කොටි කටේ මරුවා සමඟ

ජනපතිනියට ඇසක්‌ අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව – 06
මරණය පෙනි පෙනී කොටි කටට ගිය ගමනක්‌

මෙතෙක්‌ කතාව

1999 වර්ෂයේදී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොළඹ නගර සභා පිටියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල විය. කොටි බුද්ධි අංශ නමැති පොට්‌ටු අම්මාන්ගේ උපදෙස්‌ මත මෙම ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ කොටි බුද්ධි අංශ නායකයන් වන ඉලංගදීර් සහ වෛට්‌ටි විසින්ය.

මරාගෙන මැරුණ ප්‍රහාරය එල්ල කළේ තමිල් සෙල්වි නම් කොටි කාන්තාව විසින්ය. දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටි ඇය බෝම්බ ඇඳුම් කට්‌ටලය ඇඟලා ගත්තේ කොටහේන බ්ලූමැන්ඩල්හි පිහිටි කාලිඅම්මාන් කෝවිලේදීය.

බෝම්බ ඇඳුම ඇයට ඇන්දවූ කාලි කෝවිලේ පූසාරිවරයා සහ ඔහුගේ බිරිඳ රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මරාගෙන මැරුණු ප්‍රහාරය එල්ල කළ තමිල් සෙල්විගේ මව්පියන් සොයාගත් ආකාරය හය වැනි කොටසින් දිගහැරෙයි.

bomb1

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ තමිල් සෙල්වි නවාතැන් ගෙන සිටියේ දෙහිවල ප්‍රදේශයේ බව හෙළිකර ගැනීමට හැකි වුවද ඇය ලැඟුම්ගත් ස්‌ථානයක්‌ හෝ ඇගේ අනන්‍යතාව පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ ලබා ගන්නට රහස්‌ පොලිසියට හැකිව තිබුණේ නැත.

තමිල් සෙල්විගේ විකෘතිව ගිය හිස කොටස ප්‍රකෘති තත්ත්වයට පත්කර එහි ඡායාරූපයක්‌ සහිත පෝස්‌ටරයක්‌ මුද්‍රණය කරන්නට රහස්‌ පොලිසිය කටයුතු කරන්නේ ඒ මාර්ගයෙන් හෝ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීම සඳහාය. මේ පෝස්‌ටරය රටපුරා සෑම ප්‍රදේශයකම ප්‍රදර්ශනය කර ඒ හරහා මහජනතාවගෙන් කිසියම් හෝඩුවාවක්‌ ලබා ගන්නට රහස්‌ පොලිසිය උත්සාහ කළේය.

තමිල් සෙල්විගේ හිස කොටස සහිත ඡායාරූපය විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේද ප්‍රචාරය කරමින් ඇය ගැන කිසියම් තොරතුරක්‌ ලබා ගන්නට පොලිසිය සැලසුම් කළේaය. තමිල් සෙල්වි පිළිබඳ නිවැරැදි තොරතුරක්‌ ලබාදෙන ඕනෑම අයෙකුට රුපියල් විසි ලක්‍ෂයක මුදල් ත්‍යාගයක්‌ද පිරිනමන්නට පොලිසිය ඉදිරිපත් වුණේ කෙසේ හෝ ඇය ගැන හෝඩුවාවක්‌ ලබා ගැනීමටය.

තමිල් සෙල්විගේ හිස සහිත ඡායාරූපය ඇතුළත් පෝස්‌ටරය ප්‍රදර්ශනය කිරීමත් සමඟම රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායම් කීපයක්‌ වන්නියේ මෙන්ම මඩකලපුව ප්‍රදේශවල සැරිසරන්නට වූහ. මරාගෙන මැරුණු මිනිස්‌ බෝම්බය පිළිබඳ කිසියම් තොරතුරක්‌ වැඩි දවසක්‌ ගතවන්නට පෙර ලැබෙනු ඇතැයි ඔව්හු විශ්වාස කළහ.

රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ උත්සාහය මල්ඵල ගන්වන්නට එතරම් කාලයක්‌ ගත වූයේ නැත.

