තුරු සමුදා – සුමිත්‍රා රාහුබද්ධ

thuru

 

නර්තනය මෙන්ම බෙර වාදනයද පූර්වයේ සිට පැවැත ආයේ පාරම්පරික ශිල්පීන් ඇසුරේය. වඩාත් සරලව කියන්නේ නම් දළදා වහන්සේ අරබයා පැවැත්වෙන පෙරහරේ නැටුම් සඳහාද බෙර වාදනය සඳහාද පේවූ, කැපවූ ඒ ඒ පරම්පරා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කටයුතු සඳහා ඉමහත් භක්තියෙන් යුතුව දායක වූයේ එය තමන්ට නියමිත රාජකාරියක්ද වූ බැවිනි.
එලෙසින් දියුණු පමුණු වූ උඩරට නර්තන කලාව හා බෙර වාදනය සමාජය හා අර්ථ ක්‍රමයද, සංස්කෘතික ඇගැයුම් ද උඩුයටිකුරු වූ කළ වෙනසකට බඳුන් වීම අරුමයක් නොවේ.
‘තුරු සමුදා’ නම් ප්‍රබන්ධය ඔස්සේ සුමිත්‍රා රාහුබද්ධ, පාඨකයා හමුවේ විවරණය කරන්නේ එබඳු ඛේදවාචකයක තතු බව සලකමින් මෙම ප්‍රබන්ධය විග්‍රහය කළ මනා යැයි හැඟේ.
ධනේශ්වර අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට මෙහෙයවන සුළු ධනේශ්වර පන්තියේ ඉහළ තලයට අයත් ‘වාන්‍යා උනන්තැන්න’ නම් ප්‍රභූ මට්ටමේ තරුණියකුත්, පාරම්පරික නැට්ටුවකු හා බෙර වාදන ශිල්පියකු වන බරණ ගුරුන්නාන්සේ ගේ පුත්‍රයා වූ ‘කිවි¼දා’ වත් සම්මුඛ කරවන සුමිත්‍රා රාහුබද්ධ එමඟින් විපරීත වූ සමාජ ස්තරයක් තුළ පාරම්පරික ශිල්ප කලාවන්හි නිපුණතා ඇත්තවුන් මුහුණපාන ව්‍යසනය විහිදුවාලන සිතුවමක් ‘තුරු සමුදා’ තුළ සිතුවම් කරන්නේ පාඨකයා විස්මයට පත් කරවමිනි.

 

Sparrows-Dancing-Group_11
අද වන විට නැටුම් කලාව අගනා ව්‍යාපාරයකි. නටන්නෝද, වයන්නෝද විවිධ තැන්වල නටති, වයති. මැති, ඇමැති ප්‍රභූ ගණයාගේ විවාහ උත්සවවලද, ප්‍රිය සම්භාෂණවලද, රාජ්‍ය උත්සවවලද හෝටලවලද, රූපවාහිනි නාළිකාවලද, විදේශයන්හිද ආදී වශයෙන් ඒ ඒ තැන්වල නටන, වයන කණ්ඩායම් ඇති දැඩි කරන්නන් ඒ ඒ පරම්පරාවල ශිල්පීන් හා කෙබඳු අයුරකින් හෝ පයුරුපාසානම් පවත්වමින් තම තමන්ගේ කණ්ඩායම් අදාළ කර්තව්‍යයන් සඳහා අලෙවියට උපරිම උත්සාහ දරන බව නොරහසකි. මෙලෙස ව්‍යාපාර මනසකින් පාරම්පරික ශිල්ප ඥානය උකහා ගන්නන් හෝ එම ශිල්පීන් අලෙවියට තබන්නන් හෝ එසේ කිරීමට වෑයම් කරන්නේ එම පාරම්පරික කලාව හෝ ශිල්පීන් කෙරෙහි වූ භක්තියෙන්මද, නොඑසේ නම් එම ශිල්පය නවමු ලෙස හැඩගස්වා නොනැසී ඉදිරියට ගෙනයෑමේ අපේක්ෂාවෙන්ද, නැතහොත් එබඳු ශිල්පීන් මෙහෙයවාගෙන සුව පහසු ජීවිතයක් තමනට උදාකර ගැනීමේ අටියෙන්දැයි වග විභාගය කළ, පර්යේෂණකළ කෙනෙක් නැත.
මේ තර්කය ඔස්සේම සිතන අයකු “මනමේ” නාඩගම කළ මහාචාර්ය සරච්චන්ද්‍ර කළේද මෙවැන්නකැයි කීමට ඉඩ තිබේ. සැබැවි. එතුමා නොයෙකුත් පර්යේෂණ පවත්වා අභාවයට යමින් තිබූ නාඩගම් කලාව නව ලෝකයට සරිලන සේ ප්‍රති නිර්මාණය කළ බව කිව හැකිය. අද නාඩගම් කලාව අභාවයට ගොස්ය.

