දළදා මාළිගාව අසළ මග හරස් කොට ඇත්තේ ඇයි?

පසුගිය සිකුරාදා මහනුවර කැන්ඩි ක්ලබ්හිදී විද්වත් සංවාදයක් පැවැත්විණ. එහි ප්‍රධාන දේශකයා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා පැමිණීමට නියමිත විය. එහෙත් වැලිඅමුණ මහතාගේ පැමිණීම පමාවීම නිසා  නියමිත වෙලාවට සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට නොහැකි විය. එක් අවස්ථාවක වැලිඅමුණ මහතා කෙටි පණිඩියකින් දන්වා සිටියේ තමා දැන් මහනුවර ඔරලෝසු කනුව අසලට පැමිණි බවය. ඒ කෙටි පණිවිඩය ලැබුණේ පස්වරු 6.25ටය. එහෙත් පස්වරු 6.50 වන තෙක්ම වැලිඅමුණ මහතා නොපැමිණිම නිසා සංවිධායන් වඩාත්  විමසිලිමත් විය. අන්තිමේ වැලිඅමුණ මහතා කැන්ඩි ක්ලබ් වෙත පැමිණියේ පස්වරු 7.26 ටය. මේ අවස්ථාවට ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි, ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න, අධීනීතිඥ ලාල් විජේනායක, මහනුවර නීතිඥ සංගමයේ සභාපති නිලන්ත පෙරේරා, ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර ආදීහු සහභාගි වී සිටියහ.

ඉහත සිද්ධිය අනුව තහවුරු වන්නේ නගරයේ පුරවැසියන්ගේ පොදු කටයුත්තක් පැයකුත් විනාඩියක් පමාවූ හැටිය. මහනුවර ඔර්ලෝසු කනුව අසල සිට කැන්ඩ් ක්ලබ් වෙත ඒමට පැයකුත් විනාඩියක් ගතවිය. පසුගිය කාලය පුරා මාලිගාව පාර වැසීම නිසා රෝගීන් කි දෙනෙකු මේ ආකාරයට අපහසුවට පත් වන්නට ඇද්ද? මහාචාර්ය ඉලේපෙරුම වාර්තාව අනුව මාලිගාව පැර වැසීමෙන් සිදුවන බොහෝ හානි නිරීක‍්ෂණය කර ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගය අසලින් ඇති පාර වසා කාලයකි. එය නැවත විවෘත කරන ලෙස නැගෙන හඬ සුළුපටු නොවේ. සමහරුන් කියන්නේ එය විවෘත කිරීමෙන් ශ්‍රී දළදා වහන්සේටත් බුද්ධාගමට අගෞරවයක් අවමානයක් සිද්ධ වෙන බවය. දළදා මාලිගාව අසල පාර වැසුවේ ධර්ම සංගායනාවක ප්‍රතිපලයක් ලෙස නොවේ. එසේම මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් එක්ව නිකුත් කළ සංඝානත්තියක් ඊට හේතු පාදක වී නැත. අදටත් මල්වතු මහ නා හිමියන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලින් විහිදෙන මාර්ගය මහජන පරිහරණය සඳහා විවෘත කළ යුතු බව කියා සිටිති.

දැන් බලධාරීන් කියා සිටින්නේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලින් විහිදෙන මාර්ගය විවෘත කිරීමට නා හිමිවරු විරුද්ධ බවය. ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව තේවා මුරය පවා මාරු වන්නේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙනි. එවැනි සම්ප්‍රදායක් පැවතියදී ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලින් විහිදෙන මාර්ගය විවෘත කිරීම ගැන මහ නාහිමිවරුන් පාවිච්චි කරමින් ප්‍රශ්නය මග හැරිම  කණගාටුදායකය. ඒ පාර විවෘත නොකෙරෙන්නේ බුද්ධාගමට ඇති ආදරය නිසා නොවේ. කුහක දේශපාලන හේතුවක් නිසා ය.