මඩකලපුවේ රැඳී සිටි පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර වෙත එම ප්‍රදේශයේ රාජකාරි කරන පොලිස්‌ නිලධාරියකුගෙන් තොරතුරක්‌ ලැබුණේ මේ අතරතුරදීය.

සර්… දෙමළ ගෑනු කෙනෙක්‌ ඇවිත් ඉන්නවා. තමිල් සෙල්වි ගැන විස්‌තර එයා දන්නව කියනවා.

මේ තොරතුරු ලැබීමත් සමඟම ශානි අබේසේකර දැඩි ප්‍රීති ප්‍රමෝදයට පත් වුණේය. මාස ගණනක්‌ තිස්‌සේ දීර්ඝ ලෙස පරීක්‍ෂණ කළද මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මිනිස්‌ බෝම්බය පිළිබඳව ඒ වනතුරු නිවැරැදි තොරතුරක්‌ ලැබී තිබුණේ නැත. එවැනි අවස්‌ථාවක තමිල් සෙල්වි පිළිබඳ තොරතුරු හෙළි කිරීමට කාන්තාවක්‌ ඉදිරිපත්ව සිටින බව සැලවූ වහාම රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම ඇය සොයා ගියහ.

පොලිස්‌ නිලධාරීන් හමුවේ පෙනී සිටි දෙමළ කාන්තාව විකන්දුපොඩි වේදරාණි නම් වූවාය. මඩකලපුව මන්මුණේ උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය පනස්‌ දෙහැවිරිදි වියේ පසුවූ තැනැත්තියකි. සිංහල භාෂාව යම්තාක්‌ දුරකට හැසිරවීමේ හැකියාව තිබූ වේදරාණි තමන් දන්නා සියලු තොරතුරු හෙළි කරන්නට වූවාය.

“සර් මේ ෆොටෝ  එකේ ඉන්නෙ මානික්‌ක ලීලා. එයාට සාවිත්‍රි කියලත් කියනවා. මන්මුණේ මගේ ගෙදරට අල්ලපු ගෙදර තමයි මෙයා පදිංචි වෙලා හිටියෙ. වේදරාණි සියලු තොරතුරු හෙළි කරන්නට වූවාය.

මානික්‌ක ලීලා 1994 දී එල්.ටී.ටී.ඊ. එකෙන් බලහත්කාරයෙන් අරගෙන ගියා. එදයින් පස්‌සෙ කිසිම දවසක එයාව මම දැක්‌කෙ නැහැ. එයාට සහෝදරයො දෙන්නෙකුයි එක සහෝදරියකුයි ඉන්නවා. වේදරාණි හෙළිකළ තොරතුරු ඉතාම වැදගත් විය. කොළඹ පුරහල භූමියේදී පුපුරා ගිය මිනිස්‌ බෝම්බය පිළිබඳ තොරතුරු එකින් එක හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටය.

මානික්‌ක ලීලාගේ අම්මයි පවුලේ අනෙක්‌ අයයි මන්මුණේ ගෙදර ඉන්නවා. ඒ අයගෙන් තව විස්‌තර ගන්න පුළුවන්…

වේදරාණි ලබාදුන් තොරතුරු අනුව රහස්‌ පොලිසිය තම පරීක්‍ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන්නට පටන් ගත්තේය.

වේදරාණි කොළඹට රැගෙන ගොස්‌ ප්‍රහාරය එල්ල කළ කොටි කාන්තාවගේ හිස කොටස ඇයට පෙන්වීමට පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කටයුතු කළහ.

එම හිස කොටස හොඳින් පරීක්‍ෂා කළ වේදරාණි එය මානික්‌ක ලීලාගේ බව හඳුනා ගත්තාය.

එදින රාත්‍රියේම ශානි අබේසේකර ඇතුලු නිලධාරීහු මඩකලපුවට පැමිණියහ. ඔවුහු පසුදා උදැසනම මන්මුණේ උතුර ප්‍රදේශය වෙත ගොස්‌ මානික්‌ක ලීලාගේ වැඩිමහල් සොහොයුරු වන සත්‍යමූර්ති අත්අඩංගුවට ගත්හ.

