මහත්වරුණි… කමල් ගුණරත්න කියන කතාව අහන්න….

Kamal Gunaratneයුද්ධය වෙනුවෙන් දැඩි කැපවීමක් කරනු ලැබූ මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා වසර 35 ක් මුළුල්ලේ  ඇඟලා සිටි හමුදා නිල ඇඳුමට පසුගියදා සමුදුන්නේය. ඉතා අසීරුවෙන්  උපයා ගන්නා ලද සාමය නිසි ලෙස පවත්වාගෙන යන මෙන්  ඔහු ඒ මොහොතේ දේශපාලන නායකයන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටියේය. හතරවන හෙවත් අවසන් ඊලාම් යුද්ධයේදී  53 වන සේනාංකයේ  සේනාංකාධිපති වූ  මේජර් ජනරාල් ගුණරත්නගේ යටතේ සිටි රණවිරුවෝ  හතරවන ඊලාම් යුද්ධය අවසන් කිරීම සදහා සටනේ  අවසානම විනාඩි 45  සටන් කිරීමේ භාග්‍යය ලැබූ අතර ඔවුහු  එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දමා තිස්වසරක දිගු කාලයක්  මුළුල්ලේ එල්ටීටීඊ යට විරුද්ධව කළ සටනේ කඩතිර උනා දැමූහ. ජෙනරාල් ගුණරත්න මහතා ඔහුගේ  හමුදා ජීවිතය තුළ ලද්දාවූ අත්දැකීම් ඇසුරෙන් “නන්දිකඩාල් වෙත ගමන්මග“ (Road to Nandikadal’ ) නැමති  සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් රචිත ග්‍රන්ථ ද්වය සැප්තැම්බර් මස 6 වනදා ඔහු අධ්‍යාපනය ලද කොළඹ ආනන්ද විද්‍යාලයේදී එළි දක්වන ලදී.

ශානිකා ශ්‍රියානන්ද daily financial times වෙත ඔහු සමග පවත්වනු ලැබූ ඉතා විශිෂ්ට සම්මුඛ සාකාච්ඡාවේදී ඔහු විසින් එල්ටීටීඊය ශක්තිමත් හමුදාවක් වීම සඳහා හේතු වූ ඓතිහාසික අසමත්කම්, එල්ටීටීඊ සංවිධානය පරාජයවීම, ශ්‍රීලංකා හමුදාව ජයග්‍රාහී හමුදාවක් බවට පත්වීම, මානව හිමිකම් අවභාවිතය වූ බවට කෙරෙන චෝදනා සහ යුද්ධයේ අවසන් දින කිහිපය පිළිබඳව අදහස් දැක්වීය.

road to nandikadal“ මම මේ පොත රචනා කරන ලද්දේ තමන්ගේ ආදරණීය දරුවන් ක්‍රෑර එල්ටීටීඊ සමග සටන් වැදීම සඳහා එවන ලද දුප්පත් මව්පියන් වෙනුවෙනුයි. සාවද්‍ය ප්‍රවෘත්ති මගින් අපගේ සොල්දාදුවන් සහ යුද්ධය  පිළිබඳව වැරදි වැටහීම් ඇතිව සිටින කොළඹ සහ විදේශගතව පදිංචිව සිටිනා වූ ඉහළ පෙළේ පුරවැසියන් සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරීන් වෙනුවෙනුයි.“ යනුවෙන් පැවසූ ජෙනරාල් ගුණරත්න තමාට තමාගේ අත්දැකීම් රාජකාරි විශ්‍රාමයත් සමග වැළලීමට අවශ්‍ය නොවීමත් හේතුවක් බව වැඩි දුරටත් පැවසීය. මේ එම සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයකි. Lanka News Line වෙනුවෙන් මෙම පරිවර්තන කාර්යයේ නිරතවන්නී කෘතහස්ථ ලේඛ්කාවක් වන එෂාම කාරියකරවන ය.

