නාඳුනන ගැහැණිය – තිලිනා වීරසිංහ

Interview-With-Thilina-Weerasinghe--Sri-Lankan-Writer

 

ඔබ ලාංකේය සාහිත්‍යයේ පැහැදිලි අනන්‍යතාවක් සනිටුහන් කළ ලේඛිකාවක්. කොහොමද මේ පසුබිම ගොඩනැගුණේ?

මම පුංචිම කාලෙ ඉඳල ලිව්වා. මුලින්ම මගේ ලේඛන හැකියාව අඳුන ගත්තෙ මගේ තාත්තා ආනන්ද වීරසිංහ. ඒ මට අවුරුදු නවයෙදි විතර. අවුරුදු හයක් මගේ නිර්මාණ පුවත්පතක පළ නොවෙද්දිත් ළමා පුවත්පත්වලට නොනවත්වා ලියන්න මාව උනන්දු කළේ තාත්තා. හැබැයි මම උසස්පෙළට ඇවිදින් කලා විෂයන් හදාරන්න තෝර ගනිද්දි අරගලයක් ඇති වුණා. පවුල සමඟ ඒ ඇතිවුණු ගැටුම් මගේ කතාවලටත් ඇවිත් තියෙනවා. බැඳීමක් ආදරයක් වගේම අපි අතර නිරන්තර අරගලයකුත් තිබුණා. ඒ අරගලය තවමත් පවතිනවා.

මම ගෝතමී බාලිකාවෙ ඉගෙනගනිද්දි, 1985 ගෝතමී කියල පත්තරයක් අපි දෙතුන් දෙනෙක් කළා. මගපෙන්නුවෙ මගේ උසස් පෙළ සිංහල ගුරුතුමියජයවතී ජයසිංහ. මේ වැඩවලට තාත්තා විරුද්ධ වුණා. ගෙදර එන්න රෑ වීම, ඉගෙනීමට බාධා වීම ඒ වගේ හේතු කාරණා එක්ක තමයි ඒ විරෝධය පැන නැගුණෙ. නමුත් අවසානයේ උසස්පෙළ හැදෑරුවට පස්සෙ මාව බැංකු ක්ෂේත්‍රයට හෝ වෙනත් වෘත්තියකට යොමු කරන්න ගත් උත්සාහය අසාර්ථක වුණාම, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන විජිත යාපාමහතාට කියල මාව විජය ආයතනයට සම්බන්ධ කළෙත් තාත්තා. ඒ අනුව 1988 මම ලංකාදීපෙට යනවා ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් විදියට.

මගේ මුල්ම කෘතිය “නාඳුනන ගැහැණිය” කියවල තාත්තා කම්පා වුණා. උඹව විශ්ව විද්‍යාලෙ යවල උගන්නන්නෙ නෑ මේ වගේ පොත් ලියන බව දන්නවනම් කිව්වා. 1950 දශකයේ ගුරු වෘත්තියට පිවිසුණු මගේ දෙමව්පියන් සාම්ප්‍රදායික සංස්කෘතික රාමුවක හැදී වැඩුණ අය. ඔවුන් මේ නිර්මාණ කියව ගත්තෙ ඒ රාමුව තුළයි. පොතේ ආරම්භයෙදිම අත්දැකීම් කියලත් තිබුණනෙ. දිගින් දිගටම පවුලෙන් එල්ල වුණු විරෝධතාව තියෙද්දිත් මම දිගටම ලිව්වා. 2008 දී “සමනල මරණය” පළවුණාම, ඒ වගේම මම ලිව්ව දේශපාලනික ලිපි නිසා තාත්තා අවසන් කාලෙ ගොඩක් බයෙන් හිටියා මට අනතුරක් වෙයි කියල.

“මධුසමය අහිමි මංගල්‍යය” පොත මම ගෙදර තිබ්බෙ නැහැ පේන්නවත්. අම්මටයි, තාත්තටයි කම්පනයක් දැනෙන්න ඉඩ තිබුණ නිසා. හැබැයි තාත්තා සමනල මරණය කියවල තිබුණා. මම පොතක් දුන්නෙත් නැහැ. ගෙදර කොතැනක හරි තිබිල එයා පොත කියවන්න ඇති. පොත කියවල මගෙන් ඇහුවා පොතක් ප්‍රින්ට් කරන්න කොයිතරම් මුදලක් යනවද කියල. මම කිව්වා රුපියල් 50,000 ක් විතර. ඊළග පාර ඔයා හොඳ පොතක් ලිව්වොත් මම පොත් මුද්‍රණය කරගන්න සල්ලි දෙනවා කියල තාත්තා කිව්වා. ඒ වගේම තාත්තා මිය යද්දි මට යම් මුදලක් ඉතිරි කරල තිබුණා තව පොතක් දෙකක් ප්‍රකාශ කරන්න. ඒකෙන් තමයි නාඳුනන ගැහැණිය නැවත මුද්‍රණය කලේ.

පවුල කියන්නෙ රාජ්‍යයේ මූලික ඒකකයනෙ. ඒ මූලික දේශපාලන සමාජ ඒකකය වන පවුල තුළ තියෙන ගැටුමට මටත් මගේ පවුල තුළ මුහුණ දෙන්න සිද්දවුණා. මම ඒ තුළ හිරවෙලා ඉන්න කැමති වුණේ නෑ. මම නිදහසට කැමතියි. ඒ නිසා පවුල තුළත්, රාජ්‍ය තුළත් නිදහස වෙනුවෙන්, සමාජ සමානාත්මතාව වෙනුවෙන් නිරන්තර අරගල කරනවා. මගේ අයීතීන් එක්ක වැඩ කරන්න වගේම මම අනිත් අයගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නත් කැමතියි.