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලින් විහිදෙන මාර්ගය වසා දැමීමට රටේ බෞද්ධයන් ඉල්ලා නැත.  මහනුවර ජනතාවද එවැනි ඉල්ලිමක් කර නැත. එසේ කළේ එකල ආරක‍්ෂක අමාත්‍යාංශයේ බැරිකම නිසාය. ශ්‍රී දළදා මාලිගාවට කොටි ප්‍රහාර එල්ල වීමට පෙර සති දෙකක කාලය තුල මේ මාර්ගය අවහිර කර තිබුණේ ලංගම බස් රියක් හරස් කරලාය. එහෙම කළේ අවශ්‍ය අවස්ථාවල මහජන ප්‍රයෝජනය පිණිස විවෘත කිරීමට නොවේ. මාලිගාවට පැමිණෙන ප්‍රභූන්ට එහි ගමන් කිරීමේ පහසුව සඳහාය. ඒ අතර පාර වසා තිබියදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවා සාමාජිකයන් තම දරුවන් පාසල් ගෙන යාමට පවා වැසූ මාර්ගය නිදහසේ පාවිච්චි කළ බව මහනුවර ජනතාව හොඳින් දනිති. පාර අවහිර කර තිබුණේ ප්‍රභාකරන්ට බියෙනි.  එහෙත් ප්‍රභාකරන් ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැසුවේ දැනට වසා ඇති මහා මාර්ගය  දිගේ ඇවිත් නොවේ. එකල පැවති ආණ්ඩුවේ ආරක‍්ෂක ඇමති හොඳින් දන්නා කිහිප දෙනෙකුගේ උදව්වෙන් එය කළ බව රහසක් නොවේ. ශාන්ත පාවුලු දේවස්ථානය සහ දිය අගල අතරින් විහිදෙන මාර්ගය ඒ කාලයේ ඉබි යතුරු දමා වසා තිබිණ. ඒ ආරක‍්ෂක හේතු මතය. එහෙත් ඒ මාර්ගය බෝම්බ ප්‍රහාරයට පෙර දවසේ සවස් කාලයේ විවෘත කරනු ලැබීය. කොටි සාමාජිකයන් පැමිණීයේ ඒ මාර්ගය පාවිච්චි කරමිනි. අදටත් ඒ පාර විවෘත කළේ කවුද? කාගේ උවමනාවටද යන්න විමසා බලා නැත. නිවැරදි පරීක‍්ෂණයක් සිදු වී නැත. යුද්ධය අවසන් වී ඇත ද, ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලින් විහිදෙන ප්‍රසිද්ධ පාර වසා ඇත. වගකිව යුතු කිසිවෙකු මේ අවහිරය ගැන කතා නොකරති. ඒ ගැන කතා කරන්නේ පාරේ පරම්පරා ගණනක් තිස්සේ ගමන් කළ ජනතාවය. මහින්ද රාජපක‍්ෂ පරාද කළ හේතු අතර පාර වැසූ වෛරයද පවතින බව කවුරුත් දැනගත යුතුවේ.

මල්වතු මහ නා හිමියන්

 

දැන් ප්‍රභාකරන් මැරිලාය. යුධ භටයන් කළ සමහර අපරාධ වලට සමහරු සමාව ඉල්ලා සිටින්නේ ප්‍රභාකරන් කළ වැරදි ඉදිරිපත් කරමිනි. ඒ අනුව අරන්තලාවේ භික‍්ෂු ඝාතනය අපරාධයකි. නැගෙනහිර දී පොලිස් නිලධාරීන් පන පිටින් පිච්චීම අපරාධයකි. ඒ සිද්ධි දෙක ගැනම ඇඟිල්ල දිගු වුනේ මහින්ද රාජපක‍්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරූ දෙදෙනෙකි. ප්‍රභාකරන් කළ අපරාධ වැරදි නම් ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගසා විනාස කිරීම වරදක් නොවේද?

මේ පාර විවෘත කරන ලෙසට මහනුවර මහ නගර සභාව සමග මල්වතු මහ නා හිමියන් එක්ව ඉල්ලා සිටියහ. ඒ පාර ඉල්ලීමේ සටන මර්වින් සිල්වා එවා මහනුවර බිය වද්දා අඩපන කළේ මහින්ද රාජපක‍්ෂ විසිනි. සටන අඩපන කොට පාර වසා මහ රෑ එළිවෙන්ට පෙර ගල් අල්ලා පාර අවහිර කළේද මහින්ද රාජපක‍්ෂ විසිනි. අද මේ පාර විවෘත කරනවාට එරෙහි වන්නේ මහින්ද රාජපක‍්ෂට මදි පුංචි කමක් වෙතැයි කල්පනා කරන පුද්ගලයන් ය. ශ්‍රී දළදා මාලිගාව අසල පාර විවෘත නොකිරීම දේශපාලන අරමුණකි.