ප්‍රශ්නය -: එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර සත් වසරක් ගතවී අවසන් වූ පසු Road to Nandikadal නමින් පොතක් පළ කිරීමට අදහස් කළේ ඇයි?

පිළිතුර – එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම යුධ හමුදාවට දැඩි අභියෝගයක් වුනා. අවසන් ඊලාම් යුද්ධයේදී ඉතා විශාල කැප කිරීමක් ශ්‍රි ලංකා යුධ හමුදාවට ඒ වෙනුවෙන් කරන්න සිදු උනා. වසර දෙකකුත් මාස 10 ක් පැවති අවසන් යුද්ධය 2009 මැයි 19 වනදා අවසන් කරන විට යුධ හමුදාවේ නිළධාරීන් ඇතුළුව 5600 ක් දේශය වෙනුවෙන් දිවි පූජා කළා. එයට අමතරව 25000 කට අධික පිරිසක් යුද බිමේදී තුවාළ ලැබුවා. මේ මොහොතේත් ප්‍රාණය විතරක් සිරුරේ රැඳුනු  සෙබළුන් දහස් ගණනක් ඇඳන් මතට වී සිටිනවා. ඔවුන් විසින් බෝම්බ සහ ලේ වැගිරීම් වලින් වියුක්ත අනාගතයක් වෙනුවෙන් ජීවිත පූජාවෙන් කළ විශිෂ්ට මෙහෙවර නිසා අද ශ්‍රී ලංකාවාසී ජනතාව සතුටින් සහ සාමයෙන් ජීවත් වෙනවා.

ජනතාවගේ කාර්ය බහුල ජීවිතය නිසා ඔවුන්ට පසුගිය ලේ වැගිරීම් සහිත භයංකාර යුධ සමයත් ක්‍රෑර එල්ටීටීඊය සහ එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්වත් අමතක වී යෑමේ නැඹුරුතාවක් දක්නට තියෙනවා. අවාසනාවකට වගේ ඔවුන්ට අමතකයි ඔවුන් බිහිසුණු ත්‍රස්තවාදය නිසා පත්වූ අසීරුතා සහ පෙළීම්. ඒ විතරක් නොවෙයි, වසර 30 මාරාන්තික යුද්ධයක් අවසන් කිරීමට ආරක්ෂක හමුදා සහ වික්‍රමාන්විත සොල්දාදුවන් කළ කැපකිරීමත් ඔවුන්ට අමතක වෙමින් තිබෙනවා.

මම 1983 සිට 2009 දක්වා සංග්‍රාම භූමියේ සිටි සටන්කරුවෙක් මිස ලේඛණයේ අත්දැකීම් සහිත අයෙක් නොවෙයි. මේ පොත රචනා කිරීමට මූලික වූ චේතනාව අපගේ ආරක්ෂක හමුදා කළ සහ නොකළ දේ මෙන්ම කමල් ගුණරත්න නම් වූ මම කල දේ සටහන් කිරීමටයි. එසේම එල්ටීටීඊ ග්‍රහණයේ තිබූ දේශය මුදවා සාමය ගෙන ඒම සදහා ආරක්ෂක හමුදාවන් සිදුකළ යෝධ කර්තව්‍යය සටහන් කිරීම මේ කෘතියේ අරමුණයි.

ප්‍රශ්කය -: ආරක්ෂක හමුදාවක රාජකාරියේ නිරත වෙමින් පිටු 800 ක් අඩංගු පොතක් ලිවීම ලේසි කර්තව්‍යයක් නොවෙයි. කොහොමද ඔබේ අත්දැකීම් ගැන පෑන මෙහෙයවන්නට කාලය සොයා ගත්තේ?

