කෙටිකතා බඳු අත්දැකීම් — කරුණාතිලක හඳුන්පතිරණ

පාසල් ඇත්තේ කවුරුන් සඳහා ද? කුමක් පිණිස ද? කරුණාතිලක හඳුන්පතිරණගේ නවතම කෘතිය “නොලියා ම බැරි නිසා” ශිෂ්‍ය උපදේශන භූමිකාවේ හා ගුරු භූමිකාවේ ලත් අත්දැකීම් සමුච්චයක්, යන පොත කියවන කවරකු තුළ වුවද යථෝක්ත ප්‍රශ්න දෙක නිතැතින් ම නැ‍ඟෙතැ යි සිතමි.

පාසල් ඇත්තේ දරුවන් සඳහා ය. ඔවුන්ට අධ්‍යාපනය දීමට ය, යන්න යට කී ප්‍රශ්න දෙකට දිය යුතු වන සරල ම පිළිතුර ය. එහෙත් හඳුන්පතිරණ වාර්තා කරන සිද්ධීන් දෙස බලන විට හැඟී යන්නේ කලාතුරකින් නොව, බොහෝ විට පාසල් ඇත්තේ ගුරුවරුන්ට ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම දෙයක් දරුවන් පීඩනයට පත් කරමින් සිදු කිරීමට නොවේ දැ යි සාංකාවක් උපදියි. මේ ලේඛකයා මීට පෙර පළ කළ සත්‍යය සුන්දර ද? යන කෘතියේත්, මේ කෘතියේත් එළි දැක්වෙන්නේ පාසලක් තුළ හෝ අධ්‍යාපන පද්ධතිය ඇසුරේ නො සිදුවිය යුතු සිද්ධි සමූහයකි.

අධ්‍යාපනය නඟා සිටුවීමට යෝජනා කරනු වස්, පත් කෙරුණු යම් කොමිෂන් සභාවක් වෙත ලිඛිත ව ඉදිරිපත් කෙරෙන දීර්ඝ සාක්ෂි ලේඛනයක් බඳු ය, හඳුන්පතිරණගේ මේ ලේඛන සමුච්චය. මේ ලේඛනයෙන් ඉදිරිපත් කෙරෙන්නේ හුදෙක් සැබෑ ම සජීවි දර්ශනයක් ය. මේ කෘතියට අයත් ලිපි 29 අතර පරිච්ඡේද අංක: 21 වන ස්වීයත්වය (පෞරුෂය) යන රචනය එකී අර්ථයෙන් පමණක් යම් ශාස්ත්‍රිය ලිපියක හැඩය ගනියි. අන් සියලු දේ ලේඛකයාගේ අත්දැකීම් ය. ඒ අත්දැකීම් ලියා ඉදිරිපත් කර ඇති ආකාරයෙන් ඒවා ගැන කිසිදු සැක සංකාවක් නූපදියි. පාඨක සිත් තදින් ඇදබැඳ ගනියි. අපගේ පාසල් පද්ධතිය තුළ යම් ධනාත්මක වෙනසක් සිදුවිය යුතු යැයි සිතේ…

මේ කෘතියේ එන සිද්ධි හා කතා සුප්‍රකට රුසියානු ලේඛකයකු වන ඇන්තන් චෙකොෆ්ගේ කතා බඳු ය. ඒ කතා පුවත්වල එන උපදේශාත්මක ඡේද ඉවත් කළ හොත් ඒවා සැබැවින් ම කෙටිකතා බඳු ය. මෙසේ වීමට සාධාරණ හේතුවක් ද ඇත. එනම්, චෙකොෆ් දක්වන පරිදි කෙටිකතාවක් යනු ජීවිතයේ පෙත්තකි. ඊට අනුව කෙටිකතාවකින් කෙරෙන්නේ සැබෑ ජීවිතය ගෙන හැර පෑමක් වෙයි. හඳුන්පතිරණ තම වාර්තාකරණය සිදුකර ඇත්තේ සැබෑ සිද්ධීන් ඉදිරිපත් කිරීමට ය. ඒ කාර්යයේ හඳුන්පතිරණ නමැති සාහිත්‍යකරුවා – කලාකරුවා – එළියට එන්නේ ඔහු ඒ කාර්යයේ දී අත්‍යවශ්‍ය ම දේ පමණක් ඉදිරිපත් කිරීම මඟින් තමන්ට කීමට අවශ්‍ය දේ කෙළින් ම හෝ ඇඟවීමෙන් කීමට සමත් වන නිසා ය.