“සර්.. මානික්‌ක ලීලා කියන්නෙ මගේ නංගී. කොටි සංවිධානය එයාව අරගෙන ගියේ බලහත්කාරයෙන්. එදායින් පස්‌සෙ කිසිම දවසක අපට නංගිව දකින්න ලැබුණේ නැහැ. ජනාධිපතිනිය ඉලක්‌ක කරගෙන නගර සභා පිටියේදී බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානි කරගත්තේ මගේ නංගී කියලා දැනගත්තේ ඒ සිද්ධිය වෙලා මාසෙකට විතර පස්‌සෙ.

මඩකලපුව ප්‍රාදේශීය කොටි නායකයෙක්‌ ඉන්නවා සුරේෂ් කියලා. එයා මඩකලපුව කොක්‌අඩිචෝලේ කැලෑවෙදී මට මුණගැහුණා. එයා තමයි මට මුලින්ම කිව්වෙ නගර සභා පිටියේ ප්‍රහාරය එල්ල කළේ මගේ නංගී කියලා”.

සත්‍යමූර්ති තමන් දන්නා සියලු තොරතුරු එකින් එක හෙළි කරන්නට පටන් ගත්තේය. ඒ ඔස්‌සේ සිය පරීක්‍ෂණ කටයුතු ඉදිරියට කරගෙන ගිය ශානි අබේසේකර ඇතුළු නිලධාරීහු මානික්‌කලීලාගේ මන්මුණේ පිහිටි නිවස වැටලූහ.

මානික්‌ක ලීලාගේ මව වන ක්‍රිෂ්ණපිල්ලේ කිලානි, ඇගේ සොහොයුරිය වන එම්. කනගේෂ්වරී සහ බාල සොහොයුරා වන එම්. නල්ලයියා අත්අඩංගුවට ගනු ලැබූහ. මානික්‌ක ලීලාගේ මවගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹුණේ එතැන් සිටය.

“මානික්‌ක ලීලා මැරිලා මාසෙකට විතර පස්‌සෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කට්‌ටියක්‌ අපේ ගෙදරට ආවා. ඒ අය කිව්වා මානික්‌ක ලීලා දෙමළ ජාතිය වෙනුවෙන් කොටි සංවිධානය වෙනුවෙන් ජීවිතය පූජා කළා කියලා. අපේ පවුල මහවිරු පවුලක්‌ විදිහට නම් කළා. ඒ විතරක්‌ නොවෙයි මට මාසයක්‌ ගාණේ රුපියල් 7,500 ක මුදලකුත් ගෙවන්න ඒ අය කටයුතු කළා”.

මානික්‌ක ලීලාගේ මව හැඬූ කඳුළින් කියා සිටියාය. ඔවුන් සියලුදෙනා මඩකලපුව මන්මුණේ සිට කොළඹට රැගෙන ආ රහස්‌ පොලිසියේ නිලධාරීහු මානික්‌ක ලීලාගේ හිස කොටස ඔවුන්ට ප්‍රදර්ශනය කළහ.

මියගොස්‌ සිටින්නේ තම දියණිය බව මානික්‌ක ලීලාගේ මව එකවරම හඳුනා ගත්තාය. මානික්‌ක ලීලා සියදිවි හානිකර ගැනීමට පැය කීපයකට පෙර බ්ලූමැන්ඩල් කෝවිලේ පූසාරිවරයාට ලබාදී තිබූ කරාඹු යුගලය සහ පාදසළඹ ද රහස්‌ පොලිසිය ඇගේ මවට පෙන්වීමට ඉඩ සැලැස්‌සුවේය.

මේ කරාඹු ජෝඩුව මම දුවගෙ කනට දැම්මේ එයා වැඩිවිය පැමිණි දවසෙ. පාදසළඹත් මම එයාට පුංචි කාලේ අරගෙන දීපු එකක්‌.

තම දියණිය පැළඳ සිටි කරාඹු යුගලය සහ පාද සළඹ දැතින්ම ග්‍රහණය කරගත් ක්‍රිෂ්ණපිල්ලේ එය සිප ගනිමින් කඳුළු වගුරුවන්නට වූවාය.

සත්‍ය තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත මානික්‌ක ලීලාගේ මව සොහොයුරන් දෙදෙනා සහ සොහොයුරිය රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාර ගත කෙරිණි.