පිළිතුර -: ඔව්. එය ඉතා අසීරු කර්තව්‍යයක්. මම මගේ අමතර කාලය සම්පූර්ණයෙන්ම යෙදෙව්වේ මේ පොත සම්පූර්ණ කිරීම සඳහායි. ඉතා සීමිත පොත් සංඛ්‍යාවක් හැරුණු විට යුද්ධය ගැන ලියැවී ඇති  බහුතරයක් පොත් රචනා කර ඇත්තේ යුද්ධයේ නිමග්න වූ අය නොවෙයි. 1983දී ඇරඹි යුද්ධය 2009 දී  නිමා කරන තෙක් මුහුණ දුන් අසීරුතා පිළිබඳ අවංක හැඟීම් මා මගේ සත්‍ය වූ අත්දැකීම්  ලියන්නට ආරම්භ කළ මොහොතේ පෙළඹවීම් ඇති කළා . ලිවීම ආරම්භ කරන්නට පෙර මා සිතුවේ එය ඉතා පහසු කාර්යයක් බවයි. එහෙත් පිටුවෙන් පිටුව රචනා කරමින් ප්‍රගතිය කරා යනවිට මට තේරුණා එය කෙතරම් අපහසු කාර්යයක්ද කියා. නමුත් මං මගේ අරමුණ අතහැරියේ නැහැ. ලේඛකයෙකුට මනා ඒකාග්‍රතාවක්, ඉවසීමක් දැඩි සේ අවශ්‍යයි. එසේම පොත අවසන් කරන තෙක් ඒ ඉවසීම තිබිය යුතුයි. නැතිනම් ඔහු අතරමගදී ඒ වෑයම අතහරිනවා.

ප්‍රශ්නය -: ඔබ මේ පොත සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම රචනා කර තිබෙනවා. ඒ ඇයි?

පිළිතුර -:ශ්‍රී ලංකා යුධ හමුදාව අනුගතව සිටි අවසාන ඊලාම් යුද්ධයේ ජයග්‍රාහකයා බවට පත්වූවා. නමුත් ප්‍රභාකරන්ට බැරි උනා?. ඒ ඇයි?. අපට ගම්වල සිටින දුප්පත් දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබුණා. ඔවුන්ගේ ගම්වල මියගිය තරුණ සොල්දාදුවන්ගේ අවමඟුල් සිදුවෙද්දීත්, යුද්ධයට ගිය ඔවුන්ගේ දරුවන් ආබාධිතයන් බවට පත්ව ගමට එද්දීත් ඔවුන් ඔවුන්ගේ දරුවන් ප්‍රභාකරන් සහ එල්ටීටීය සමග සටන් කිරීමට යුධ හමුදාව වෙ එව්වා. ඔවුන් එය දිගින් දිගටම ඉටු කළා.

මේ හේතුව නිසා හමුදාවට අන්තිම මොහොත දක්වා සටන් කිරීමට අවශ්‍ය  මිනිස් බලය තිබුණා. නමුත් එය ප්‍රභාකරන්ට තිබුණේ නැහැ. එමනිසා මම හිතුවා මම මේ මව්පියන්ට, ඔවුන්ගේ ඥාතීන්ට මේ සොල්දාදුවන්ට සහ මියගිය රණවිරුවන්ට සාධාරණයක් කළ යුතුයි කියා. මෙම පොත සිංහලෙන් රචනා කළේ ඔවුන්ට තම පුතණුවන් ඊලාම් යුද්ධයේදී  සටන් වැදුනු අන්දමත් සාමය ගෙන ඒමට ක්‍රියා කළ අන්දමත් ඔවුන්ට තේරුම් ගැනීම සඳහායි.