මේ ලේඛකයාගේ ගද්‍ය ලේඛන රීතිය ඇතැම් විටක ජාතක කතාකරුවාගේ ගද්‍ය රීතිය මෙනි. යමක් කීමට ඔහු උපයෝගී කර ගන්නේ අඩු ම වචන සංඛ්‍යාවකි. අවශ්‍ය දේ පමණක් සරල ව කිය යි. කියන ලද සමස්තයේ ධ්වනිත වන අදහස හා දර්ශනය ආවේදනාත්මක ව පාඨක සිත් තුළ ලැගුම් ගනියි. ඉතා කෙටි රචනයක් වන “විජේ” මේ කරුණෙහි ලා දැක්විය හැකි කදිම නිදසුනකි. පළමුවන ශ්‍රේණියේ දඟකාර දරුවකු වන විජේ විදුහලින් නෙරපා හැරීමට පන්ති භාර ගුරුතුමිය පෙලඹෙන්නේ ඔහු පන්තියේ ඩෙස් එකක් මතට නැඟී කතාවක් පැවැත්වීම නිසා ම නො වෙයි. ඉගෙනීමට අසමත් මොන්ගල් වැනි දරුවකු සිටින ගුරුතුමියට දඟකාර විජේ නුරුස්සන නිසා ය. මේ කතා සිඟිත්තේ කලාත්මක භාවය කුළු ගැන්වෙන්නේ පාසලෙන් බැහැර කරනු ලැබූ විජේ ලොකු වී විවිධ රැකියා කරමින් ජීවත් වන අතර දිනක් ඔහු පාසල් දොරටුවක් අසල ටියුෂන් පන්තිවල දැන්වීම් පත්‍රිකා මිටියක් රැගෙන පාසල ඉදිරිපිට ප්‍රධාන දොරටුවෙන් පිටව යන ළමයින්ට ඒ පත්‍රිකා බෙදමින් සිටිනු දක්නට ලැබෙන විට ය.

පරිච්ඡේද අංක 17 “ඒත් ඉතින්” කතාව ඉඳහිට පාසල් එන හය වැනි ශ්‍රේණියේ දරුවකු පිළිබඳව ය. මෙහි කතා වස්තුව දිග නවකතාවකට තරම් වන්නේ වුව ද, හඳුන්පතිරණයන් එය සංක්ෂිපත් ව දක්වන විට එහි කිසිදු අඩුවක් පාඨකයාට නො වැටහෙයි. තාරින්ද නමැති දරුවා පිළිබඳවත් ඔහුගේ පවුලේ ඥාතීන් ගැනත් දක්වන කරුණු ගැන සලකන විට මෙවන් දුක් විඳින පිරිසක් අප සමාජය තුළ අපත් සමඟ ම සිටිත් දැ යි මහත් කම්පාවක් ඇති වෙයි. “එත් ඉතින්” වාර්තාකරණය ද, සාහිත්‍යකරණය ද කදිම සුසංයෝගයෙන් බිහි වූ අපූරු කෙටි කතාවකි.

හඳුන්පතිරණගේ කතා කලාවෙහි වැදගත් ම දේ වන්නේ හැම සිද්ධියක් ම අත්‍යවශ්‍ය හේතු ඵල ක්‍රමය මත ගොඩනැඟී තිබීම ය. කතාවල විශ්වසනීයත්වයට මූලික හේතුව එය වෙයි. තව ද ඔහු අවශ්‍ය ම අවස්ථාවල දී යොදාගෙන ඇති සංවාද අදහස් සන්නිවේදනයට පමණක් නොව ඒ ඒ චරිත නිරූපණය සඳහා ද උපයෝගී වෙයි.

“නොලියා ම බැරි නිසා” කෘතිය අවසන් වශයෙන් අගය කළ යුත්තේ අධ්‍යාපන ග්‍රන්ථයක් ලෙස ය.

“නො ලියා ම බැරි නිසා” කෘතියේ එන සියලු ම සිද්ධීන් පාඨකයාට අනුවේදනීය අත්දැකීමක් වෙයි. එසේ ම එම රචනාවල සාරගර්භත්වය කොතෙක් ද යත් පොත කියවා අවසන් කරන පාඨකයාට හැ‍ඟෙන්නේ තමා එක පොතක් නොව පොත් ගණනාවක් එකවර කියවන ලැබුවාක් මෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.