අපි නාඳුනන ගැහැනිය ගැන කතා කරමු. නාඳුනන ගැහැනිය පළවෙන්නෙ 1996 වසරෙදි. එදා සමාජය කොහොමද ඇයව හඳුනාගන්නට උත්සාහ කළේ?

1988 සිට 1993 දක්වා ලංකාදීප පුවත්පතේ ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් ලෙස සිටි මගේ අදහස් ප්‍රකාශනයට සීමා කිරීම්, බාධා කිරීම් සිදුවෙද්දි මම 1993 රාවය පුවත්පතට සම්බන්ධ වුණා. නාඳුනන ගැහැනිය පළවෙන්නෙ මම රාවය පුවත්පතේ දේශපාලන විශේෂාංග ලේඛිකාවක් විදියට කටයුතු කරමින් සිටියදීයි. ස්ත්‍රියක් විදියට සමාජය තුළ මම අත්විඳින දේ ලියන්න පසුබිමක් ලාංකීය සාම්ප්‍රදායික පුවත්පත් රාමුව තුළ තිබුණෙ නැහැ. විකල්ප කියන පුවත්පත්වල වුණත් ඒ සඳහා වැඩි ඉඩක් ලැබුණෙ නැහැ. මා අත්විඳින පීඩාකාරී දේශපාලන, ආර්ථික ව්‍යුහයට මා තුළ ගොඩනැගුණු දේශපාලනික විරෝධය කෘතියක් හරහා සමාජගත කරන්නට මං උත්සාහ කරන්නෙ ඒ අනුවයි.

මුලින්ම මේ පොත ‘ආදරය සහ ආදරය’ නමින් මුද්‍රණයට බාර දීල තිබුණු අවස්ථාවකයි කොළඹ මහ බැංකු බෝම්බය පිපිරෙන්නෙ. යුධ ප්‍රහාරයකදි හැම කෙනෙක්ම උනන්දු වුණේ තමන් දන්නා අඳුනන කෙනෙක් මිය ගිහින්ද කියල දැනගන්න. තම සමීපතමයන් මිය ගිහින් නැති බව දැනගත්තම ඉබේම සැනසුම් සුසුමක් හෙලනවා. නමුත් ඒ වෙද්දිත් යුද්ධය නිසා බරපතල ලෙස මිනිසුන් මිය යමින් තිබුණා. දීර්ඝකාලීනව මා තුළ යුධ විරෝධයක් ලියලමින් තිබුණා. මහබැංකු බෝම්බයේ කම්පනයත් එක්ක ඒ විරෝධය, යුද්ධයේ අමානුෂික මුහුණුවර කතාවක් විදියට ඉස්මතු වීමයි සිද්දවුණේ. විනාඩි විස්සක වගේ කාලයකදියි නාඳුනන ගැහැනිය ලියවුණේ. කිසිදු සංස්කරණයකින් තොරව ඒ කතාවත් එකතු කරල නාඳුනන ගැහැනිය නමින් පොත එළිදැක්වුණා.

නාඳුනන ගැහැනිය මුල් මුද්‍රණයෙදි හොඳ ප්‍රතිචාර ලැබුනා. ස්වාධින සාහිත්‍ය උළෙලේ අවසන් වටයේ කෘති තුනට තේරුණා. විචාරකයන් යම් පමණකට කෘතිය ගැන කතා කළා. ඒ වෙද්දි නිර්මාණ සංවාදය කියන එක ලාංකේය සමාජයේ තිබුණෙ නැහැ, විශේෂයෙන්ම ස්ත්‍රියකගේ දේශපාලන ලේඛනයක් සම්බන්ධව.

 

 

diyonis-book

 

සමස්තයක් විදියට ගත්තම මගේ පොත් ගැන කතිකාවක් ඇති වුණේ නැහැ. මම ඒක දකින්නෙ පෞද්ගලික කාරණයක් හැටියට නෙවෙයි. ස්ත්‍රිය සහ ලිංගිකත්වය ගැන කතා කරන ස්ත්‍රීන් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් හැටියට.‘දියොනිස් දෙවොල පාමුල සිට‘ නවකතාව සමාජගත කරල අද නදීකා මුහුණ දීල තියෙනවනම් ප්‍රශ්නයකට මතවාදීව ඒකෙම දිගුවක්. අපි මේ තත්වය වෙනස් කරන්න ඕන. ඉන්දීය සමාජය අපට වඩා ඉතාම දැඩි සාම්ප්‍රදායික මතවාදවල එල්බගෙන සිටියා වුණත් නිර්මාණ කාර්යයේ යෙදුණ ස්ත්‍රීන් වෙනුවෙන් මීට වඩා හොඳ සමාජ ප්‍රතිචාර ලැබෙනවා. තමන්ගෙ කෘති සමාජගත කරන්න අවකාශ තියෙනවා. නමුත් අපිට එහෙම ප්‍රතිචාරවත්, සහයක්වත් ලැබෙන්නෙ නැහැ. හරිම අඩුයි. බොහෝ අය ස්ත්‍රින්ගේ නිර්මාණ සමාජගත කරන්න පෙනී සිටින්න අකමැතියි. සිමොන් ද බෝවා, අරුන්දතී රෝයි පරිවර්තන කියවන අය ලාංකේය ලේඛිකාවන්ගෙ කෘති කියවන්නෙ නැහැ. එය කණගාටුදායක තත්වයක්. ලේඛන ශෛලියේ, නිර්මාණකරණයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් නොකියවා අත්හැරීමෙන්, කතිකාවක් ඇති නොවීමෙන් මේ සමාජය යහපත් තැනක් කරන්නට ලේඛිකාවන් විදියට අපි දරන වෙහෙස නොතකා හැරීමක් සිද්ද වෙනවා.