මම මේ පොත ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමට හේතුව නම් එල්ටීටීඊ යට එරෙහි අවසන් යුද්ධයේදී යුධ අපරාධ සහ මානව අයිතීන් උල්ලංඝණය කළ බවට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නැගෙන සාවද්‍ය චෝදනාවන්ට එදිරිව පිළිතුරු දීමටයි. එසේම නැවතත් මට අවශ්‍ය වුනා කොළඹ සහ විදෙස්ගතව සිටින ප්‍රභූ ප්‍රජාවට යුද්ධයේදී සැබෑවටම උනේ කුමක්දැයි දැන්වීමට මෙන්ම ආරක්ෂක සේනාවන්හි ප්‍රතිරූපය දුර්වර්ණ කරන ඔවුන් විශ්වාස කරන සාවද්‍ය කතාන්තර වෙනුවට යුද්ධයේදී සැබෑවටම උනේ කුමක්දැයි ඹවුන්ගේ දැනගැනීමට අවස්ථාවක් ලබා දීමට. යුද්ධය තුළ සිදුවූ සැබෑ සිදුවීම් ගැනත්  ඒවා කෙතරම් අසීරුද යන වග මෙන්ම එල්ටීටීඊ පාලන ප්‍රදේශවල  ප්‍රභාකරන් විසින් මිනිස් පළිහක් මෙන් යොදා ගෙන හිර කරගෙන සිටි යුද්ධයේදී පළා ආ අවතැන් වූ සිවිල් වැසියන්ව කෙතරම් ශිෂ්ටව සහ දයාබරව අප පිළිගත්තාද යන්නත් අවබෝධ කරවීමටයි

ප්‍රශ්නය -: දෙවන සහ තුන්වන ඊලාම් සටන් පිළිබඳව කොහොමද ඔබ සිහිපත් කරන්නේ?

පිළිතුර -; කියන්නත් කණගාටුයි ඒ දිනයන් ගැන. අපේ සොල්දාදුවන් 50 ක් සටනින් මියගියා කිව්වත් ජනතාවට ඒ ගැන වගක් තිබුණේ නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් අඩු ලකුණු ගණනකට දුවද්දී දැවි ගියාම සමස්ත ජාතියම ශෝකයට පත්වුනා. හමුදාව යුධ පෙරමුණේදී දිගින් දිගටම පරාජයවීම මේ තත්වය ඇතිවීමට හේතුවුනා. ජනතාව තුළ අපගේ සෙබළුන් තුළ පැවති යුධ ශක්තිය පිළිබඳව එතරම් හොඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ඔවුන සිතුවා එල්ටීටීඊ එක අපට වඩා බොහෝ බලවත් කියලා. අලිමංකඩ නිදහස් කරගත් බලවේගය මෙහෙයුම සහ යාපනය මුදාගත් ත්‍රිවිධබලය මෙහෙයුම් කිහිපයක් හැරුණුකොට සියලුම යුධ මෙහෙයුම් පාහේ අවසන් උනේ ව්‍යසන තත්වයකින්.

ජයසිකුරු මෙහෙයුම ගත්තොත්, අප එම මෙහෙයුමේ වසර 2 ½ කට වඩා යෙදී උන්නා. බොහෝ සොල්දාදුවන් සංග්‍රාම භූමියේදී මියගියා. නැත්නම් තුවාල ලැබුවා. අප මාන්කුලම් වෙතට ළඟා වූවත් එල්ටීටීඊයේ බලවත් ප්‍රහාර හමුවේ අපට එය අල්ලාගෙන සිටීමට අපහසු උනා. ඒ නිසා තන්ඩිකුලම් දක්වා දින දෙකහමාරක් ඇතුළත දිව ගියා. ඇයි එහෙම උනේ?. එයට හේතුව අපට තිබූ මිනිස් බලයේ හිඟපාඩුවයි. ඒ නිසා සටන් කර අල්ලා ගත් භූමිය රඳවා ගන්නට ශක්තියක් තිබුණෙ නැහැ. කර්නල් රොහාන් සිල්වාට ස්තූතිවන්ත වෙන්න අපට ඕමන්තේදී නැවතීමට හැකි උනා.

අප ඒ දිනවල “දුවන හමුදාවක්“ ලෙස හිටියේ. මම මගේ පොතෙන් කියන්නට උත්සහ දරන්නේ කොහොමද මේ දුවන හමුදාව හතරවන ඊලාම් යුද්ධයේදී ජයග්‍රාහී හමුදාවක් බවට පත්වූ හැටියි.

ප්‍රශ්නය -: හමුදාව මේ සංග්‍රාමයන් පැරදීමට හේතු වූ කාරණා මොනවාද?

