නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සංධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90ක් අවසන්

m-a-sumanthiranරජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනු වෙන් දෙමළ ජාතික සංධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90ක් පමණ මේ වන විට අවසන් වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්. ඒ. සුමන්තිරන් පැවසීය. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති අවස්ථාවේදී සුමන්තිරන් මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මගපෙන්වීමට පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් හමාර කොට ඇති බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවද සදහන් කළේය. කිසිදු කමිටුවක් මේ අවස්ථාවේදී ගන්නා ලද තීරණ එළි නොදක්වන්නේ රටේ දේශපාලන පක්ෂ එම කරුණු තම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගෙන රට තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන නිසා යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම රටතුළ බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන බව මන්ත්‍රීවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් රජය හා කමිටුද කිසිවක් නොකරණ බවට ජනතාව නගන චෝදනා පදනම් විරහිත බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයට ඉටු කළ හැකි හා ඉටු කළ යුතු සියළු යුතුකම් හා වගකීම් මේ වන විට ඉටු කොට අවසන් ව ඇතැයිද කියා සිටියේය.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.