දොස්තරලා බමුණු කුලයක් නෙමෙයි… ඔවුන්ගේ මාෆියාවට යට වෙන්නේ නෑ…

akil-v11යහපාලන ජාතික රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා ක්‍රියා කරන්නේ රටේ සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිමට මිස එක් බමුණු කුලයක අයිතිය සුරක්ෂිත කිරිමට නොවේයැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියනාසේ කටයුතු කොට රටේ අනෙක් අහිංසක ජනතාවගේ දුවා දරුවන්ගේ අනාගතය විනාශ කිරිමට තමන් සුදානම් නැති බවත් සාධාරණ ඉල්ලිම් වෙනුවෙන් සලකා බැලිම් කරන්නට තමන් සුදානම් බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇතිව තිබෙන ගැටලූව සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසැල් ලබාදීමේ ක්‍රමවේදය හැකිතාක් පාරදෘෂ්‍ය ආකාරයෙන් කිරිමට මමත් මගේ නිලධාරිනුත් මේ දක්වා ක්‍රියාකර තිබෙනවා. යම් දුර්වලතාවයක් තිබේ නම් එය සංවාදයට විවෘතයි. සැබෑ ලෙසම ස්ථාන මාරු ලබා ඇති වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත්විය යුතුයි.

ඒ ක්‍රමවේදයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එකග වෙන්න බැරි ඇයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ ව්‍යාජ ලේඛන නිසා ඊට සම්බන්ධ වූ සාධාරණ හේතු සහිත වෛද්‍යවරුන්ටත් අපහසුතාවලට මුහුණ දීමට සිදුවෙනවා. ඇත්තටම මේක මාෆියාවක්.

අපට සලකා බලන්න පුළුවන් වසර දෙකක ස්ථාන මාරුවීම් පමණයි. මේ අයට ඕන ඕන විදියට නටන්න මේ ටේ සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න මා සුදානම් නැහැ. පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් ඉදිරිපත් කරන ලද ලේඛනයක්ද එම සංගමය ඔවුන්ට ලබා දුන් පාසල් භාර නොගෙන ජනප්‍රියතම ජාතික පාසල් ඉල්ලුම් කරමින් සිටිනවා.

වෛද්‍ය වෘත්තිකයින් යනු කුලයක් නොවෙයි. මේ අය හැසිරෙන්නේ කුලවාදී මානසිකත්වයෙන් මිස වෘත්තීය ආචාර ධර්මවලට ගැලපෙන මානසිකත්වයකින් නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරුන් බවට පත් වූ මේ  “කුලය” සමාජ වරප්‍රසාද නම් කඩතුරාවෙන් හිස වසාගෙන ෆැසිස්ට් නියෝග අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරිම සමස්ත වෛද්‍ය වෘත්තියේම ගෞරවය කෙලෙසා දැමීමක්. මේ අයගේ ෆැසිස්ට්වාදයට ප්‍රජාතාන්ත්‍රිකයෙකු වන මා යටත් වෙන්නේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරින් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ රැය පහන් කිරිම මාධ්‍ය සංදර්ශනයක්. ඔවුන් එහි රැදි සිටි නිසා සමස්ත ලංකා පසැල් තරඟ ජයග්‍රහකයන්ට තිළිණ ප්‍රධානය කරන්න බැරිවුනා. වෛද්‍ය නිලධාරින් අමාත්‍යාංශයේ ආරක්ෂකයන්ට පහරදීලා තිබුණා. ජාතික රෝහලේ ගිලන් රථයක් භාවිතා කරමින් රාත්‍රි ආහාර රැගෙන ආවා. මේ සියලූ කාරණා ගැන පරික්ෂණයක් කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපන අවස්ථා හිමිකර දීමේ ප්‍රතිපත්තිය මත අපි කටයුතු කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.