පිළිතුර -: මම ඒ කාරණා පිළිබඳව මගේ පොතේ සදහන් කර තිබෙනවා. ප්‍රධානම කාරණය නම් 1983 සිට 2005 දක්වා, යුද්ධය සම්බන්ධව පැහැදිලි දේශපාලන දැක්මක් සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අධිෂ්ඨානයක් තිබුණේ නැහැ. දෙවන කාරණය එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ  පැහැදිලි ක්‍රමෝපායක් තිබුණේ නැහැ. තෙවනුව හමුදාවේ යුධ ශක්තිය ඉහළ නැංවීමට  අවශ්‍ය සැලසුමක්  නැතුවාක් මෙන්ම හමුදාවට අත්‍යාවශ්‍ය  ආයුධ සහ උණ්ඩ හමුදාවට ගලා ඒමක් සිදු වූයේ නැහැ.

ඉතාම ඉහළ මට්ටමින් සැලසුම් කළ වඩමාරච්චි මෙහෙයුම මේ සඳහා හොඳම උදාහරණයක්. වඩමාරච්චි මෙහෙයුම අඩක් කරගෙන ගිය පසු නැවැත්වූවා. මන්ද මෙහෙයුම  ඉදිරියට ගෙන යෑමට දේශපාලන උවමනාවක් නොතිබුණු නිසා. ත්‍රස්තවාදය මැඩලීමට  ජාතික මට්ටමේ ක්‍රමෝපායන් ඒතාක් තිබුණේ නැහැ. පසුගිය ආණ්ඩු සියල්ලම සාම සාකච්ඡා පවත්වන අතරතුරේත් එල්ටීටීඊ ය අපට ප්‍රහාර එල්ල කළා. සාම සාකච්චා බිඳ වැටුණු විට ආණ්ඩුවට අවශ්‍යවුනා අප ලවා මෙහෙයුම් සිදු කරවන්නට. අපට පාබල හමුදාවේ සෙබළු හිඟයක් පවතිද්දීත්, සෙබළුන් මරණයට පත්වෙමින් සහ තුවාල ලබමින් සිටින විටත්  ඔවුන්ට අවශ්‍ය වුනා අප ලවා මෙහෙයුම් කරවන්නට.

ඇදවැටීමට හේතු වූ තවත් කාරණයක් නම් විවිධ තලවල නායකත්වයන් ගෙන්  සංග්‍රාම භූමියේදී ඉටුකරගැනීමට අවශ්‍ය සංග්‍රාමික ශක්‍යතාවයන් නිසි අයුරින් නොලැබීමයි. අපගේ ශක්‍යතාවයන් හඳුනා නොගෙන ඔවුන් හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටින අය සම්බන්ධව විශ්වාස කරනවා.  සෙබළුන්ට අණ දිය හැක ඉතාම ඉහළ හැකියාවන්ගෙන් සපිරුනු පුද්ගලයන් සිටියදී  ඔවුන්ට අවස්ථාව නොදී ඔබේ ජ්‍යෙෂ්ඨත්වය සලකා ඔබව පත්කරනවා සේනාංකයකට අණ දෙන්න. ඒ නිසා අප සංග්‍රාමයේදී පරාජයට පත්වූවා. පාබල හමුදා බළමුළුවකට පහසුවෙන් පාලනය කළ හැකි අවස්ථාවන්හිදී පවා කොමාන්ඩෝ සෙබළුන් සහ විශේෂ කාර්ය බලකා සෙබළුන් වැරදි ආකාරයෙන් ඒ තැන්වලට යෙදවීමත් අපගේ අසාර්ථකත්වයට තවත් හේතුවක් වුවා. අපට කොමාන්ඩෝ හෝ විශේෂ කාර්ය බළකා සෙබළෙකු හැදීමට වසර එකහමාරක් ගතවනවා. කොමාන්ඩෝ රෙජිමේන්තු දෙකක සෙබළු සංඛ්‍යාව  වූ 90 දෙනෙකු සම්පූර්ණයෙන්ම මාන්කුලම් සටන් කරමින් ආරක්ෂා කිරීමට ජයසිකුරු මෙහෙයුමේදී යොදවා තිබුණේ එම සටන පාබළ හමුදා බළමුළුවකය ඉතා පහසුවෙන් පවත්වාගෙන යා හැකිව තිබියදීයි. නුසුදුසු මිලිටරි නායකත්වයන් යටතේ  මෙම වැරදි යෙදවීම් සිදුවූවා.