මානික්‌ක ලීලා කොටි සංවිධානයට බඳවා ගැනීමෙන් පසු ඇය “කැනම්” යන නමින් හැඳින් වූවාය. හිටපු ජනාධිපතිනිය ඉලක්‌ක කර එල්ල කරන ලද ප්‍රහාරය සඳහා ඇයට ලබාදී තිබුණේ තමිල් සෙල්වි යන නම බව හෙළි කරගන්නට රහස්‌ පොලිසියට හැකිවිය.

තමිල් සෙල්විගේ පවුලේ ඥතීන් සොයා මඩකලපුව මන්මුණේ ප්‍රදේශයේ සති කිහිපයක්‌ තිස්‌සේ කරක්‌ගැසූ රහස්‌ පොලිසියේ නිලධාරීහු ඉතාම වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකරගෙන සිටියහ.

කොළඹ පුරහල බෝම්බ සිද්ධිය පිටුපස සිටින තවත් මහා මොළකරුවකු පිළිබඳ තොරතුරු රැසක්‌ පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර වෙත ලැබෙන්නේ මඩකලපුවේදී අල්ලාගත් කොටි සාමාජිකයන් කිහිප දෙනකු මාර්ගයෙන්ය.

ඔහු නමින් ත්‍රොaනර්ය. පදිංචිය මඩකලපුව ඉලුප්පෙච්න උන්නිච්චිය දෙමළ ග්‍රාමයේය. කොටි බුද්ධි අංශ ප්‍රධානි පොට්‌ටු අම්මාන් සමඟ ඉතාම සමීපව කටයුතු කළ ත්‍රොaනර් චතුර ලෙස සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව තිබුණේය.

කොළඹ මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවකු වූ ත්‍රොaනර් ගලධාරි බෝම්බ සිද්ධියේද ක්‍රියාකාරි බුද්ධි අංශ සාමාජිකයකු විය.

දකුණේ සිදුවූ මහා පරිමාණ බෝම්බ පිපිරවීම් රැසකට විශාල දායකත්වයක්‌ ලබාදී තිබූ ත්‍රොaනර් නිතර නිතරම කොළඹ ප්‍රදේශයේ කරක්‌ගසමින් සිටි කොටි බුද්ධි අංශ නායකයෙකි.

දකුණේ ප්‍රහාර රැසකට අවශ්‍යව සිටි ත්‍රොaනර් අත්අඩංගුවට ගන්නට පොලිසිය ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසය කොතෙකුත් උත්සාහ කර තිබුණද ඒවා සාර්ථක වී තිබුණේ නැත.

කොළඹ නගර සභා පිටියේදී චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කරමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන පෙළේ සැලසුම්කරුවකු ලෙස ත්‍රොaනර් කටයුතු කර තිබුණේය.

පුරහල බෝම්බ ප්‍රහාරය සඳහා තමිල් සෙල්වි කොළඹට රැගෙන එන්නේ ත්‍රොaනර් විසින්ය. ශෂී නැමැති කොටි බුද්ධි අංශ සාමාජිකයා තමිල් සෙල්විගේ සහායකයා ලෙස සම්බන්aධ කරන්නේද ත්‍රොaනර් විසින් බව රහස්‌ පොලිසිය හෙළිකර ගත්තේය.

වන්නියේ සිට කොළඹ පැමිණි තමිල් සෙල්වි නගර සභා පිsටියට යනතුරුම ඇය මෙහෙය වීමේ කටයුතු භාරව ක්‍රියාකර තිබුණේද ත්‍රොaනර් බව හෙළිවිය.

හිටපු ජනාධිපතිනි ඝාතන තැත සඳහා පූර්ණ දායකත්වයක්‌ දී තිබූ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීම සඳහා රහස්‌ පොලිසිය සැලසුමක්‌ සකස්‌ කරන්නට විය.

කොටි පාලන ප්‍රදේශයේ සැඟවී සිටින ත්‍රොaනර් සොයා ගැනීමේ බාර ධුර රාජකාරිය පැවරෙන්නේද රහස්‌ පොලිසියේ කීර්තිමත් නිලධාරියකු වන ශානි අබේසේකර වෙතමය.

