කප්පම ඉල්ලනවිට ව්‍යාපාරිකයා ඝාතනය කරලා…

 

Suleyiman1බම්බලපිටිය කොතලාවල ඇවිනියුහි අංක 21 ලිපිනයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සුලෙයිමාන් පැහැරගෙන ගොස් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා ඇත්තේ ඔහු මරා දැමීමෙන් අනතුරුව බව හෙළි වී තිබේ. එම දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයෙනි.

මාවනැල්ල රුකුලාගම මංසන්ධිය අසල වෙලක තිබී පසුගිය 24 දා සොයා ගත් සුලෙයිමාන්ගේ  මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රමේෂ් අලගියවන්න  විසින්  ඊයේ සවස සිදුකර තිබිණි. දේහය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.කේ මහින්දගේ විසින් සිදුකළේය.

අදාළ මරණය, මොට ආයුධයකින් හිස පිටුපසට සිදුකළ තදබල පහරදීමක් හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට රුධිරය වහනය වී සිදුව ඇති බවට එහිදී අනාවරණය වී ඇත.

අදාළ ව්‍යාපාරිකයා පැහැරගෙන පැයක පමණ කාලයක් ඇතුළත ඔහුගේ මරා දමා ඇති බවට ද මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට කොළඹ අපරාධ කොට්ඨාසය සහ කෑගල්ල පොලීසිය  ඒකාබද්ධව පොලිස් කණ්ඩායම් 08ක් යොදවා තිබේ. මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ ඉකුත් කාලයේ ‍මොහුට ණය වශයෙන් මුදල් ලබාදුන් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු හා ඔහුගෙන් මුදල් ණයට ඉල්ලා ගනු ලැබූ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කෙරෙහි බැව් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්   විසින් මෙම ඝාතනයට සැක කරන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට පියවර ගෙන තිබේ..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.