ප්‍රශ්නය -: ඔබ හිටපු හමුදාපතිවරුන්ගේ තීරණයන්ට අභියෝග කරනවාද?

පිලිතුර -: නැහැ. මම එසේ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අණ දුන් සියලු  දෙනා පිලිබඳව මගේ ඉතා ඉහළ ගරුත්වයක් තිබෙනවා. ඔවුන් යුද්ධ හමුදාව වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා.  නමුත් නිවැරදි තීරණයක් ගත යුතු යම් අවස්ථාවක් එළඹි විට ඒ මොහොතේ ගතයුතු ඉතාම නිවැරදි තීරණය ඔවුන්ට ගැනීමට නොහැකි උනා.

ප්‍රශ්නය -: සටන් විරාම සමයේ එල්ටීටීයේ හැසිරීම කෙබඳුද?

පිළිතුර -: අප සොල්දාදුවන් හැටියට ආඩම්බරයි. අපට විශාල අභිමානයක් තියනවා. එවන් අභිමානවත් සොල්දාදුවන්ට නිතරම අවමාන සිදු උනාම එය ඉවසා සිටීම අපහසුයි. නමුත් එල්ටීටීඊ ය විසින් අතිශයින්  දැඩිව සොල්දාදුවන්ට අවමන් කරද්දීත් ඔවුන් මනා ඉවසීමකින් සටන්විරාම සමයේ කටයුතු කළා.

එල්ටීටීඊ යේ චේතනාව ගැන අවබෝධයක් නොමැතිව පෙර සිටි සියලු ජනපතිවරුන් ඉතාම ධනාත්මකව සාම සාකච්ඡා ඇරඹුවා. එල්ටීටීඊ ය සාම සාකච්ඡා කරන්නට එකඟ වූ සෑම අවස්ථාවකම රජය ඔවුන්ට යම් යම් විසඳුම් ලබාදීමට සූදානම්ව සිටියා. කිසිම අවස්ථාවක ඔවුන් ඔවුන්ට ලැබුණු දේ ගැන සෑහීමකට පත්වූයේ නැහැ. ඔවුන් හැමවිටම තවත් තවත් දේ ඉල්ලා සිටියා.ඔවුන් රජය සමග බලය බෙදා හැරීම ගැන සාකච්ඡා කරමින් සිටියදීත් සටන්විරාම ගිවිසුම උල්ලංඝණය කරමින් සෙබළුන්ට අවමන් කළා. ප්‍රහාර එල්ල කළා.

මම මගේ පොතේ එල්ටීටීඊ ය විසින් සෙබළුන්ට කළ අවමන් සහගත දේ සඳහන් කර තිබෙනවා. එල්ටීටීඊ ය ගම්වැසියන් යොදා ගෙන විරෝධතා සංවිධානය කර හමුදා කඳවුරු ඉදිරිපිටට ඇවිත් ඉතාම අසභ්‍ය වදනින් සොල්දාදුවන් අපයෝජනයට ලක් කළා. එපමණක් නොවෙයි, ඉතා අශික්ෂිත දේවල් කළා. නමුත් අපගේ සොල්දාදුවන් ඒවා ඉවසා සිටියේ සම්පූර්ණයෙන් පිරවූ උණ්ඩ සහිත අවි අත දරා සිටිද්දීයි. අපේ සොල්දාදුවන් ඔවුන්ගේ වෘත්තිකභාවය සහ විනය ලෝකයට පෙන්වා සිටියත් එය අවබෝධ කරගැනීමට ලෝකය සමත් උනේ නැහැ.

