බලය ගැන පමණක් නොව රට ගැනත් සිතමු!

D.S.ඓතිහාසික කන්ද උඩරට ගිවිසුම අත්සන් කර ඊයේට (මාර්තු 02) වසර 201 ක් සපිරුණි.මෙම ගිවිසුම මගින් එතුවක් ස්වෛරී රාජ්‍යයක් ලෙස පැවති අපේ රටේ එම ස්වෛරීත්වය අප විසින්ම බන්දේසියක තබා ඉංග්‍රීසීන්ට පාවා දී එංගලන්තයේ මහ රජු අපගේ “මහ රජාණන් වහන්සේ” ලෙස පිළිගන්නා ලදී.එදා උඩ රට රදලයින් එසේ කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ “වඩුග” රජු ඉංග්‍රීසින්ගේ උදව්වෙන් ඉවත් කර මෙරට පාලන බලය තමන්ට හිමි කර ගැනීමේ අරමුණෙනි. එහෙත් සිදු වූයේ කුමක්ද? උඩ රට රදලයින්ට “කැරට් අලයක්” පෙන්නූ ඉංග්‍රීසින් මුළු ලංකාව ම “හිරු නොබසින” අධි රාජ්‍යයේ කොලනියක් බවට පත්කර ගැනීමයි. ඉන් පසු රජ වීමට බලා සිටි ඇහැලේපොල ලා ඇතුළු රදලයින්ට සිදු වූයේ “ගලේ පැහැරූ බළලුන්” බවට පත්වීමටයි.swrd
මා මෙය සඳහන් කළේ එදා පටන් අද දක්වාම අපේ “නායකයින්” බලය ගැන පමණක් සිතමින්, දුර නොබලා ළඟ පමණක් බලමින් ක්‍රියා කිරීම නිසා රටක් සහ ජාතියක් වශයෙන් අපට උදාවී ඇති තත්වය පෙන්වා දීමට පුර්විකාවක් වශයෙනි.
එදා ස්ව කමත්තෙන් ඉංග්‍රීසින්ට යටත් වූ අපට ද 2 වන ලෝක යුද්ධයේ ප්‍රතිපලත් සමග ඇති වූ ලෝක තත්වයන් යටතේ “නිදහස” හිමි වුනි.එදා අපත් සමග නිදහස ලැබුවන් අතර ඉන්දියාව, පකිස්ථානය ආදී රටවල් විය. 1948 දී ඉන්දියාවේ සමාජ ආර්ථික තත්වයන් සමග අප රටේ සමාජ ආර්ථික තත්වයන් සැසඳූ කල අප ගව් ගණනක් ඉදිරියෙන් සිටි බව සමාජ ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය විය.එදා ලී ක්වාන් යූ සිංගප්පුරුව ලංකාවක් බවට පත්කරන බව පැවසුවේ එබැවිනි.
එහෙත් එකම කාලයක, එකම ජාතියක යටත් විජිත පාලනයෙන් මිදුණු අප දෙරටෙහි වසර 68 කට පසු තත්වය කුමක්ද? අද ඉන්දියාව යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීන්ට ද අභියෝග කරන ලෝක බලවතෙකු වන විට අප එදාටත් වඩා නිවට තත්වයකට වැටෙමින් ඔවුන්ට වැඳ වැටෙමින් සිටිමු.
jr-jayawardeneඉන්දියාව සහ අප අතර එවැනි වෙනසක් ඇතිවීමට අති විශාල හේතූන් තිබෙන බව සැබෑය.ඔවුන්ගේ භුමිය සහ ජනගහනය ගත්විට අප සහ ඉන්දියාව අතර අහසට පොලොව මෙන් වෙනසක් ඇති බව ද සැබැවි.
එහෙත් භුමිය සහ ජනගහනය මගින් එවැනි විශාල වෙනසක් වන්නේ නම් “සිංගප්පුරුව” ගැන හැක්කේ කුමක්ද? සිංගප්පුරුව යනු ජනගහනය සහ භුමිය අතින් අපටත් වඩා කුඩා, අපටත් පසුව ඉංග්‍රීසීන්ගෙන් ම නිදහස දිනාගත් ජාතියක් නොවන්නේද?ඔවුන් අද ලෝකයේ මහා ආර්ථික බලවතෙකු ලෙස කොන්ද කෙලින් තබාගෙන සිටින්නේ කෙසේද?සිංගප්පුරුවට අපට මෙන් ස්වභාවික සම්පත් හෝ ඓතිහාසික උරුමයන්ද නැති බව අප මතක තබා ගත යුතු කරුණකි.එහෙත් ඔවුන් වසර 30- 40 ක් වැනි කාලයක් තුල ප්‍රබල රටක් ලෙස ගොඩ නැගුනේ කෙසේද?