ත්‍රොaනර් පිළිබඳව තොරතුරු සෙවීම සඳහා ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ සති කිහිපයක්‌ තිස්‌සේ දැඩි වෙහෙසකර රාජකාරියක නිරත වූහ. ත්‍රොaනර්ගේ හැඩරුව මෙන්ම ඔහු හැසිරෙන ප්‍රදේශයන් පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක්‌ සොයා ගන්නට රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමට හැකිවිය.

මඩකලපුව වනාන්තර ප්‍රදේශයක පිහිටි කොක්‌අඩිචෝලේ සහ බීරූට්‌ කඳවුරුවල ත්‍රොaනර් රැඳී සිටින බවට තොරතුරු රහස්‌ පොලිසියේ නිලධාරීන් වෙත ලැබී තිබුණි.

ඉලුප්පෙච්න උන්නිච්චිය දෙමළ ග්‍රාමයේ පිහිටි නිවසේ සිටින තම මෑණියන් බැලීමට ත්‍රොaනර් පැමිණෙන බවද රහස්‌ පොලිසිය සොයා ගත්තේය.

කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රධාන පෙළේ කඳවුරු දෙකක්‌ වන බීරූට්‌ සහ කොක්‌අඩිචෝලේ කඳවුරු පිහිටා තිබුණේ උන්නිච්චිය ග්‍රාමය ආසන්නයේය.

“අපි කොහොම හරි උන්නිච්චිය ගමට පැනලා ත්‍රොaනර්ව ඇරස්‌ට්‌ කරන්න ඕනෙ. එහෙම නොකළොත් අපි මේ කරන පරීක්‍ෂණවලින් නියම ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ. පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර සිය සහෝදර නිලධාරීන්ට කීවේය.

මොන තරම් භයානක කටයුත්තක්‌ වුවද කොටි පාලන ප්‍රදේශයේ පිහිටි උන්නිච්චිය ග්‍රාමයට ගොස්‌ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීම කළ යුතුය.

ඒ භාරධුර කාර්ය බාරගත් පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර, පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු, උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. සාජිත් ඇතුළු නිලධාරීහු මඩකලපුව බලා පිටත් වූහ.

2000 වර්ෂය වන විට කොටි ත්‍රස්‌තවාදීහු ඉතාම බල සම්පන්න තත්ත්වයකට පත්ව සිටියහ. ඔවුන්ගේ තොරතුරුජාලය ඉතාම ප්‍රබල විය. මඩකලපුවේ ප්‍රදේශ ගණනාවක බලය කොටි ත්‍රස්‌තවාදීන් සිsයතට ගෙන සිටියහ.

කොටි ත්‍රස්‌තයන්ගේ ඔත්තුකරුවෝ මඩකලපුව පුරා විසිර ගොස්‌ සිටියෝය. කොටි පිස්‌තෝල බළකාය ද ඉතාම සක්‍රීය කාර්යයක නිරතව සිටියහ. කොටින්ම කොටි සංවිධානයට නොදැනෙන්නට මඩකලපුව ප්‍රදේශයේ කිසිදු ක්‍රියාවක්‌ කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබුණේය.

මේ සියලු කරුණු කාරණා හොඳින් දැනසිටි ශානි අබේසේකර ඇතුළු නිලධාරීහු කොටි ත්‍රස්‌තයන්ගේ පාලන ප්‍රදේශයකට ඇතුළු වී ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැලසුම් කරන්නට වූහ. උන්නිච්චිය ග්‍රාමයට ඇතුළුවීම මරුකටට ඇතුළුවන තරම් භයානක කටයුත්තක්‌ බව රහස්‌ පොලිසියේ නිලධාරීන් හො¹කාරවම දැන සිටියහ.

එහෙත් ඒ සියලු භයානක අභියෝග මෙන්ම ජීවිත අවදානම පසෙක දැමූ පොලිස්‌ නිලධාරීහු රාජකාරියට මුල්තැන දුන්හ.

ඒ වන විට නැගෙනහිර පළාතේ ආරක්‍ෂක කටයුතු ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාර වී තිබුණේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙතය.

ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමේ කාර්ය සඳහා උන්නිච්චිය බලා යන ගමනට විශේෂ කාර්ය බළකායේ සහාය ලබා නොගැනීමට රහස්‌ පොලිස්‌ නිලධාරීහු කතිකාකර ගත්හ.

පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු කලක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ රාජකාරි කළ දක්‍ෂ තරුණ නිලධාරියෙකි. පසු කලෙක ඔහු රහස්‌ පොලිසියට අනුයුක්‌ත වුණේය. උන්නිච්චිය වෙත ගොස්‌ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමේ අති භයානක රාජකාරිය ප්‍රසාද් ප්‍රනාන්දු සිය කැමැත්තෙන්ම භාර ගත්තේ රහස්‌ පොලිසියේ නිලධාරීන් පවා පුදුමයට පත් කරමින්ය.

රහස්‌ පොලිසියේ නිලධාරි සුළු පිරිසකගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ හොර රහසේ උන්නිච්චියට ඇතුළු වීමට සැලසුම් කළහ.

“චීµa… අන්ක්‌ලියර්ඩ් ඒරියාවල කරක්‌ගහලා මට හොඳට පුරුදුයි. මම කොහොමහරි ත්‍රොaනර්ව අරගෙන එන්නම්. මට ඔය වැඩේ භාර දෙන්න”.

උන්නිච්චිය බලා යන බිහිසුණු ගමනට නායකත්වය දෙන්නට ප්‍රසාද් ප්‍රනාන්දු ද ඉදිරිපත් වුණේ ඉතාම සැහැල්ලුවෙන්ය. මේ අවදානම් මෙහෙයුම සඳහා තම සගයෙකු වූ උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. සාජිත් සම්බන්ධ කරගන්නට ප්‍රසාද් ප්‍රනාන්දු අවසර ලබා ගත්තේය. ඊට අමතරව තවත් රහස්‌ පොලිස්‌ නිලධාරීන් තිදෙනක්‌ ද මේ ගමනට එක්‌ව සිටියහ.

ත්‍රොaනර්ගේ හැඩරුව මෙන්ම ඔහු පිළිබඳ සියලු තොරතුරු පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු වෙත ලබා දෙන්නට ශානි අබේසේකර කටයුතු කළේය.

කොටි බුද්ධි අංශ ප්‍රධානි පොට්‌ටු අම්මාන්ගේ සමීපතම සගයකු වූ ත්‍රොaනර් පිළිබඳව බුද්ධි අංශය වෙත ඒ වන විට වැඩි තොරතුරක්‌ තිබුණේ නැත. කොටින්ම ත්‍රොaනර්ගේ ඡායාරූපයක්‌ පවා බුද්ධි අංශය සතුව නොතිබිණි.

එහෙත් ඒ වන විට රහස්‌ පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් ත්‍රොaනර් පිළිබඳ තොරතුරු රැසක්‌ හෙළිකරගෙන සිටියහ. උන්නිච්චියට ඇතුලු වීමේ මාර්ගයන් පිළිබඳව මෙන්ම අවට පිහිටා තිබෙන කොටි කඳවුරු පිළිබඳව සිතියම් ආශ්‍රයෙන් දැනුමක්‌ ලබාගත් ප්‍රසාද් ප්‍රනාන්දු සිය සගයන් සමඟ ගමනට සූදානම් වූයේය.

“අපි උන්නිච්චිය ගමට යන්නේ සාමාන්‍ය වෙළෙන්දන් විදිහට වෙස්‌ මාරු කරගෙන. ඔපරේෂන් එකට මාත් එක්‌ක පස්‌ දෙනෙක්‌ එකතු වෙනවා. මේ ගමන සැහැල්ලුවෙන් හිතන්න එපා. අපට ආපහු එන්න වෙයිද කියන එකත් සැක සහිතයි. මොකද උන්නිච්චිය කියන්නෙ කොටි ත්‍රස්‌තවාදීන් නිතර ගැවසෙන කොටි පාලන ප්‍රදේශයක්‌.”

ප්‍රසාද් ප්‍රනාන්දු සිය සහෝදර නිලධාරීන්ට ගමනේ භයානකකම පැහැදිලිs කර දුන්නේය. පොලිස්‌ පරීක්‍ෂක ශානි අබේසේකර ඔවුන් සියලු දෙනාට අවශ්‍ය උපදෙස්‌ ලබා දුන්නේ කෙසේ හෝ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමේ අභිප්‍රායෙන්ය.