ඔබ ස්ත්‍රීවාදිනියක්, ස්ත්‍රීවාදී ලේඛිකාවක් විදියට හඳුන්වනවා. එක් අතකින් මෙය ඔබේ ලේඛන ශ්‍රමය ලඝු කිරීමක් විදියටයි මම දකින්නෙ. ඇත්තටම ඔබ ස්ත්‍රීවාදිනියක් ද?

ලෝකයේ විවිධ දේශපාලන මතවාද තියෙනවා. මාක්ස්වාදය, ෆැසිස්ට්වාදය, ලිබරල්වාදය, ප්‍රජාතන්තවාදය වගේ. ස්ත්‍රීවාදය කියන්නෙත් දේශපාලන මතවාදයක්. ඒ මතවාදය බිහිවෙන්නෙ ස්ත්‍රීන් දේශපාලනික, ආර්ථික සංස්කෘතික අයිතීන් ඉල්ලා කරන දේශපාලනමය අරගලයෙදි. ඒ වටා ගොඩනැගෙන සාහිත්‍ය නිර්මාණ අදහස් සහ මතවාද එකතුවක් තමයි ස්ත්‍රීවාදය කියල කියන්නේ.

මම ස්ත්‍රීවාදිනියක් කියල රටේ අය හඳුන්වනවා. මම මගේ අයිතිවාසිකම් සහ සමස්ත ලංකාවෙ මිනිසුන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක්. මමත් ගැහැණියක්. ඒ නිසාම මමත් ඇතුළුව ගැහැණිය මේ සමාජය තුළ අත්විඳින පීඩාව සම්බන්ධ විශේෂ හැඟීමක් මට තියෙනවා. ඒ නිසා ම මම ස්ත්‍රීන් වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටිනවා. මොකද ඔවුන්ට හඬක් නඟන්න බහුතරයක් සහය නොදෙන නිසා. නාඳුනන ගැහැනිය කෘතියෙ ‘ආදරය සහ ආදරය’, ‘දෙයියන්නාන්සෙගෙ කැමැත්ත’, ‘පිටුවහල් කළ තරුණිය’ කෘතියේ ‘අධිකරණය ඉදිරියට ගිය සොල්දාදුවා’, සමනළ මරණය කෘතියේ ‘සමනල මරණය’ හරහා හමුදාවට බැඳෙන ග්‍රාමීය තරුණයන්ගේ ඛේදවාචකය, ‘නගරයේ ආදරවන්තයා’, මධුසමය අහිමි මංගල්‍යයේ ‘ඇගේ මිත්‍රයාගේ ආදරවන්තයා’ ඔය මම නම් කරපු සියලුම කතාවල කේන්ද්‍රිය චරිත වෙන්නේ පුරුෂ චරිත. පිටුවහල් කළ තරුණිය කෘතියේ එන ‘ආදරයෙන් සිරගතවීම’ තුළ වෙනම කතාවක්. සමලිංගික ගැහැණු දෙදෛනක් සහ සමලිංගික පිරිමි දෙදෙනෙක්. මේ මම ඇසු දුටු අත්දැකීම්. මේ පොත්වල හැම කතාවක්ම ඇත්ත අත්දැකීම් සමඟ මුසු වී තිබෙනවා.

මගේ සාහිත්‍ය කෘතිවල ස්ත්‍රියක අත්විඳින පීඩාවන් වගේම, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා, අපට යුද්ධයෙන් මිදෙන්න තියෙන අවශ්‍යතාව, පවතින දේශපාලනය ප්‍රශ්න කිරීම, උපහාසයට ලක්කිරීම වගේ විවිධ තේමාවන් ඇතුළත්. ස්ත්‍රීවාදිනියක් විදියට මාව හඳුන්වන අය ඇත්තටම මගේ පොත් හරියට කියවල නැහැ. මගේ දේශපාලන මතවාද කියවන්නෙත් නැහැ. මම දැඩි ලෙස රාජ්‍ය මතවාද අභියෝගයට ලක්කරන්නියක්. සමස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව මැදිහත් වන්නියක්. ඉතිං ස්ත්‍රිය මත ප්‍රචණ්ඩත්වය පමුණුවන ව්‍යුහය පුපුරුවා හැරිය යුතු බව මං අවධාරණය කරනවා. එය සබුද්ධිකව වටහා ගත යුතු මානුෂීය තත්වයක්. මේ සමාජය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සැදුම් ලද්දක් කියන ඒ ස්වභාවික රීතිය මං පිළිගන්නවා. ඒ තුළ ගැහැණුන්ට මානවීය වශයෙන් රැඳී සිටින්න තියෙන අයිතිය වෙනුවෙන් මං පෙනී සිටිනවා. මං ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් පමණක් නෙවෙයි සමස්ත සමාජය තුළ මානව අයිතීන් වෙනුවෙනුයි පෙනී සිටින්නේ.

