ගාළුලු පාර දිග හැලුණ සිනා සළු – ඩොමිනික් චන්ද්‍රසාලි විසින් රචිත

dominic

ඩොමිනික්‌ චන්ද්‍රසාලි කවියාගේ “ගාලු පාර දිගේ හැලුණ සිනා සළු” කාව්‍ය සංග්‍රහයට සිය පෙරවදන හෘදයාගමව චිත්‍රණය කරනු ලබන මංජුල වෙඩිවර්ධන කවියා ඉංගී්‍රසි කිවියර බෙන්ජමින් සොෆානියාගේ වීදියේ දේශපාලනික කාව්‍යය ගෙනහැර දක්‌වමින් ඩොමිනික්‌ චන්ද්‍රසාලි තුළින් මතුව එන වීදියේ කටෝර වූ කවිය හා එකී ගාලු පාරෙන් අහුලාගත් කාව්‍ය අනුභූතීන් බෙන්ජමින්ගේ කාව්‍ය සංස්‌කෘතිය හා බද්ධව ගමන් කර ඇති අයුරු ඉදිරිපත් කරයි. ඉහත උපුටා ගෙන ඇති බෙන්ජමින් සොෆානියාගේ කවිය තුළින්ම ඩොමිනික්‌ චන්ද්‍රසාලි වෙත ඇදී එන්නට අප ප්‍රිය කරන්නේ මංජුල වෙඩිවර්ධන විශ්ව සාහිත්‍යයේ එන කවියන් සමඟ ඩොමිනික්‌ව සාධනීය ලෙස බද්ධ කරමින් ඔහු සමඟ ගාලු පාර දිගේ ඇවිද යන්නට ඉදිරිපත් වීම අගය කරමිනි. සැබැවින්ම කවියා කවියෙක්‌ වන තුරු කවියන්ව ප්‍රිය නොකරයිද? ඩොමිනික්‌ කවියන් ප්‍රිය කරන නිසා මමත් ඩොමිනික්‌ සමඟ ඇවිද යමි. ඩිකන්සියන් නවකතාවක සිඩ්නි කාර්ටන් ඇවිද ගියා සේ මම ඩොමා සමඟ ඉබාගාතේ ඇවිද යමි. තවම ඔබේ ඇවිදීමේ නිදහසට බාධාවක්‌ නොමැත. ලන්ඩනයේ අපවිත්‍ර වූ තේම්ස්‌ නදී ඉවුර දිග විලියම් බ්ලේක්‌ ඇවිදගියා සේ ඔබටද අප සමඟ එක්‌ විය හැක.

ඩොමිනික්‌ ගාලු පාර දිගේ මීයන් රංචුවක්‌ මෙන් ආර්ථික ගැටුම සමඟ උරෙන් උර දුවන්නට වෙර දරන නමුත් අවසන පරාජය පිළිගැනීමෙන් සෑහීමට පත් නොවන සමස්‌ත මිනිස්‌ ප්‍රජාවකගේ මුවඟින් වැටෙන සිනා සළු එකතු කරමින් එකී මිනිසුන් වෙනුවෙන් සිය දෑසින් වැටෙනා කඳුළු කැට කවි පොකුරක්‌ කර අපට ඉදිරිපත් කර ඇත. සැබැවින්ම මේ සියුම්-සිප්පි කටු උඩ පෙම් කරන හක්‌බෙලි හදවත්වල සිනා රුළිය. එහෙත් ඒ සිනා රුළි ඩොමා කියන තරම් සුන්දර නොවන බව අපි දනිමු. මේ දුකදුළු සමඟ සිනා සළු ගාලු පාර බස්‌ රථයක දිග හැරෙන විට ඔවුන්ගේ නැවත හමුවීම ඈත දිනක බව අපි දනිමු. කොතරම් මිහිරි ආදරයක්‌ ගැන ඩොමා කවි ලිව්වත් ඔහුගේ සංකල්ප රූප උපමා මිහිරි නොවේ. ඔහු සත්‍ය ජීවිතය තුළ එදිනෙදා ස්‌පර්ශ වන කටෝර අත්දැකීම සංකල්ප රූපයක්‌ කර සිය කවියට එකතු කරයි.