ඇත්ත වහයෙන්ම දැන් හොදටම ඇති කියන සිතුවිල්ල අපට ඇති වෙමින් තිබුණා. අවඥා සහගත සාමයකට වඩා ගෞරවණීය යුද්ධයක්ති බිය යුතු බව අපගේ තීරණය උනා. හමුදාව විසින්ම ඒ සඳහා සූදානම්වීම ඇරඹුවා. අප  පුහුණුවීම් , පර්යේෂණ සහ අපගේ දුර්වලතා හඳුනාගැනීම් ඇරඹුවා. අපගේ දුර්වලතා නැතිකර ගනිමින් ශක්තීන් වර්ධනය කරගත්තා. බොහෝ වෙලාවට එල්ටීටීය අපට ප්‍රහාර එල්ල කලේ රාත්‍රි කාලයේදීයි. සොල්දාදුවන් රාත්‍රියට බියවී සිටියා. පාබළ සෙබළුන් ලෙස රාත්‍රිය යනු අපගේ ඉතා හොඳ මිතුරෙක්. මන්ද සතුරන්ට අපව පේන්නේ නැහැ. අප මෙම සිද්ධාන්තය සොල්දාදුවන්ගේ සිතට කාවැද්දුවා. ඔවුන්ව රාත්‍රී සටන්වලට පුහුණු කළා. අන්තිමට ඔවුන් ඉතා හොඳ රාත්‍රි සටන්කරුවන් බවට පත්වූවා.

යුධ හමුදාව යුධ ශක්තියෙන් අනූන කළ පසු අප බලා සිටියා රජය හතරවන ඊලාම් යුද්ධය ආරම්භ කිරීමට අණ ලබා දෙනතුරු. අප දැනගෙන හිටියා එල්ටීටීඊ යත් අපට ප්‍රහාර එල්ල කීරීමට සූදානමින් සිටින වග.

ප්‍රශ්නය -: ඔබ දුවන හමුදාවක් ලෙසින් සටන් කරන කාලයේදී එල්ටීටීඊ ය සහ ප්‍රභාකරන් පිළිබඳව තිබූ අවබෝධය කුමක්ද?

පිලිතුර -: ඒක අමිහිරි සත්‍යයක්. මම එදා හමුදාව දුවන හමුදාවක් ලෙස හැඳින්වූ විට හමුදා සේවයේ උන් බොහෝ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් වරදකරුවන් බවට පත්වෙනවා. ඇත්තටම අප දවස් දෙකහමාරකින් තණ්ඩිකුලම් වෙත ළඟා වූ දා මට අවශ්‍ය උනා හමුදාව දුවන හමුදාවක් ලෙසින් නම් කරන්න. මම සමාව ඉල්ලනවා අප අතීතයේ සටන් කළ ආකාරය ගැන පැහැදිලි අදහසක් දීමට භාවිතා කළ වැරදි වචන පිළිබඳව. හිටපු යුධ හමුදාපතිවරයකු වූ සිසිල් වෛද්‍යරත්න විශ්‍රාම ගනිද්දී පැවසුවේ පරාජිත හමුදාවකට නායකත්වය දීමට ඔහුට අවශ්‍යතාවයක් නැති බවයි. ඔහු ඔහුගේ උපරිම උත්සහාය ගනු ලැබුවා ශ්‍රී ලංකා යුධ හමුදාව නව්‍යකරණය කර නගා සිටුවන්නට. නමුත් ඔහු අසමත් වුනා.