‘මධුසමය අහිමි මංගල්‍යය’ ලිවීමේ අරමුණම හොඳ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන මානුෂීය සංවාදයක් ගොඩනැඟීමයි. ‘ඇගේ සිහිනය අද්දර’ කතාවත් එහෙමයි. හොඳ මෘදු මනුෂ්‍ය සම්බන්ධතා තියෙනවා. ඒවා එක්ක ආදරය ගැන අලුත් කතන්දරයක් ඕන. සම්ප්‍රදායික බැඳීම්වලින් තොරව පවතින මානුෂික සම්බන්ධතා ගැන හෘදයාංගම කතාබහක් සමාජය තුළ ඇතිවෙන්න ඕන.

ඉතින් ස්ත්‍රීවාදයට බයවෙන්න එපා. 19, 20 සියවස මුල ලෝකයේ පැවති දේශපාලන තත්වයන් එක්ක, වැඩවසම් යුගය බිඳ වැටිල ගොඩනැගුණු කාර්මීකරණයත් ධනවාදයත් එක්ක ගෙවල්වල හිරවෙලා හිටපු ගෑණු අධ්‍යාපනය ලබන්න, දේශපාලනය කරන්න, සංස්කෘතික නිදහස ලබන්න විශාල අරගලයක් ගෙන ගියා, බටහිර රටවල. ඡන්ද අයිතිය, අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කිරීම හා විවාහ සංස්ථාව තුළ ප්‍රචණ්ඩත්වයෙන් මිදීම එවැනි කාරණා තමයි මුල්වුණේ.

ගෑණුන්ව ගෘහය තුළ ප්‍රචණ්ඩත්වයට ලක් කරන්න එපා කියල මීට අවුරුදු 20 කට උඩදි මම ලියද්දි, කතා කරද්දි මං ලේඛනයේ යෙදුණු විකල්ප මාධ්‍ය ආයතන තුළින් පවා මාව උපහාසයට ලක් කළා. හැබැයි අද ඒක රාජ්‍ය මතවාදයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා සමාජගත කර තියෙනවා. ඒ ගැන මට සතුටක් දැනෙනවා. ඒ වගේ අරගල තුළින් තමයි ස්ත්‍රිය තම අයිතීන් දිනාගන්නෙ. සමහර වෙලාවට ස්ත්‍රියක් නිර්මාණයක් කළාම ස්ත්‍රීන්ම ඒවාට එරෙහි වෙන්නෙ ඔවුන් සිටින්නෙ අර පුරුෂයාගේ අසහාය බලය පිළිබඳ අවුරුදු සියදාස් ගාණක් තිස්සෙ ගොඩනැගුණු සාම්ප්‍රදායික මතවාදය තුළ නිසා. අනාගතයේ මතවාදවල යම් ආකාරයක සුබවාදී ඛණ්ඩනයක් සිදුකිරීම සඳහා අපි සාමුහිකව අරගල කරන්න ඕන.

 

 

thilina

 

මේ වන විට ඔබ නාඳුනන ගැහැනිය, පිටුවහල් කළ තරුණිය, ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය, මධු සමය අහිමි මංගල්‍යය, සමනල මරණය කියන කෘති සමාජගත කරල තියෙනවා. ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය හැරුණම අනෙකුත් කෘති සියල්ල බැලූ බැල්මට කෙටි කතා. නමුත් කෙටි කතාමත් නෙවෙයි. ඔබ සඳහන් කරන්නෙ අත්දැකීම් විදියට. ඒ වගේම ඔබට චෝදනාවක් තියෙනවා සාහිත්‍ය රීති නොතකන ලේඛිකාවක් විදියට. මේ ගැන මොකද හිතන්නේ?

මගේ කෘතිවල එන හැම කතාවක්ම මේ සමාජයේ ඇත්ත අත්දැකීම්. මම ඇසු දුටු නැත්නම් මම වින්ද අත්දැකීම්. ඒ අත්දැකීම් තුළින් මං ලබන කම්පනය සහ ඒ සම්බන්ධ මගේ මතවාදය තමයි මේ නිර්මාණ හරහා මතුවෙන්නෙ.

පැහැදිලිවම මගේ සාහිත්‍ය භාවිතාවේ වෙනස්කමක් තියෙනවා. මගේ නිර්මාණ සාම්ප්‍රදායික සාහිත්‍ය රාමුවකට රිංගවන්න අමාරුයි. ඇත්තටම මම නිර්මාණකරණයේ යෙදීමේ අවශ්‍යතාවයෙන් ලියනව නෙවි. මම කොහොමටත් ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් විදියට දිගටම වැඩ කරපු කෙනෙක්. 88 ඉඳල මේ දක්වා ස්වාධීන පුවත්පත් කලාවේදිනියක්. මට අවශ්‍ය වෙලා තියෙන්නෙ අසාධාරණයට, වෙනස් ලෙස සැලකීමට, කොන් කිරීමට, ප්‍රචණ්ඩත්වයට ලක්වූවන් වෙනුවෙන් සහ හඬක් නැති ස්ත්‍රීය වෙනුවෙන්, සමාජ කොටස් වෙනුවෙන් හඬක් නගන්න. ඔවුන්ගේ අයිතීන් හිමිකර දීම හා ඔවුන්ට යුක්තිය ඉටු කරදීම වෙනුවෙන් මතයක් ගොඩනගන්න. ගෘහස්ත වේවා, සමාජමය වේවා ප්‍රචණ්ඩත්වයට එරෙහිව මගේ දේශපාලනික මතවාදය ඉදිරිපත් කරන්න, ඒ ප්‍රචණ්ඩත්වය තුනී කරල පීඩාවට පත් ජන කොටසට සාධාරණයක් ඉෂ්ටවෙන සමාජ ක්‍රමයක් ගොඩනගන්න, ඒ වෙනුවෙනුයි මම ලේඛනයේ යෙදෙන්නෙ. මට සමහරු චෝදනා කරනවා සාහිත්‍යකාරියක් වෙන්න පුළුවන්ද ස්ත්‍රීවාදී විලංගුව දාගෙන කියල. එය තැකිය යුතු චෝදනාවක් විදියට මම දකින්නෙ නැහැ. මම පැහැදිලිව කියනවා මගේ ලේඛනය දේශපාලනිකයි. මම පැහැදිලි දේශපාලන අරමුණක් ඇතිව ලියන්නෙ.

