කුමාර් සංගක්කාර

 

  • වසරේ දක්‍ෂතම එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා : ඇන්ජලෝ මැතිව්ස්

 

  • වසරේ දක්‍ෂතම එක්දින පිතිකරු : ඇන්ජලෝ මැතිව්ස්

 

  • වසරේ දක්‍ෂතම එක්දින පන්දු යවන්නා : අජන්ත මෙන්ඩිස්

 

  • වසරේ දක්‍ෂතම ටෙස්ට් පිතිකරු : ඇන්ජලෝ මැතිව්ස්

 

  • වසරේ දක්‍ෂතම ටෙස්ට් පන්දු යවන්නා : රංගන හේරත්

 

  • වසරේ දක්‍ෂතම විස්සයි20 පිතිකරු : කුසල් ජනිත් පෙරේරා

 

  • වසරේ දක්‍ෂතම විස්සයි20 පන්දු යවන්නා : නුවන් කුලසේකර

 

  • වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා : කුසල් ජනිත් පෙරේරා

 

  • වසරේ දක්‍ෂතම ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව : ඒෂානි ලොකුසූරිය

 

  • වසරේ දක්‍ෂතම පිතිකාරිය : චමරි අතපත්තු

 

  • වසරේ දක්‍ෂතම පන්දු යවන්නිය : ඉනෝකා රණවීර

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.