උතුරේ මිලිටරිකරණය ගැන සරසවි අදුරු විරෝධය

military-1උතුරේ දිගටම පවත්වාගෙන යනු ලබන හමුදාකරණය පිළිබඳ බියකරු සංඥාවක් යාපන සරසවියේ සිසුන් දෙදෙනකු මහමගදී මරා දැමීම මගින් විදහා දැක්වෙන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමූහයක් කියා සිටී.

විජයරාජා සුලක්ෂන් සහ නඩරාජා ගජන් දෙසිසුන් පොලිස් වෙඩි පහරින් මරා දැමීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන රටපුරා විශ්ව විද්‍යාල වල ආචාර්ය වර වරියන් පිරිසක් රජයට බලකර කියා සිටින්නේ උතුරේත්, නැගෙනහිරේත් හමුදාහරණය ‘කඩිනම් හා පලදායී’ අයුරින් කරන ලෙසය.

එමගින් සියලු රාජ්‍ය බලසේනා ‘ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයකට’ යටත් කරන ලෙස නිවේදනයෙන් ඉල්ලා තිබේ.

රටම හමුදාහරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් තුල ඒ ක්‍රියාදාමය ආරම්භ කරන ලෙස යෝජනා කරන ආචාර්ය සමූහය එහිදී ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) ඇතුළු සියලු ඔත්තු සේවා විසුරුවා හරින ලෙස බලකර සිටිති.

මහපොළොවේ යථාර්ථය:

ජනාධිපතිවරයා බලයට පත්වූ 2015 ජනවාරියෙන් අනතුරුව සංවාදය, විවාදය සහ විරුද්ධ මත දැරීමේ ඉඩ සැලසෙන සාපේක්ෂ වශයෙන් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය වුවත්, ‘මහපොළොවේ යථාර්ථය එතරම් පැහැබර නොවේ’ යි ඇදුරු සමූහය තම නිවේදනයෙන් අනතුරු අඟවයි.

“ජන ජීවිතය වඩා යහපත් වී ඇති බවට සාක්ෂි දකින්නට නැති තරම්ය. සංවර්ධනයේ සහ සංහිඳියාවේ නමින් ආක්‍රමණකාරී ලෙසින් ඔබා ඇති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බරපතල ලෙස සංවේගයට හේතු වෙයි. අද්දරට තල්ලු කෙරුනු පුද්ගලයෝ සදාකාලික දුගී බවේ ගැලී වෙසෙති.

හිතුමතේ අත් අඩංගුවට ගැනීම් සහ අතුරුදහන් කිරීම් තවමත් නුහුරු දෙයක් නොවන අතර ප්‍රචණ්ඩතාවත්, ආණ්ඩුකරණයේ යෙදෙන්නන්ගේ සහ සන්නද්ධ හමුදා වල සැක කටයුතු චර්යාත් පශ්චාත් යුද සමය තුලට පවා කිඳා බැස ඇති බව ජනතාවගේ අත්දැකීම් වලින් පෙන්නුම් කෙරෙයි,” යනුවෙන් එහි සඳහන් වෙයි.

අත්සන් කළෝ

ලියනගේ අමරකීර්ති, හරිනි අමරසූරිය, සී එස් ද සිල්වා, නිර්මාල් දේවසිරි, ක්‍රිශාන්ත ෆ්‍රෙඩ්රික්ස්, කාමිනා ගුණරත්න, රනිල් ඩී ගුණරත්න, ෂාහුල් හමීඩ් හස්බුල්ලා, මිහිරි ජෑන්ස්, ප්‍රභාත් ජයසිංහ, ප්‍රදීප් ජෙගනාදන්, නන්දක මධුරංග කළුගම්පිටිය, ධනේෂ් කරුණානායක, කුමුදු කුසුම් කුමාර, ශාමලා කුමාර්, කෞශල්‍ය කුමාරසිංහ, ඩී එච් එස් මෛත්‍රිපාල, මාධව මීගස්කුඹුර, කේ පී නිශාන්ත, නිකොලා පෙරේරා, රමිඳු පෙරේරා, විහඟ පෙරේරා, අබූබකර් රමීස්, හර්ෂණ රඹුක්වැල්ල, රෝහණ රත්නායක, අතුලසිරි සමරකෝන්, දිනේෂා සමරරත්න, ජානහා සෙල්වරාස්, සිවමෝහන් සුමති, එස්තර් සුරෙන්ද්‍රරාජ්, ජයදේව උයන්ගොඩ, අමාලි වෙදගෙදර, රුවන් වීරසිංහ සහ දිලීප විතාරණ ගේ නමින් ඔක්තෝබර් 27 සරසවි ඇදුරු නිවේදනය නිකුත් කොට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.