තමන් කැමති වස්තුබීජයන් කලා කෘතිවලට අරගන්න ඕනම කෙනෙකුට නිදහස තියෙනවනේ. මම කැමති දේවල් මම ලියනවා. තව කෙනෙක්ට එයා කැමති දේ ලියන්න පුළුවන්. මගේ ලේඛනයේ අඩුපාඩු සහ මතවාදී ඌණතා සාකච්ඡා කරමින් එය සංවර්ධනය සඳහා කෙරෙන්නාවූ සංවාදයක් මිස අනිත් කිසිම දෙයක් මම තකන්නෙ නැහැ. ඒවා ඉතාම සම්ප්‍රදායික, ඉතාම මුග්ධ දේවල්. නිසි විචාරයක් නැහැ. ලංකාවෙ ඕනම දෙයක් සම්බන්ධයෙන් එහෙමයි. මගේ කෘතින් සම්බන්ධයෙන් විතරක් නෙවි. විශේෂයෙන් ස්ත්‍රීන් යමක් කළාම ලිංගිකත්වය ගැන කතා කළාම බොහොම අනතුරුදායකයි ලැබෙන ප්‍රතිචාර. ප්‍රතිචාර හා විවේචනලටත් වඩා නිශ්ශබ්දතාවය තමයි දරන්නම බැරි. හොඳ ප්‍රගතිශීලී කොටස්, විකල්පයි කියන මාධ්‍ය ආයතන පවා මගේ කෘති සම්බන්ධව ඉතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒක ඉතාම සැහැසි තත්වයක්. නිහඬව මරා දානව වගේ තත්වයක්.

මම සැහැල්ලුව අදහස් පළ කරනවා. හැබැයි සැහැල්ලුව අදහස් පළ කළාට එය සමාජගත කරන එක සැහැල්ලු වැඩක් නෙවෙයි. අපි සමාජය ස්පර්ශ කරල ලබන දේ ලියන්නෙ හුදකලාව. එය නැවත සමාජගත කරද්දි, අනිත් සමාජයේ සංවේදී කොටස්වල දේශපාලන කණ්ඩායම්වල සහයෝගය අවශ්‍යයි.

පාලන තන්ත්‍රය පිළිබඳ පැහැදිලි විවේචනයක් ඔබේ සෑම කෘතියකම ඇතුළත්. විශේෂයෙන්ම යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ මර්දනය සම්බන්ධයෙන්. ලංකාවෙ දේශපාලනයේ වර්තමාන තත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

අපේ රට යටත්විජිත වාදයෙන් මිදිලා දේශීය පාලක පන්තියක් අතට බලය ලැබෙන්නෙ අධිරාජ්‍යවාදීන් සමඟ ඇති වුණු යම් සම්මුතියක් අනුව. නිදහස් අරගල තුළින් නෙමෙයි ලංකාවෙ පාලන තන්ත්‍රය වෙනස් වෙන්නෙ. අපේ සමාජයට දේශපාලන අරගල පිළිබඳ හරි, දේශපාලන නිදහස පිළිබඳ එහෙම සංජානනයක්, සවිඥානකත්වයක් නැහැ. දේශපාලන වශයෙන් සමාජානුයෝජනය ඉතාම පහළ මට්ටමක තියෙන්නෙ. දේශපාලන වශයෙන් මේ සමාජය නවීකරණය වෙලා නැහැ. මොකද අපේ රටවල්වල වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන්නෙ කෘතිම ආකාරයකට. යුරෝපයෙ සිද්ද වුණා වගේ ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. අධිරාජ්‍යවාදී අවශ්‍යතා අනුව ඔවුන්ගේ රටවල තිබුණූ කිසියම් දේශපාලන ආකෘතියක් මෙහාට ගලප්පගද්දි සිද්ද වුනු විකෘතිතාවන් එක්ක තමයි අපේ රාජ්‍ය තුළ දේශපාලන ගමන ආරම්භ වෙන්නෙ.

ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි වාර්ගික ප්‍රචණ්ඩත්වය මේ රටේ ඇතිවෙන්නෙ. මේ විකෘති වෙච්ච දේශපාලන සමාජයක දශක ගණනාවකට පස්සෙ බිහිවෙන මනුෂ්‍ය වර්ගයට අයිති කෙනෙක් හැටියට මම විශ්වාස කරනවා, පාලකයන් පාලිතයින්ට එරෙහිව හෝ එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයකට විරුද්ධව හෝ එක් මනුෂ්‍ය කොට්ඨාශයක් තවත් මනුෂ්‍ය කොට්ඨාශයකට එරෙහිව, ස්ත්‍රීන් පුරුෂයන්ට එරෙහිව හෝ පුරුෂයන් ස්ත්‍රීන්ට එරෙහිව, වැඩිහිටියන් දරුවන්ට එරෙහිව හෝ සිදු කරනු ලබන ප්‍රචණ්ඩත්වයන් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධයන් හැටියට. එතකොට මගේ ප්‍රවේශයම මම ගන්නෙ ලේඛනයෙදි මේ සාපරාධයට එරෙහිව හඬක් නගන්න. මේ හඬ නගන්නෙ ඇත්තටම දේශපාලන වශයෙන් නොදියුණු දේශපාලන හා සමාජ සංස්කෘතියක් ඇතුළෙ ඉඳන්. දේශපාලනය යම් ආකාරයක කියවා ගැනීමක් කළ, යම් ආකාරයක ශාස්ත්‍රීයව සහ විද්‍යාත්මකව හදාරපු සහ හදාරමින් සිටින කෙනෙක් හැටියට.