අප සෙවිය යුතු රහස මෙයයි. මෙය මහා රහසක් නොවේ. ලෝකයේ මෙසේ දියුණු වූ, නැගී සිටි සෑම ජාතියක් පිටුපස ම දුර දක්නා නුවනක් හා කැපවීමක් ඇති නායකත්වයක් සිටි බවයි.ranil4
අන්ත දිලින්දන්ගෙන් යුතු,ලෝකයේ වැඩිම ජනගහනය සහිත චීනයට මාඕ සේතුං මෙන්ම ඩෙන් ෂියා ඕ පෙන් සිටියේය. සාර් පාලනයේ සූරා කෑමට ලක්වූ රුසියානුවන්ට ලෙනින් සහ ස්ටාලින් සිටියහ. දිළිඳු බව හැර වෙන කිසිවක් නොතිබුණු ඉන්දියාවට ගාන්ධි සහ නේරු සිටියහ.සිංගප්පුරුවට ලී ක්වාන් යූ ද මැලේසියාවට මහතීර් මොහමඩ් ද සිටියේය.
එහෙත් ලංකාවට සිටියේ කවුද? 1948 නිදහස ලද අප රට දර්ශනයක් සහිතව ගොඩනැගීමට වෙහෙසුණු නායකයෙක් සිටියේද? අප රටේ සෑම පාලකයෙක්ම උත්සහ කලේ කෙසේ හෝ බලය ලබා ගැනීමටත්, බලය රඳවා ගැනීමටත් සහ තමන්ගෙන් පසුව බලය තම පවුලට තබා ගැනීමට විනා දර්ශනයක්,වැඩ පිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් අනුව රට ගොඩ නැගීමට නොවේ. මේවා පැහැදිලි කිරීමට එක් එක් පාලකයින් වෙන වෙනම ගෙන පැහැදිලි කල යුතු යැයි නොසිතමි.
කණගාටුවට කරුණ වන්නේ අප රටේ බොහෝ පාලකයින් තමන්ට බලය ලබා ගැනීමට සහ බලය ගිලිහී යාම වලක්වා ගැනීමට රටට කුමන ආකාරයේ හානියක් සිදු වුවද කිසිදු පැකිලීමකින් තොරව එවැනි දේ කිරීමයි. අප ඉතිහාසයෙන් පාඩම් උගත යුතුය. ඉතිහාසයේ කළ වරද නැවත නැවතත් නොකළ යුතුය.නමුත් අද ද සිදු වන්නේ දැන දැනම එම වරද නැවත නැවතත් කිරීමයි.
යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වූ පොරොන්දු ඉටු කිරීමට යාම මගින් අද ද සිදුවෙමින් පවතින්නේ එය නොවේද?
අප රටට අවශ්‍ය හමුදා ප්‍රමාණය, හමුදා ස්ථානගත කළ යුතු තැන් ආදිය තීරණය කිරීම අපගේ ආරක්ෂාවට අනුව අප යුතු තීරණයක් නොවන්නේද?අපගේ හමුදා ප්‍රතිශතය හා මානව හිමිකම් අතර ඇති සබඳතාවය කුමක්ද?
අපගේ රට දුපතක් බවත් එම දුපතේ ආරක්ෂාවට උපක්‍රමිකව වැදගත් ස්ථානවල හමුදා කඳවුරු තිබිය යුතු තැන් අපට අදාළ කාරණා මිස වෙනත් කිසිදු ජාතියකට අදාළ කාරණා නොවේ.එහෙත් මේ කිසිදු දෙයක් නොතකන අපගේ “විදේශ” ඇමතිවරයා ඇමරිකාවටත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් අපගේ හමුදා ප්‍රතිශතය අඩු කිරීමටත්, හමුදා කඳවුරු උතුරු- නැගෙනහිරින් ඉවත් කිරීමටත් පොරොන්දු වෙමින් සිටී.
තවත් පැත්තකින් දැනටමත් රැකියා විරහිතභාවයෙන් පෙලෙන අපගේ ශ්‍රම වෙළඳපොල කෑම වේලකට වුව ශ්‍රමය දීමට සුදානමින් සිටින ඉන්දියාවට විවෘත කිරීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටී.
තමන්ට බලයට ඒමට මෙරට ඡන්දදායකයින් රවටා ඒවා ඉටු නොකර සිටිය හැකිමුත් ජාත්‍යන්තරයට එසේ කළ නොහැකි නිස පාලකයින් මෙසේ කරන බව සිතාගත හැකිය. නමුත් එමගින් සිදුවන්නේ තමන්ට කෙටි කාලයක් බලයේ සිටීමට මුළු රටකම අනාගතය අඳුරු කර දැමීම නොවන්නේද?
පනින්න පෙර සිතමු! බලය ගැන පමණක් නොව රට ගැනත් මඳක් සිතමු! එවිට මතු පරපුර සොහොන් කොතට කෙල නොගසනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.