අලි හොරුන්

 

බණ්ඩාරනායක මැතිනිය අගමැතිව සිටියදී වරක් මහ මළුව රජයට පවරා ගන්නා ලදී. ඒ ජේ.ආර්.ජයවර්ධන සම්බන්ධ සිද්ධියක් නිසාය. නැවත මහමළුව ශ්‍රී දළදා මාලිගාවට පවරන ලද්දේ ජේ.ආර්.ජයවර්ධන මහතා විසිනි. ශ්‍රීලනිපය සතුටු කරමින් සිටින සිවිල් ජනතාව පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ පාර වසා තම පක‍්ෂයේ සාමාජිකයන් සතුටු කිරීමට ක්‍රියා කරනවාද අප නොදනිමු. කුමන කරුණක් දඩමීමා කරගෙන හෝ මාලිගාව අබියස පාර වසා තිබීම මහා අපරාධයකි. මේ පාර විවෘත කිරීම මහනුවර මහ නගර සභාව සතු රාජකාරියකි. දැන් ඒ  වගකීම කාට පැවරී ඇතිදැයි අපට නොවැටහේ. එකක් කිව හැකිය. මොකාගේදෝ වැඩේ මෝඩයෙකු භාර ගැනීමෙන් මේ ආරවුල දික් ගැසෙමින් බවතී. සරත් පොන්සේකා අත් අඩංගුවට ගත් මොහොතේ ඔහු නිදහස් කරන ලෙස බල කිරීමට  මල්වතු මහ නා හිමියන් සංඝ සභාවක් කැඳවීමට පියවර ගත්තේය. ජනාධිපති මහින්ද රාජපක‍්ෂ එය නතර කරවන ලද්දේ තක්කඩි භික‍්ෂුන් යොදා ගනිමිනි. එදා මල්වතු විහාරයට පැමිණ ගරුතර මහ නාහිමියන්ට තර්ජනය කළ බොහෝ භික‍්ෂුන් අද බලධාරීන් විසින් අලි හොරුන් ලෙස නම් කර ඇත. එදා මහින්ද ගත් තීරණයට එරෙහිව ක්‍රියා කළ නිසා මල්වතු නාහිමියන් පාලකයන් විසින් නොතකා හැරියා විය හැකිය. අදටත් ක්‍රියාත්මක වන්නේ ඒ නොතකා හැරීමද? උන්වහස්සේ ඍජුය. නිවැරදිය. ශ්‍රී දළදා මාලිගාව අසලින් දිවෙන පාර විවෘත කිරීම ගැන අතිගරු මල්වතු මහ නා හිමියන් විමසන්න.

 

මේ පාර වැසුවේ බෞද්ධයන් කළ ඉල්ලීමක් නිසා නොවන බව තහවුරු කළ හැකි සිද්ධියක් මෙසේය.  පාර ස්ථීරවම වැසීම නිසා මහනුවර තුල නිර්දේශපාලන කැළඹීමක් ඇති විය. එහිදී මහින්දගේ සමීපතමයන් මේ ගැන ඔහුට කරුණු දක්වා ඇත. බලයෙන් මත්ව සිටි මහින්ද  කළ වරදේ කැත කුණු සෝදා ගැනීමට කළේ කුමක්ද? පාර වැසීම ගැන ආණ්ඩුවට ස්තුති යෝජනාවක් ගෙන එන ලෙස ඔහු මහනුවර මහ නගර සභාවට නියම කිරීමය. උක්ත පාර වැසීම ගැන මහනුවර මහජනතාව කුපිතව සිටින බව දැන සිටි මහනුවර මහ නගර සභාව ඊට සම්මාදන් වුනේ නැත. ඉන්පසුව ඒ කොන්ත්‍රාත්තුව  මධ්‍යම පළාත් සභාවට පැවරිණ. ඒ යෝජනාව ගෙන ඒමට එකදු සිංහල බෞද්ධ මන්ත්‍රී කෙනෙකු සොයා ගැනීමට මහින්ද රාජපක‍්ෂට හෝ සරත් ඒකනායකට නොහැකි විය. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස මහ පාර වැසීම සම්බන්ධව මහින්ද රාජපක‍්ෂට ස්තුති කරන යෝජනාව ගෙනාවේ අවසානයේ මුස්ලිම් ලබ්ධික මන්ත්‍රී වරයෙකි. ශ්‍රී දළදා වහන්සේට ගෞරව පිණිස වැසුවා කියන පාර වැසීමේ ඉතිහාසය  මෙවැන්නකි. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස මහ පාර වැසීමේ ඉතිහාසය පිරි ඇත්තේ මෙවැනි කුහකකම් සහ මෝඩකම් වලිනි.

