ඈවන්ගාඩ් නැව කොටි වලිගයක් වෙයි…………

avangard-shipවසරකුත් මාසයක් තිස්සේ නැවේ නඩත්තුවට සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑ හතරකට වඩා වැය වී ඇති බවත් තවත් මිලියන 30ක් වැය කිරිමට නොහැකි බවත් එසේ වැය කොට නැව ලබා ගැනීම නිෂ්ඵල බවත් නැව අයත් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත.

 නැව වසර 35ක් පැරණි එකක් බවත් මෙතැන් සිට නැවේ සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත්වන බවත් පැවසූ නීතිඥවරු නැවට හානියක් සිදුවී සමූද්‍ර දූෂණයක් ඇති වුවහොත් එහි වගකීම රජය බාර ගත යුතු බවත් ප්‍රකාශ කර තිබේ. මේ තත්වය යටතේ ආණ්ඩුව දුෂ්කර තත්වයකට පත වීමට ඉඩ ඇත.මේ විමර්ශන සඳහා මේ තරම් කාලයක් ගතවුනේ මන්ද යන ප්‍රශ්නය මතු වේ.

ලබන 23 වැනිදා නියෝගයක්

 නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස දැනට ගාල්ල වරායේ රඳවා තිබෙන ඇවන්ගාඩ් නෞකාව කුමන බැඳුම්කර කොන්දේසි යටතේ මුදාහරිනවාද එසේ නැතහොත් අබලි ද්‍රව්‍යවලට වෙන්දේසි කරනවාද යන්න පිළිබඳව ලබන 23 වැනිදා නියෝගයක් ලබාදෙන බව ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය පසුගිය 09වනදා පැවති නඩු විභාගයේදී ප්‍රකාශ කර තිබේ.

මෙහිදී එම නැව අයත් සමාගමට මුදා හැරීමට විරෝධයක් නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත. ඇමරිකන් ඩොලර් ලක්ෂ දෙකක බැංකු බැඳුම්කරයක් යටතේ නැව මුදාහැරීමට සහ ඉන්පසු නැවට කුමක් හෝ දෙයක් සිදු කරන්නේ නම් ඒ සඳහා අධිකරණයේ අවසර ලබාගැනීමට රජයේ නීතිඥවරයා විසින් කොන්දේසියක් ඉදිරිපත් කරන තිබේ.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය නැව කුමන බැඳුම්කර කොන්දේසි යටතේ මුදා හරිනවාද එසේ නැතහොත් අබලි ද්‍රව්‍යවලට වෙන්දේසි කරනවාද යන්න පිළිබඳ නියෝගය 23 වන දින ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයාද ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට මහේස්ත‍්‍රාත්වරිය නියම කර තිබේ. නීති විරෝධී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී පසුගිය වසරේ ඔක්තෝබර් 13 වැනි දින මෙම නැව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.

ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී නැවේ තිබී, ටී. 56 ගිනි අවි 549, 84 එස් ගිනි අවි 265ක්, උණ්ඩ 204674ක් නැවේ ආරක්ෂාවට සවිකර තිබූ එල්.එම්.ජී. ගිනි අවි 2ක්, ටී. 56 ගිනි අවි එකක් සොයාගෙන ඇත. මේ වනවිට නැවේ තිබෙන සියලුම ගිනි අවි ඉවත්කොට නාවික හමුදා කඳවුරේ ගබඩා කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.