පොලීසිය අවම බලය උපරිමයට කරලා-පොලිස් කොමිසම

උපාධියේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු සිසුන්ට අගනුවර දී එල්ල කළ  ප‍්‍රහාරයේ දී පොලිසිය තම සීමාව ඉක්මවා කටයුතු කර ඇතැයි තහවුරු වන බව  ජාතික පොලිස් කොමිසම පවසයි.

එ් අනුව පහරදීමට සම්බන්ධ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරින් පහළ තනතුරුවල නිලයන්ට අයත්,  නිලධාරීන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලිස් කොමිසම නිර්දේශ කර ඇති අතර  ඊට අදාළ පියවර ගන්නැයි පොලිස්පතිවරයාට උපදෙස් දී අැතැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ගගන ට පැවසිය.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ
ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ


කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා තනතුරුවල  නිලධාරීන් සම්බන්ධයෙන් තවමත් සිදුකරනු ලබන පරික්ෂණ නිමවී නොමැති නිසා ඔවුන් සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙතෙක් ස්ථිර නිගමනයකට එළැඹ නැති බවයි.

එ් පිළිබඳ ඉදිරියේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ගගන ට කියා සිටියේ.

සිසුන්ට එරෙහි පොලිස් ප්‍රහාරය යුක්ති සහගත කරමින් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කොට තිබුනේ පොලිසිය එහිදී ‘අවශ්‍ය බලය’ යොදාගත් බවයි.

 

තම ඉල්ලීම් බලධාරීන් හට ඉදිරිපත් කිරීම සඳහා පෙළපාලියකින් කොළඹ කොටුවේ සිට ඇස් වාට්ටුව අසල පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටට පැමිණීමට ඔක්තෝබර් 29 බ්‍රහස්පතින්දා අන්තර් උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව  (HNDA)  සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවට උත්සාහ ගත් අවස්ථාවේ පොලිසිය විසින්  සිසුන්ට ජල, කදුලු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.

 

එහිදි විරෝධතාවයේ යෙදුන භික්ෂුන් වහන්සේලා දෙනමක් සහ ශිෂ්‍යාවන් හය දෙනකු ඇතුළු ශිෂ්‍යයන් 39 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර සිදු වු තුවාල හේතුවෙන් කිහිපදෙනෙක් රෝහල් ගත කරන ලදි.

 

සිසුන්ට එල්ල වු පහර දීම හෙලා දකිමින් සිවිල් සමාජයෙන් පොලිසියට එරෙහිව දැඩි විරෝධතාවයක්ද එල්ල වු අතර ඒ හේතුවෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ද එ් පිළිබඳ පරීක්ෂණ සඳහා විශේෂ කමිටුවක් පත් කෙරුණි.

ඊට අමතරව සිසුන් විසින් කරන ලද පැමිණිලිවලට අනුව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසන් සභාවද එ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.