පසුගිය කාලයේ කියැවුනේ මාලිගා පරිශ්‍රය හා ජනාධිපති මන්දිරය එකම ගැසට් පත්‍රයක් මගින් ආරක‍්ෂක කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව මාලිගාව පාර විවෘත කිරීමට ක්‍රියා කළොත් ජනාධිපති මන්දිරයත් අනාරක‍්ෂිත වන බවට තර්කයක් ගොඩ නැගී තිබිණ. අපට අසන්නට ඇත්තේ ආරක‍්ෂක බංකර තුල ශරීර සුවතා මධ්‍යස්ථාන, පිහිනුම් තටාක ඉදි කළ, මහ නා හිමිවරුන් එපා කියද්දී මහනුවර සුද්ධ නගරයේ කාර් රේස් පැද්ද මහින්ද රාජපක‍්ෂ නම් උද්ධච්ඡ පාලකයාගේ චින්තනය මෛත්‍රීපාල සිරිසේනට යටපත් කළ නොහැකිද යන්නය. මතිවරණ සමයේ එස්.බී. දිසානායක, විමල් වීරවංශ, සුසන්තිකා ජයසිංහ ආදිහූ මෛත්‍රීට ‘නිකමා‘ කීවේ සහ ‘ආච්චිට හාල් ගරනවා‘ කීවේ නිකම්ම නොවන බව දැන් සිතේ. තමන් දිනවීමට හැමදේම කළ මහනුවර ජනතාවගේ උවමනාවක් ඉටු කිරිමට වර්තමාන ජනාධිපති වරයා පියවර නොගන්නේ කුමන පදනමින්ද යන්න පැහැදිලි කළ යුතුවේ.

පාර විවෘත කරනවාට එරෙහි කිසිවෙකු දළදා වීදියෙත් මත්පැන්, මස් මාළු අලෙවි කිරිම ගැන කතා නොකරති. නගරයේ පවත්නා මස් කඩ මත්පැන් හල් ගැන කතා නොකරති. ඒ ව්‍යාපාරික මුදල් ශක්තිය නිසාය. එහෙත් පාර ඉල්ලා සිටින මහනුවර සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අලුත් ආණ්ඩුව හෝ පෙනී නොසිටිති. ඒ තුල ඇත්තේද පාර විවෘත කරනවාට එරෙහි බෞද්ධයන් පොළඹවන හේතුව ද?

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස මහ පාර වැසීමට මුලින්ම අත ඉස්සුවේ  හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න විසිනි. ඒ තමන්ගේ මහන්තත්තකම නිසාය. දැන් ඒ මෝඩකම වෙනුවෙන් පෙනී සිටින්නේ වර්තමාන දියවඩන නිලමේ නිලංග දෑලය. ඒ ක්‍රියාවට නිලමේකමේ මහන්තත්තය සහ මහින්ද රාජපක‍්ෂට මදි පුංචි කමක් වෙතැයි යන පටු කල්පනාවද මුල්වී ඇත.

 

 

