කුලී වාහන ගනුදෙනුව රුපියල් කෝටි 243 ක්..

vehicles

කුලී වාහන ගනුදෙනුව රුපියල් කෝටි 243 ක්.. වාහනේ කුලියෙ අගය වෙළෙදපල වටිනාකමටත් වැඩියි… අනුර කුමාර

ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධික්ෂණ මන්ත්‍රීවරුන් ලෙස දැනටත් එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක මාසික ප්‍රවාහන දිමනාවක් ගෙවමින් සිටිදී ඔවුන් සඳහාම රුපියල් ලක්ෂ හතක මාසික කුලියට වාහන ලබා ගන්නේ කුමන පදනමින්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදි ඊයේ (17) ප්‍රශ්න කර සිටියේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මෙසේද කීය.

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාදීමට තීරණය කර ඇති බවට වන පුවතක් මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත් වෙමින් පවතිනවා. ඒ සම්බන්ධ ගනුදෙනුව වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වී ඇති බවත් එම සමස්ත ක්‍රියාවලිය තුළ බරපතළ අක්‍රමිකතාවක් ඇති බවත් එම තොරතුරු අනුව හෙළිදරව් වෙමින් පවතිනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාළ තීරණය ගැනිමට පෙර ප්‍රසම්පාදන දැන්විම් පළ කර ඇති බවටත් ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ කමිටුව විසින් ලංසුකරුවන් ප්‍රතික්ෂේප කර ඇති නමුදු වාහන කුලියට ලබා ගැනිමේ කටයුත්ත ඉදිරියට යමින් ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.

Anura Kumara Dissanayakaකල් බදු ක්‍රමයට කුලියට ගනු ලබන මෙම වාහනයක දළ මාසික පිරිවැය රුපියල් 700000 ක් පමණ වන බවත් ඒ අනුව කිලෝමිටර් 01කට දළ වශයෙන් රුපියල් 250 ක් වන බවත් මාස 60 ක කාලයක් කුලියට ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව එක් වාහනයකට ගෙවිය යුතු මුදල වාහනයෙන් වෙළෙද පොල වටිනාකමටත් වඩා වැඩි රුපියල් ලක්ෂ 420 ක් පමණ විය හැකි බවත් වාහන 58 වෙනුවෙන් රජයට රුපියල් ලක්ෂ 24360 ක් (රු.මිලියන 2436) ගෙවීමට සිදුවන බවත් සඳහන් වෙනවා.
එසේම මෙතරම් මුදලක් ගෙවනු ලැබුවද කාලය අවසානයේ රජයට වාහන අයිතිය නොලැබෙන බවද පැවසෙනවා. ඒ අනුව සමස්ත ක්‍රියාවලිය පිටුපස බරපතල අක්‍රමිකතාවයක් ඇති බවටත් මූල්‍ය වංචාවක් සිදුවන බවටත් ජනතාවට සාධාරණ සැකයක් මතු වෙනවා.

මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වනුයේ ව්‍යාපෘති අධික්ෂණය වෙනුවෙන් යැයි පවසමින් මෙම වාහන ලබාදීමේ උත්සාහයම ගැටලූ සහගත විම නිසයි. මන්ද අනාවරණය වන පරිදි දැනටත් මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට රු. ලක්ෂ දෙක බැගින් ප්‍රවාහන දිමනාවක් ගෙවනු ලබමින් තිබෙනවා. අමතර පිරිවැයක් දරමින් වාහන ලබාදීමට උත්සාහ දරනු ලබන්නේ මෙම මන්ත්‍රීවරුන් පිරිසටයි. සැබවින්ම මෙම මන්ත්‍රීවරුන් යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තමන්ගේ රාජකාරි කටයුතු වෙනුවෙන් තීරු බදු රහිත වාහන ආනයනය වරප්‍රසාදය දැනටමත් භුක්ති විදින පිරිසක්ද වෙනවා.

rp_Parli.jpgමෙම තත්ත්වය තුළ පහත ගැටලූවලට පිළිතුරු අපේක්ෂා කරනවා.
1. දැනටමත් තිරු බදු රහිත වාහන ආනයන හිමිකම ඇති මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට කල්බදු හෝ මාසික කුලී පදනම යටතේ වාහන ලබාදීමට රජය විසින් තීරණය් ගනු ලැබ තිබේද? එසේනම් ඒ කවදාද?

2. මේ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වී තිබේද? එසේනම් ප්‍රසම්පාදන දැන්විම් පළකර ඇත්තේ කවදාද? කුමන පුවත්පත්වලද?

3. මන්ත්‍රීවරුන්ගේ කාලසීමාව ඉක්මවු එනම් ඉදිරියට මාස 60 ක කාලයක් වෙනුවෙන් වාහන කුලියට ලබාගැනිමට අපේක්ෂා කරනු ලබන්නේද?

4. දැනට රු. ලක්ෂ දෙක බැගින් ප්‍රවාහන දිමනාවක් ලබන මන්ත්‍රීවරුන් විසින් වාහන ලබා දෙන ලෙසට ඉල්ලිම් කරනු ලැබ තිබේද
5. දළ වශයෙන් කිලෝමිටර් 01 කට රු. 250 ක් වන පරිදි රු. 700000 ක මාසික කුලී පදනමින් වාහන ලබා ගැනිම සාධාරණ වනුයේද?

6. රු.කෝටි 243 කට වැඩි රාජ්‍ය මූල්‍ය ගනුදෙනුවක් වන මෙහි සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියම ගැටලූ සහගත බව අනාවරණය වන බැවින් අනාගත දූෂණ වංචා විමර්ශනයකදී මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන රාජ්‍ය නිලධාරින් වරදකරුවන් නොවන බවට ඇති සහතිකය කුමක්ද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.