නව්‍යකරණයෙන් එය කලාවක් ලෙස ස්ථාපිත වූයේද? යන්න අරබයා ශාස්ත්‍රීය විග්‍රහයක් කරන ශාස්ත්‍රධරයන් අද අප අතර සිටීද? එනමුත් “මනමේ” යනු නාඩගම් කලාව පිරිපහදු කරමින් ඉදිරිපත් කළ අග්‍රගණ්‍ය නිර්මාණයක් බව නම් අවිවාදිතය. නැටුම් හා බෙරවාදන ශිල්පය නම් එසේ අභාවයට යන කලාවක් නොවේ. උත්තම සංස්කෘතිකාංගයක් වූ මහනුවර දළදා පෙරහර හා ලංකාවේ සතර දිග්භාගයේම පැවැත්වෙන විවිධ පෙරහර සඳහා ශිල්ප පරම්පරා ඉදිරියට ගෙන යෑම අවශ්‍ය කෙරේ.
වාන්‍යා උනන්තැන්න නම් ප්‍රභූ තරුණිය බටහිර රටකට ගොස් අධ්‍යාපනය ලබා යළි ලංකාවට විත් රාජ්‍ය නොවන සංවිධානයක සමීක්ෂිකාවක සේ කටයුතු කරයි. ඇයට උඩරට ප්‍රදේශයේදී බරණ ගුරුන්නාන්සේ හා ඔහු පුත් කිවි¼දා මුණගැසෙන්නේ එකලය. එහිදී ඇයගේ සිහියට නැඟෙන්නේ ඇය බටහිර දී එහෙන් මෙහෙන් අහුලාගෙන ජීවිකාව සඳහා කුඩා ළමයින්ට නැටුම් උගැන්වූ ආකාරයයි.
කොහෙද ඉගැන්නුවෙ?
නවසීලන්තෙ.
කාටද?
එහෙ ඉන්න සිංහල ළමයින්ට.
ඉතින් නෝනා නැටුම් දන්නවද?
මම නැටුම් හද හදා ඉගැන්නුවා.
එහෙම හදන්න නෝනා මහත්තයා කවුද?
එවර විසල් වූයේ වාන්‍යාගේ දෑසය.
මං කවුද?
නෝනා මහත්තයා කවුද නැටුම් හදන්න? මේවා පරම්පරාවෙන් එන ශිල්ප ශාස්ත්‍ර.
එතකොට නම් පරම්පරාව ලොකුයි නේද? කිවි¼දා එබසට තිගැස්සුණේය. ඒ කතාවෙහි යටි අරුතක් ඇති බව ඔහු දන්නේය.
පරම්පරාව මට කොහොමත් ලොකුයි. අපේ පරම්පරාව කියන්නෙ අපේ දේශීය නැටුම් කලාව.
තුරු සමුදා / 5, 6 පිටු

 