“ගාලු පාරට කළුවර එනකොට

මුහුද මැද්දේ අඩිපාර දිග

ගලන රාස්‌සිගේ අව්ව

රථ කව්ළුවෙන් උඹෙ

පටු නළලත වසා

උඹට මතකද

තොල් පෙතිවලින්

තැබූ මතකය”

“මඟ ළඟයි උඹෙන් සමුගන්න

ඊ.සී.ජී යන්ත්‍රයක්‌ ඉරි අඳිනවා

හදවත දවා නහර දිග”

(“ගාලු පාර දිගේ හැලුණ සිනා සළු”- පිටුව-39)

ආදරය වෙනුවෙන් බොරලු කන්දක්‌ දිග බර කරගහන පීඩිත පංතියේ සම්භාව්‍ය නොවන සම්බන්ධතා හෘදයාංගමව චිත්‍රනය කරනු ලබන ඩොමා එකී සමාජයේ ආදරණීයන්ගේ “ජීවිතේ ලස්‌සනම දින ටික කරගැට පිරුණු අත්වලින් පිරිමදින යුවලකගේ සිතුම් පැතුම් සංවේදීව ඉදිරිපත් කරයි. මේ නාගරික පැල්පත් වාසියාගේ ආදරයයි. මුට්‌ට පහහයක්‌ කර ගහන ආමර් වීදියේ චණ්‌ඩියකුට බිරිඳක්‌ වන තරුණියකගේ අහිංසක බලාපොරොත්තු කවියා දකින්නේ මෙසේය.

“ජිනේ අපේ පොඩි එකා

බංඩියේ හරි සෙල්ලම

මූ චණ්‌ඩියෙක්‌ කරමු නේද

මුට්‌ට පහ හයක්‌ කර ගහන

බසාරි වීදියම රන් කරන”

(ජිනේ- පිටුව- 72)

ඉහළ සමාජය විසින් මෙකී සිතුවිලි හෙළා දකිනු නියතය. නමුත් එකිකෙනා ඇනකොටා ගනිමින් අනෙකාව පහළට දමා තමා ඉහළට නගින්නට පොරකන පළමුවන පංතියේ මහත්වරුන්ගේ සිතුවිලි වලට වඩා ටකරං රත්වී ගනියම් වන පැල්පතක සිතුවිලි අගනේය. තෙවන පංතියේ රටක ලාභදායීම මත්පැන් උගුරක පැහැය විනිවිද බලා ඇති ඩොමා ඒ සුවඳ විදගන්නට අපට ඉඩ ලබා දේ.

“ජිනේ දැන් ටිකක්‌ ඇලවෙමු

ජීවිතේ බර දිහා ලිහා මං ළඟ

කාඩි සුවදත් මට හුරුයි බං

රෝස පාටට පෙනෙන හඳ යට”

සහෘද හදවතට ආදරය පිළිබද වටිනා පාඩම් කියාදෙන ඩොමාසිය ප්‍රේමය මෙන්ම ප්‍රේමයේ විරහවද එක සිතින් කවියක චිත්‍රනය කරන අපූරු මිනිසෙකි. හදවත සහ බුද්ධිය අතර වන සනාතන අරගලයක ප්‍රතිඵලයක්‌ තුළින් කවියාගේ ආදරය පරදී. ඒ පැරදීම ඔහු කවියට එක්‌ කරයි.

“පරණ වුණ හැම කවිය ම උඹේ

හැම කවියක්‌ ම එක වගේ

කොහෙන් පටන් ගත්තත්

හැමදාම හැප්පිලා නවතින්නෙ

කොන්ක්‍රීට්‌ දාපු එළිවැටේ ”

(උඹත් හරියට බේරේ වැව වගේ- පිටුව 24)

ඩොමාගේ කවිය තුළ උපහාසය ගැබ් කිරීමට අමතක නොකරන ඔහු සමාජයේ ශෝධනය විය යුතු මංපෙත් සහෘදයාට පෙන්වීමට වෑයම් කරන බව පෙනේ. අක්‌කරපත්තුවේ රේවතී පමණක්‌ නොව තවත් කාසි සොයා පැමිණි තරුණියන් සමඟ බම්බලපිටියේ සමාජශාලාවල මොනාලිසාලා රොමියෝලා කරන විගඩම් ගැන කියන්නට කවියා යොමු වේ. බම්බලපිටියේ රාත්‍රිය උපහාස ඇසින් බලන කවියා “සිහිනෙන් දුටු බම්බලපිටිය” කවිය අවසන් කරන්නේද ප්‍රබල උපහාසයකිනි.

” කැකුළු වැටකෙයියා ගස්‌ අතර

කරන්නට දෙයක්‌ නැති තැන

හැංගි හැංගි බලනවා

නිල් ම නිල් පත්තර”

(සිහිනෙන් දුටු බම්බලපිටිය- පිටුව 68)

මේ ඩොමිනික්‌ චන්ද්‍රසාලි කවියාගේ ගාලු පාරෙන් අහුලාගත් කවියේ මට මුණ ගැසුණු තැන් කිහිපයක්‌ පමණි. මම ඩොමා සමඟ ගාලු පාරේ බොහෝ දුර ඇවිද්දෙමි. සිනා සළු වින්දෙමි. ඔබටත් ඩොමා සමඟ නිදහසේ ඇවිද යා හැක. මන්ද සැබැවින්ම බෙන්ජමින් සොෆානියා මෙන්ම ඩොමිනික්‌ ද කවියන් ප්‍රිය කරන කවියෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.