මන්ත්‍රීවරයෙකුට දිනකට 20,000ක්.

parliment 1මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගිවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් විසිදහස දක්‌වා ඉහළ දැමීමට ආණ්‌ඩුව විසින් යෝජනා කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ගෘහ කාරක සභා රැස්‌වීමකදී ආණ්‌ඩු පක්‍ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර දැනට මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව වශයෙන් දිනකට ගෙවනු ලබන්නේ රුපියල් පන්සීයකි.

මේ අනුව දිනක පැමිණීමේ දීමනාව රුපියල් 19500කින් ඉහළ යනු ඇත.

මසකට පාර්ලිමේන්තුව රැස්‌වන දින ගණන අටක්‌ වන අතර ඒ අනුව රැස්‌වීමට පැමිණීම වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකුට රුපියල් 1,56,000 ක දීමනාවක්‌ මසකට හිමිවන බව වාර්තා වේ.

මෙම දීමනාව මන්ත්‍රීවරයකු වෙත ලබා දෙන්නේ මාසික වැටුප, දුරකථන හා ඉන්ධන, කාර්ය මණ්‌ඩල ආදී වියදම්වලට අමතරවය.

ලබන වසරේ සිට මන්ත්‍රීවරුන්ගේ කාර්ය භාරය පෙරට වඩා වැඩි වන බව ද සෑම මන්ත්‍රීවරයකු කාරක සභා නියෝජනය වන පරිදි ක්‍රමවේදයක්‌ සැකසීම නිසා එක්‌ එක්‌ මන්ත්‍රීවරුන්ගේ රාජකාරිය ඉහළ යන බවද ඒ නිසා මෙසේ දීමනා වැඩි කිරීමට යෝජනා වී ඇතැයි පැවසේ.

මේ අතර මෙසේ පැමිණීමේ දීමනාව ඉහළ දැමීම තමන් ප්‍රතික්‌ෂේප කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ බව දන්වා ජවිපෙ මන්ත්‍රීවරු අදාළ බලධාරීන්ට ලිඛිත දැනුම්දීමක්‌ කළ බව ද හේරත් මහතා ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බවට පසුගිය අයවැය විවාදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.