ශානි අබේසේකර ඇතුළු රහස්‌ පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මඩකලපුවේ එක්‌තරා ප්‍රදේශයක ස්‌ථානගත වුණේ තම සහෝදර නිලධාරීන්ට කිසියම් අනතුරක්‌ සිදු වූවොත් ඔවුන් බේරා ගැනීමේ සූදානම ඇතිවය.

පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දුට දෙමළ භාෂාව හැසිරවීමේ හැකියාවක්‌ තිබුණේය. මුස්‌ලිම් ජාතිකයකු වූ එස්‌. එම්. සාජිත් මුස්‌ලිම් ව්‍යාපාරිකයකුගේ වෙස්‌ ගත්තේය. සෙසු නිලධාරින්ද සිවිල් ඇඳුම්වලින් සැරසී උන්නිච්චිය බලා යන්නට සූදානම් විය.

තම ජීවිතවල වටිනාකම පවා මොහොතකට අමතක කළ මේ අභීත නිලධාරීන් කොටි පාලන ප්‍රදේශයට ඇතුලු වන්නේ කෙසේ හෝ ත්‍රොaනර් ජීවග්‍රහයෙන් අල්ලාගෙන නිරුපද්‍රිතව නැවත මඩකලපුව වෙත එන බලාපොරොත්තු ඇතිවය.

උන්නිච්චිය ග්‍රාමය පිහිටා තිබුණේ මඩකලපුවේ සිට කිලෝ මීටර් 10 කට ආසන්න දුරින්. මඩකලපුවට ජලය බෙදාහරින විශාල ජල ටැංකිය පිහිටා තිබුණේද උන්නිච්චිය ආසන්නයේය. මේ ජල ටැංකිය වෙත යැම සඳහා ප්‍රධාන මාර්ගයක්‌ පිහිටා තිබුණේය. වෙස්‌වලාගත් පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු එස්‌. එම්. සාජිත් ඇතුළු නිලධාරීහු ප්‍රධාන මාර්ගය ඔස්‌සේ උන්නිච්චිය දෙසට කිලෝ මීටර් හයක්‌ පමණ දුරක්‌ පාගමනින් ගියහ. ප්‍රධාන මාර්ගයේ වාහන කිසිවක්‌ ධාවනය වූයේ නැත. පාපැදිවලින් ඉඳහිට ගමන් කරන දෙමළ ජාතිකයන් මහත් ඕනෑකමින් පොලිස්‌ නිලධාරීන් දෙස බැලුවේ අරුම පුදුම සත්වයන් දෙස බලන ලෙසය.

එකත් එකට මුන් කොටින්ගෙ ඔත්තුකාරයො. අපි කෝකටත් පරිස්‌සම් වෙන්න ඕනෙ. නිකමටවත් අපි සිංහලෙන් කතා කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් උන්ට අපි ගැන සැක හිතෙන්න පුළුවන්.

ප්‍රසාද් ප්‍රනාන්දු තම සගයන්ට කීවේය. වෙස්‌වලාගෙන සිටි පොලිස්‌ පරීක්‍ෂකවරුන් දෙදෙනා රිවෝල්වර් දෙකක්‌ ඉනේ සඟවාගෙන සිටියේ කිසියම් ප්‍රහාරයක්‌ එල්ල වූවොත් ඊට මුහුණ දීම සඳහාය. ඊට අමතරව අත් බෝම්බ දෙක බැගින් ඔවුන් සඟවා ගෙන සිටියේ කිසියම් මොහොතක කොටි ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයට නතු වූවොත් බොම්බ පුපුරුවාගෙන සියදිවි තොරකර ගැනීමේ අරමුණ ඇතිවය.

“උන්නිච්චියේදී බැරිවෙලා හරි අපි කොටින්ට අහු වුණොත් “ඇටෑක්‌” කරලා බේරෙන්න බලමු. බැරිම වුණොත් අපි බෝම්බ පුපුරුවාගමු. කොටින්ට අහුවෙන එකට වඩා මැරෙන එක සැපයි.”

කොටි පාලන ප්‍රදේශයේදී ප්‍රසාද් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට අත්විඳින්නට සිදුවූ භයානක සිදුවීම් පිළිබඳව ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.

හේමන්ත රන්දුණු

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.