බැඳමාරිය -අනුරසිරි හෙට්ටිගේ

සම්මාන උලෙළට පසුව පොතට වඩා කතා කරන්නේ විනිසුරන් ගැනයි

“බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර ගම්මානයක වෙසෙන මිනිසුන්ගේ ජීවන චර්යාවන් ගැන කියැවෙන කතාවක්. වියළි කලාපයේ වෙසෙන මිනිසුන් නිරන්තරයෙන් නියඟයෙන් පීඩා විඳිනවා.

දිගු නියං සමයකින් පසුව ඔවුන්ගේ එකම අපේක්ෂාව “වැස්ස”. දිගු නියං සමය නිමා කරමින් එක දිගට ඇද හැලෙන වැස්ස හඳුන්වන්නේ “බැඳමාරිය” යනුවෙන්. එහෙම ඇද හැලෙන මහ වැස්සත් සමඟ මිනිසුන් අපේක්ෂා කළ පැතුම් සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා ද? ඔවුන්ගේ යහපත් පැතුම් විතරක්ම ඉටු වෙනවා ද? වැස්ස ඔවුන් කිසිදා නොසිතන නොපතන විපත් ඔවුන්ට ගෙන දෙන්නේ නැද්ද?

මේ නවකතාව අතුරු කතා ගණනාවකින් සමන්විතයි. ඒ අතුරු කතා ගොඩ නැ‍ඟෙන්නේ ගමට එන බාහිර පුද්ගලයන් ඇසුරෙන්.

සමස්ත කතාවෙන්ම මා කියන්නට උත්සාහ දරන්නේ ‘මිනිසුන් මරා දමන්නට හැකි වුවත් මිනිසා පරාජය කළ නොහැකි’ ය යන විශ්ව සාධාරණ සත්‍යයයි.

නවකතාවෙහි ආඛ්‍යාන රටාව මම වෙනස් කළා. පහළ ඌවේ ප්‍රාදේශීය ජනවහර ඇසුරින් සකස් වූ භාෂා ශෛලියක් මම ඒ සඳහා යොදා ගත්තා.

ඇතැම් විට සම්මාන විනිශ්චය මණ්ඩලය වෙතින් ප්‍රතික්ෂේප වන නිර්මාණ පාඨකයන් අතර උසස් සම්භාවනාවට පාත්‍රවන අවස්ථා අප දකිනවා.

සමීක්ෂකයන් සම්මාන ලබා දෙන්නේ කෘතිය කියැවීමේදී ඔවුන්ට දැනෙන පෞද්ගලික හැඟීම් දැනීම් අනුවයි. සමීක්ෂකයන් ඉටු කරන්නේ විශාල සමාජ මෙහෙවරක්. ඔවුන් දැනුවත් ව වැරැදි තීරණයක් ගනු ඇතැයි මම සිතන්නේ නෑ. එමෙන් ම සමීක්ෂකයන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් සාහිත්‍ය සමාජයේ සම්පූර්ණ තෘප්තිමත් බවක් ඇති බවක් පෙනෙන්නේ නෑ.

සම්මාන උලෙළකින් පසුව වැඩියෙන් ම පොත්වලට වඩා විනිසුරු මණ්ඩලය පිළිබඳව කතාබහට ලක් වෙන්නේ ඒ නිසයි. සමීක්ෂකයන් කියන්නේත් එක්තරා පාඨක කොට්ඨාසයක්. ඔවුන් සාමාන්‍ය පාඨකයන්ට වඩා වෙනස් කොන්දේසි සහිතව පොත කියවන පිරිසක්. එහෙයින් පොදු පාඨකයා පොත ගැන එළැඹෙන තීන්දුවලටම එළැඹෙන්නට ඔවුන්ට හැකියාවක් නෑ.

සාහිත්‍යකරුවන් ලෙස අප විශ්වාස කරන්නේ ඉහත කී තත්ත්වයට අනුගතව සමීක්ෂකයන් නිර්මාණ තෝරා ගන්නවා ඇතැයි කියායි සමීක්ෂකයන් ද ‘මිනිසුන්’ ලෙස සිතා කටයුතු කිරීම සාහිත්‍යකරුවන් ලෙස අපේ වගකීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.