සුවිසල් මහනුවර සංවර්ධනයක්

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස මහ පාර විවෘත කළ යුතුය යයි මල්වත්තේ මහ නායක හිමියන් විශ්වාස කරති. ඊට හේතුව  ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන පාරේ සියවස් එක හමාරක් ගමන් කළ බෞද්ධ ජනතාව ඒ යන එන හැම විටෙකම නතරව වැඳ නමස්කාර කළ බව දන්නා හෙයිනි. ඒ නිසා ශ්‍රී දළදා මාලිගාවේ පින් පෙට්ටි පිරී ගියාටද සැකයක් නැත. එහෙත් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස මහ පාර වැසුවාට ප්‍රභූන්ට වාහන වලින් මාළිගාව වෙත යාමට උඩවත්ත කැලේ කපා මහ පාරක් ඉදි කර ඇති බව මහනුවර මහ ජනතාව දනිති. පසුගියදා මහනුවර සංවර්ධනය ගැන මහනුවරට පැමිණ කළ සාකච්ඡාවේදී පාර විවෘත කරදෙන ලෙස පළාත් සභා මන්ත්‍රී තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාටත් පළමුව  මහාමාර්ග අමාත්‍ය ලක‍්ෂමන් කිරි ඇල්ල මහතා අස්ගිරි මහ නා හිමියන්ගේ විරෝධය සිහිපත් කර ඒ ප්‍රශ්නය යටපත් කළ බවට රාවයක් පවතී. මහනුවර දන්ගොල්ලේ පදිංචිව සිටින ලක‍්ෂ්මන් කිරිඇල්ල මහතාට මේ පාර වසා දැමීමෙන් ලැබෙන විශේෂ වාසියක් නැත. එහෙත් ඔහු නියෝජනය කරන සෙංකඩගල ආසනයේ බහුතර ජනතාවද  මේ පාර වසා තැබීමෙන් පිඩා විඳීති. සුවිසල් මහනුවර සංවර්ධනයක් ගැන සාකච්ඡා පවතී. ඊට උපකාර කරන්නේ ජපානයයි. ජපානය බෞද්ධ රටකි. මේ ප්‍රශ්නය ජපන් රජයට දන්වයි නම් ඔවුන් දැනට වසා ඇති මාලිගාව පාරට සමගාමීව නගරයට පිවිසීමට භූගත මාර්ගයක් තනා දෙනවාට සැක නැත. දේශපාලනඥයන් නායකයන් වෙන්නේ මෙවැනි මැදිහත්වීම් හරහාය. දන්නා පරිදි ඉහත කී රැස්වීම දවසේ ජනාධිපති තුමා මාලිගාව පාර විවෘත කිරීමේ තීරණය ගැනීමට නියමිතව සිටියේය. මන්ත්‍රී තිලින තෙන්නකෝන් ඒ යෝජනාව කර ඇත්තේ ඒ අනුවය. එහෙත් එදින එය සිදු නොවුනේ අමාත්‍ය කිරිඇල්ල අස්ගිරි මහ නා හිමියන්ගේ විරෝධය සිහිපත් කළ නිසා බව සමහරු කියති. මේ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවද පාර තවමත් වසා ඇත. පාර වසා ඇති තාක් මහනුවර ජනතාව ශ්‍රී දළදා වහන්සේට හැර අන් සියළු දෙනාට සාප කරනවා නිසැකය.

මේ ප්‍රශ්නය ලංකාවේ දියුණුවට බාධා කළ  මෝඩ දේශපාලන කල්පනාව ප්‍රකට කරන අවස්ථාවකි. මතට තිත තබන රටේ මත්පැන්වලින් බදු අපේක‍්ෂා කිරීම වැනිය. යුද බිය නිසා වැසූ පාර බුද්ධාගම නිසා විවෘත නොකරතියි කියති. ඒ සඳහා අස්ගිරි මහ නා හිමියන් ප්‍රයෝජනයට ගනිති. එහෙත් මල්වතු මහ නා හිමියන් එහිදී නොතකා හරිති. දළදා මාලිගාව අසල පාර වැසීමට ප්‍රභාකරන් කළ මෙහෙය සුළුපටු නොවේ. ශ්‍රී දළදා වහන්සේට උපහාර පිණිස ක්‍රිස්තියානි ලබ්ධික වේලූපිල්ලේ ප්‍රභාකරන් අනාගතයේ දවසක සෝවාන් සකෘදාගාමි විනැයි බණ කියන්නටද  බැරි නැත. භික‍්ෂුන් වහන්සේ විරුද්ධ වෙද්දී සුරා සැල් විවෘත කරන රටේ පාලකයන් ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධව දරන මතය බෙහෙවින් හාස්‍ය ජනකය. තමන්ගේ ඉඩමට පන්සල් වත්තේ පොල් ගස්වල ගෙඩි වැටී මතුවන අවසානයේදී අපේ බෞද්ධයන් බුද්ධාගම අමතක කරති. එවැනි අවස්ථාවල පන්සලේ හාමුදුරුවන්ට අමතන ආමන්ත්‍රණය මෙතනට ගැලපෙන්නේ දළදා හාමුදුරුවන්ට නොවේ. මහ නායක හිමිවරුන්ට සහ ඒවායින් යැපෙන පාලකයන්ටය.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.