SUMITHRA-RAHUBADDA-1 (1)
කෙසේ වෙතත් වාන්‍යාගේ වෙළෙඳ චින්තනයට අනුව කිවි¼දා නම් ශිල්පියා තුළ ඇයට දිස්වන්නේ වෙළෙඳ භාණ්ඩයකි. දැන් එය අලෙවි වන්නේ නුවර පෙරහරේ පමණය. ගෝලීය වෙළෙඳ භාණ්ඩයක් නුවර පෙරහරේ පමණක් අලෙවියට තැබීම අපරාධයකි.
ඒ අනුව ක්‍රියාත්මක වන ඇය කිවි¼දා ගේ නම “නිත්‍ය සුන්දර බරණ පුත්‍ර” බවට පත් කිරීමටත්, ඔහු කැටිව ශාන්ති නිකේතනයට යෑමටත් සැලසුම් කරන්නේ ඒ අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට උපකාරී වන ක්‍රියාමාර්ග ඒවා වන බැවිනි. ඒ වෙනුවෙන් සිය ප්‍රභූ පවුලේ මාන්නාධික පියා සමඟ ගැටුමට යෑමට වුවද ඇය නොපැකිළව ඉදිරිපත් වන්නේ ඒවා ඇයගේ වෙළෙඳ චින්තනය හා නොපෑහෙන බැවිනි.
ශිල්ප හැදෑරීමෙන් පසු යළි ලංකාවට එන වාන්‍යා හ බරණ පුත්‍ර, වාන්‍යාගේ සැලසුම් පරිදි කටයුතු කරන අතර එවකට නගරයේ ආධිපත්‍ය පිහිටුවා ගෙන සිටින අන්‍ය නර්තන කණ්ඩායම්වල අපහාස, උපහාස හා බාධාකිරීම් මධ්‍යයේ ඉදිරිය බලති. මෙහිදී නගරාශි්‍රත නර්තන කණ්ඩායම් පවත්වන ඇතැම් උදවියගේ චර්යාවන් කෙබඳුදැයි පහදා දෙමින්ද, ඔවුන් ඇතිදැඩි කරන ශිල්පීන් කෙරෙහි පවත්වන ආධිපත්‍ය කවරා කාරදැයි හෙළි පෙහෙළි කරමින්ද, සුමිත්‍රා රාහුබද්ධ ස්වකීය ප්‍රබන්ධයට මනා ආලෝකයක් සපයයි. නව ලිබරල් ධනේශ්වර අපේක්ෂා මත පිහිටා පාරම්පරික ශිල්පීය ඥානය අලෙවියට තබන, නව වෙළෙඳ යාන්ත්‍රණය තහවුරු කොට ඒ මත ජීවිතය පිහිටුවීමට වෙර දරන, වාන්‍යා උනන්තැන්නගේ උත්සාහයන් සියල්ල කිවි¼දාගේ පාරම්පරික පෞරුෂය හමුවේ පරාජය වී අසරණ වීමෙන් ‘තුරු සමුදා’ නිමාවට පත්වේ.
එම පරාජයෙන් වියරු වැටෙන වාන්‍යා ගේ මුවින් නිකුත්වන්නේ සියලු සැප සම්පත් ගොඩ ගසමින් ඒවා තමන් සතු කරගනිමින් පසුවෙන ගෝලීය ධනේශ්වරයේ මර විලාපයයි.
‘දැන් ඔය තමුසෙ කාලා ඇඳලා හොඳ සැප පහසුවට මගේම තැන ලැගලා ඉන්නෙ? ඒවා තමුසෙ හම්බු කරපු දේවල්ද? තොවිල්වල නටපු තොවිල් නැට්ටුවො ගෙට දාගත්තට මට හොඳ වැඩේ’
තුරු සමුදා / 244 පිටුව
එහෙත් සත්‍යය නම් එම ප්‍රකාශයෙන් කියැවෙන දෑ අසත්‍යම බවය. එබැවින් මේ මාන්නයට වඩා සරල බව අගයන “කිවි¼දා-නිත්‍ය සුන්දර බරණ පුත්‍ර” තමන්ට අහිමි වූ ජීවිතය සොයා නැවැත ශාන්ති නිකේතනයට යයි. ඔහු නැවැත ස්වකීය ගම් පියසට නොයන්නේ පරපුරේ උරුමය අලෙවියට තැබූ බැවින් ඔහු උපන් ගම ඔහුව ප්‍රතික්ෂේප කරන බැව් වටහා ගත් බැවිනි.
‘තුරු සමුදා’ නම් රමණීය ප්‍රබන්ධය අරඹයා සුමිත්‍රා රාහුබද්ධට පාඨක ප්‍රසාදය හිමිවිය යුතුම ය.-මව්බිම

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.