දශක තුනක් විතර තිබුණු වාර්ගික අර්බුදයක් ඉතාම රළු විදියට රාජ්‍ය පාර්ශවයෙන් මැදිහත් වෙලා දරුණුම ප්‍රචණ්ඩ බලයක් යොදලා තාවකාලිකව ඒකෙ අවසානයක් සිද්ද කළත්, මතුපිට භෞතික ප්‍රහාරයන් නතර වෙලා දැන් අවුරුදු පහක් ගත වුණත්, මේ ක්‍රියාවලිය තුළ ජනවර්ග අතර බිඳවැටුණු මානුෂික බැඳීම් ගොඩනැංවීමක් සිද්දවෙලා නැහැ මේ දක්වා. ඒ අර්බුදය පැන නගින්නේම දශක ගණනාවක් පුරා තමන්ට සිදුවුනු දේශපාලනික අසාධාරණකම්වලට එරෙහිව. දකුණෙ තරුණයනුත් ආයුධ ගත්තා. උතුරෙ තරුණයනුත් ආයුධ ගත්තා. රාජ්‍යයට එරෙහිව පාලක පන්තියට එරෙහිව කරපු අරගලයක් ඉතාම දැඩි ලෙස මර්දනය කළා උතුරෙත්, දකුණෙත්. මම මනුෂ්‍යයෙක් හැටියට ගැහැනියක් හැටියට මේ අතිශය බිහිසුණු මනුෂ්‍ය සංහාරයට එරෙහිව මනුෂ්‍යත්වය පාර්ශවයේ ඉඳන් තමයි පෙනී සිටියෙ. දකුණේ සහ උතුරේ මර්දනයට එරෙහිව මතවාද ප්‍රකාශ කරමින් මම දේශපාලනයක නිරත වෙනවා. හුඟක් අය කතා කරන්න අකමැති, හුඟක් අය කතා කරන්න බය සහ හුඟක් ආය ජාතිවාදී ආස්ථානයකින් මේ ප්‍රශ්නය විග්‍රහ කරද්දි මේ දිහා මානුෂියව බලන්නත්, මේ ප්‍රශ්නය දේශපාලන වශයෙන් විග්‍රහ කරගන්නත් හැකියාව තිබුණු නිසා තමයි මගේ ලේඛනයෙදි මම යුද්ධයට එරෙහි කතිකාවක් ඇති කරන්න උත්සාහ කරන්නෙ.මේ ගැන සමාජ සංවාදයක් මතු කරල මානුෂීය සම්බන්ධතා ගොඩනැගීම හා රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය අහෝසි කිරීම තමයි මගේ අරමුණ වෙන්නෙ.

එතකොට පහුගිය අවුරුදු පහ තුළම යුද්ධයේ බිහිසුණු අත්දැකීම් අතිඋදාර වීරත්වයක් ලෙස සැමරුවා. මේ 2015 ජනවාරි 08 වෙනිදයින් පස්සෙ කවුරුහරි හිතනවනම් අළුත් සංහිඳියාවක් ඇති වෙලා, දේශපාලන වෙනසක් ඇති වෙලා කියල මම ඒක පිළිගන්නෙ නෑ. මතුපිටින් පේන චිත්‍රයක් අපිට තියෙනවා. කිසියම් විදියකට නව ආණ්ඩුව පිහිටුවීමේදී, නව ජනාධිපතිවරයා පත් කරගැනීමේදී උතුරෙ ජනතාවගෙ සහයෝගිතාවයක් ලැබුණා. හැබැයි මැයි 19 වෙනිදා යුද සැමරුම් උළෙල මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය ඉතාම ජාතිවාදී වැඩපිළිවෙලට එරෙහිව ප්‍රබල මැදිහත්වීමක් දේශපාලනිකව කරන්න මේ රජය සහ අලුත් ජනාධිපතිවරයා අපොහොසත් වුණා. ඔවුන් නැවත සිදු කළේ අර හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගිය ඒ කෝවටම වැටිලා සිංහල සමාජයට පෙන්නුම් කිරීම දැන් අපිත් මේ යුද සැමරුම අගයනවා. අපි මේ රණවිරුවන් අගයනවා කියල.

රණවිරුවන් කියන්නෙ කවුද මේ රටේ අහිංසක පීඩිත පන්තියට අයිති, අඩු අධ්‍යාපන සුදුසුකම් තියෙන ග්‍රාමීය තරුණයො. තමන්ගෙ පැවැත්ම සඳහා යුද්දය පවත්වාගෙන යන පාලක පන්තියෙ උවමනා එපාකම් තමයි මේ අහිංසක ග්‍රාමීය තරුණයන් බිලිගන්නෙ. සමනල මරණය කෘතියේ ‘සමනල මරණය’ කතාව හරහා මේ ඛේදවාචකය තමයි කතා කරන්නෙ. ඒ කෘතියෙම එන ‘වැන්දඹුවගේ සංවාදය’ කතාව සහ ‘රාජේවශ්වරී මෙනවියගේ උරුමය’ සහ ‘නගරයේ ආදරවන්තයා’ කියන කතාවල එන්නෙ යුද්දය නිසා සමාජයේ එක් මානව කණ්ඩායමකට සිදුවුණු මානසික හිංසනය, පීඩාව, අතවරය, ඔවුන් සුළු කොට තැකීම. මේ කිසිවකට සාධාරණය ඉෂ්ට වෙන්නෙ නෑ යුද සැමරුමකින්. පසුගිය රජය කළ තරම් මහා පරිමාණයෙන් වියදම් නොකළට, ප්‍රදර්ශන භාවිතය අඩුවුණාට ඒ ජාතිවාදී උන්නතිකාමය මොවුන් තුළත් තියෙනවා. ඒක මේ යුධ සැමරුම තුළ මට විශේෂයෙන් දැණුනා. ලංකාව දේශපාලනික වශයෙන් නවීකරණය වෙලා නැති නිසා ඕනෑම වෙලාවක පාලක පන්තියට පුළුවන් ජාති වාදය මුල්කරගෙන සමාජය අවතැන් කරන්න. තමන්ගෙ බලය වෙනුවෙන් සමාජය නොමග යවන්න. ඒ ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ඒ ක්‍රියාවලිය අවසන් වෙන්න නම් මේ ගෝත්‍රවාදයට පිටතින් ඇත්තටම සබුද්ධික ඉතාම ප්‍රබල මැදිහත්වීමක් මාධ්‍ය හරහා, සිවිල් සමාජ සංවිධාන, සංවේදී මිනිසුන් හරහා ගොඩනැගිය යුතු වෙනවා.

මම ඉල්ලා සිටින්න කැමතියි ‘සමනල මරණය’ හා ‘වැන්දඹුවගේ සංවාදය’ කියන කතා හරහා මම ගොඩනගන්න උත්සාහ කරන මනුෂ්‍යත්වය වෙනුවෙන් ප්‍රබලව මැදිහත් වෙන්න කියල. වචනවලට සීමා නොවී උතුරත් දකුණත් අතර මනුෂ්‍යත්වය නැවත මුණගස්වන වැඩපිලිවෙලකට අපි යන්න ඕන. අපට පැහැදිලි දේශපාලන දැක්මක් තියෙන්න ඕන. අපි කතා කරන භාෂාවන් වෙනස් වුණාට, අපේ සංස්කෘතිය වෙනස් වුණාට අපි එකම මානව වර්ගයට අයිති බව තේරුම්ගන්න ඕන. අසාධාරණයට ලක්වුණු, ප්‍රචණ්ඩත්වයට ලක්වුණු මිනිසුන්ගෙ ජීවිතවලට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් වන කොටසකට අයිතියක් නැහැ අඩු ප්‍රතිශතයක් වන ජන කොටසකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරුවන්න.

අද තියෙන තත්වය තුළින් වඩා යහපත් දේශපාලන තත්වයක් ගොඩනැගෙයි කියා විශ්වාසයක් මට නැහැ. මේ ධනේශ්වර රාජ්‍යයකට තම පැවැත්ම වෙනුවෙන් හමුදාව පොලිසිය අවශ්‍යයයි. ඔවුන්ට පවතින්න අවශ්‍යම දෙයක් තමයි සමාජ බෙදීම්, වාර්ගික බෙදීම්. එය පාලකයින්ට ඉතාම හොඳ සුරක්ෂිත දේශපාලන පැවැත්මක් තහවුරු කරනවා. දේශපාලනිකව නොදියුණු සමාජයක තත්වය ඒකයි. වර්තමාන යහපාලන රජය එතනින් ඉදිරියට එනවයි කියල හිතන්න සාධක නැහැ. දේශපාලඥයින් පුරවැසියන්ව ඉතාම පහසුවෙන් අන්දවන දේශපාලන සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. ‘මම සහ අපි’, ‘මම සහ අපි 2’ ප්‍රහසන ප්‍රබන්ධය හරහා මම මේ ඇන්දවීමට එරෙහිව සාකච්ඡාවක් ගොඩනගන්න උත්සාහ කරනවා. මං දන්නවා ලාංකීය සමාජය තුළ මට අඛණ්ඩව මම සහ අපි ප්‍රහසන ප්‍රබන්ධ රචනා කරන්න පුළුවන් කියා. මොකද සෑම ධනේශ්වර ආණ්ඩුවක්ම සමාජය අන්දන නිසා හා සමාජය ඇන්දී සිටින නිසා.

වසර 30 කට ආසන්න කාලයක් ලේඛිකාවක් විදියට කටයුතු කරන ඔබ ගේ වර්තමාන ලේඛන ජීවිතය ගතවෙන්නෙ කොහොමද?

මෑත කාලෙ අවුරුද්දක් හමාරක්ම මොකුත් ලියවුණේ නැහැ. මාස හයක් විතර දැඩි අසනීප තත්වයෙන් ප්‍රතිකාර ගනිමින් හිටියෙ.

මම නිර්මාණකරණයේ යෙදෙන්නියක් පමණක් නෙවෙයි දේශපාලන ලිපි ලියන්නියක්. හුඟක් අය අමතක කරන දෙයක් ලංකාවේ සිදුවන දේශපාලන ක්‍රියාවලියත් එක්ක දිගින් දිගටම මම දේශපාලන රචිකාවියක් හැටියට ඉන්න බව. පසුගිය දවස්වල මම නිදහස පුවත්පත හරහා ලාංකීය දේශපාලනයේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳ සංවාදයට සම්බන්ධ වුණා. යුද්ධය නිමවුණාට පස්සෙ දෘශ්‍යමාන ප්‍රහාර නතර වුණා. නමුත් දෙමළ මිනිසුන්ට එරෙහි මර්දනය නතර වුණේ නැහැ. 2009 මැයි වලින් පස්සෙ මහින්ද රාජපක්ෂ රජය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා උතුරු වසන්තය කියල එතකොට මම හුදකලාවම ගියා යාපනයට. එහෙ නැවතිල ඇවිදල, මිනිසුන්ගේ සැබෑ ජීවිතය ගැන අත්දැකීමෙන් ලිපි පෙළක්ම ලිව්වා ‘උතුරු වසන්තය සමඟ හුදකලා වූ යාපනය’ කියල. ඒ වගේම ආසියාවේ ආශ්චර්ය කියා මහින්ද රාජපක්ෂ ලංකාව හඳුන්වද්දි ‘ආසියාවේ ආශ්චර්යයේ උතුරු කොණ’ කියල මම ලිව්වා.‘රාජ්‍යයේ මර්දනය අබිමුව කම්කරු පංතියේ ඓතිහාසික නොනිමි අරගලය’කියා කටුනායක කම්කරු අරගලයේ රොෂේන් චානක ඝාතනයේදී මම ලිව්වා. මම හුදකලාවම රොෂේන්ගේ අවමංගල්‍යයට සහභාගි වුණේ ඔහුගේ මරණය වට කරගෙන සිටි හමුදා වළල්ල බිඳගෙන ඇතුළු වෙලා. දැනට වසර කිහිපයකට උඩදි ඝාතනය කළ සරසවි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යයන් කළ අරගලවලට මං සහය දුන්නා. මානව හිමිකම් සහ යුක්තිය වෙනුවෙන් උතුරේත් දකුණේත් සමස්තයක් ලෙසට රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට, මුග්ධත්වයට, මර්දනයට එරෙහිව මම පෙනී සිටිනවා. දැඩි මර්දනකාරී වටපිටාවක බොහෝ දෙනෙක් ලියන්න බියවෙද්දි, බොහෝ අය රටින් පලාගිය තත්වයක් තුළ, බොහෝ අය කතා නොකරන තත්වයක් තුළ මම දිගින් දිගටම රාජ්‍යය තුළ සිදුවන දේශපාලන මර්දන ක්‍රියාවලියට එරෙහිව, 18 වැනි සංශෝධනයට එරෙහිව ලිපි ලියමින් මට ඉඩ ලැබෙන තැන්වල පළ කරමින්, දිගටම ලේඛනයේ යෙදුණා. මට අදහස් පළ කරන්න බොහෝ තැන්වල ඉඩ දෙන්නෑ. මගේ අදහස් ඇතැම් තැන්වලින් ප්‍රතික්ෂේප කරද්දි මම කොහොමහරි අවකාශයක් සලසාගන්නවා ඒ අදහස් ප්‍රකාශනයට.

අවසාන වශයෙන් මම ලිව්වෙ ස්ත්‍රීන්ගේ අයිතීන් පිළිබඳ දේශපාලන සංවාදයක්. ඒක ජනරළ පත්තරේ පළවුණා. ඒ ලියවිල්ලෙ අරමුණ ස්ත්‍රීය පිළිබඳ නව සිතාබැලීමකට කතිකාවක් ඇති කිරීම. එතනින් පස්සෙ කිසිවක් මම ලේඛනගත කළේ නැහැ. නමුත් ඒකෙ තේරුම මම නොලිය ඉන්නව නෙවි. නාඳුණන ගැහැණිය විනාඩි 20 කින් ලියවුණේ මම අවුරුදු ගාණක් තිස්සෙ හිතින් ලියමින් හිටිය එක. ලංකාවෙ සහ ලෝකයේ සිද්දවෙන ආර්ථික, දේශපාලන, සංස්කෘතික ක්‍රියාවලිය සමඟ මම නිරන්තර සංවාදයක යෙදිල ඉන්නවා. ඉතින් ඉදිරියෙදි ඒක ලේඛනගත වෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ ප්‍රකාශන සමාජගත කරන්නෙ කොහොමද කියන එක.

මම පොත්වලින් හම්බ කරල නැහැ. මුදල් බලාගෙන පොත් ලියන්නෙත් නැහැ. මගේ මුල් කෘතීන් මිළ කලේ රු. 40ක් වැනි මුදලකට. මුද්‍රණ වියදම පියවාගැනීම සඳහා පමණයි. මං ලියන පොත් මේ සංස්කෘතික රාමුව ඇතුළෙ විකිණෙන්නෙත් නැහැ. පොත් සාප්පු විකුණන්න බාරගන්නෙත් නැහැ. නමුත් මං පොත් ලියමින් ප්‍රකාශනය කරනවා. මුද්‍රණ වියදම පියවගත්තොත් මට තව පොතක් කරන්න පුළුවන්.

නාඳුනන ගැහැණිය කෘතිය දෙවන මුද්‍රණය කරල අවුරුදු දෙකක් ගත වෙනවා. ඒ අවුරුදු දෙකකට කිට්ටු කාලය තුළ ඒ ගැන නිසි සංවාදයක් ගොඩනැගුණෙ නැහැ. මගේ ලේඛන හරහා ඉස්මතු කිරීමට වෑයම් කරන මතවාදී කරුණු පිළිබඳ නැවත සංවාදයක් ගොඩනගන්න මං ඔබට ආරාධනා කරනවා

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.