කොහොම උනත් හතරවන ඊලාම් යුද්ධය තෙක්  ජනතාව සිතුවේ නැහැ යුධ හමුදාව විජග්‍රාහී හමුදාවක් බව. පසුගිය රජයක එක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මට පැවසූ දේ නම් “ ඔබට එල්ටීටීඊ ය සමග සටන් කර ජයගන්නට බැහැ“ කියායි. මම එය කළ හැකියි පැවසූ විට “ කර්නල්, ඔබේ මිනිසුන් දිගු කාලයක් මුළුල්ලේ එල්ටීටීඊ ය සමග සටන් කරනවා. එක සටනක්වත් දිනාගන්න බැරි උනා. ඒ නිසා තමයි අපට සාම සාකච්ඡා කරන්න සිදු වෙලා තියෙන්නේ“ යනුවෙන් පැවසුවා. මා එය මගේ පොතේ සඳහන් කර තිබෙනවා. මේ රටේ ජනතාව, ආණ්ඩු විතරක් නොවෙයි, අපේම සොල්දාදුවෝ පවා සිතුවේ එල්ටීටීඊ ය සුපිරි ප්‍රහාරක හමුදාවක් බවයි. නමුත් 2009 දී අප ඒ මතවාදය බැහැර කර දැම්මා.

මා සිතන්නේ නැහැ එල්ටීටීඊ යට නැවත පැමිණිය හැකියි කියා ප්‍රභාකරන් වැනි කෙනෙක්ගේ නායකත්වයෙන්. ප්‍රභාකරන් යනු අන් අය සමානවම කැපවීමක් පෙන්වූ, තම අරමුණ වෙනුවෙන්ම ජීවත්වූ, විනයක් ඇති ක්‍රෑර ත්‍රස්තවාදී නායකයෙක්. ඔහු තවදුරටත් නැහැ.

ඔහු නූගතෙක් විය හැකියි. නමුත් ඔහු දැඩි විනයක් ඔහු තුළම පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්. ඔහු තමා මිනිස් බෝම්බ කලාව ලෝකයට හඳුන්වා දුන්නේ අල්කයිඩාවටත් කලින්. ප්‍රභාකරන් සතුව 200 කට අධික මිනිස් බෝම්බ තුබුණා. මෙම මිනිස් බෝම්බ අතරින් බහුතරයක් කාන්තාවන්. ඔවුන් සැම විටම ප්‍රධානියාගේ අණ ලැබෙන තුරු  සූදානම්ව සිටියා. ඒ ඔවුන්ගේ ජීවිත පූජා කරන්න. එහෙත් කිසිම ආකාරයේ සාක්ෂියක් නැහැ පෙන්වන්න ඔහු එම කාන්තාවන් අපයෝජනයට ලක් කළ බවට.

ඔහු පවුලට ආදරය කළ පුද්ගලයෙක්. යුධ හමුදාව 10000 කට වඩා ඔහුගේ  ඡායාරූප සොයා ගත්තා. ඔහුගේ පවුල් සහ එල්ටීටීඊ සංවිධානයේ විවිධ අවස්ථාවන් ඒවායේ දැක්වුණා. නමුත් ඒ එකම අවස්ථාවකවත් ඔහු මත්පැන් වීදුරුවක් අතැතිව සිටියේ නැහැ. ඔහු දැඩි විනයක් සහිත පුද්ගලයෙක්. ඔහු ෂරියා නීතියටත් වඩා බිහිසුණු නීති පද්ධතියක් පවත්වාගෙන ගියා. ඔබ හොරකම් කළහොත් ෂරියා නීතිය යටතේ ඔබේ අත කපා දමනු ඇති. නමුත් ප්‍රභාකරන්ගේ නීතිය යටතේ ඔබගේ ජීවිතයම ඔබට අහිමි වේවි. ඔහු හින්දුවෙක් උනත් ඔහු දෙවියන් විශ්වාස කළේ නැහැ. වරක් ඔහු පැවසුවේ දෙවියන් සිටින්නේ බලවත් රටවල් වෙනුවෙන් බවයි. ඔහු විවිධ ගුණයන් සහිත පුද්ගලයෙක්. ඔහු සතුව යහපත් ලක්ෂණ තිබුණා යමෙකුට ඉගෙන ගැනීමට .

ඔහු ස්ථීර තීරණ ගත් පුද්ගලයෙක්.  ඔහු කිසියම් තීරණයක් ගනු ලැබුවාද, තීරණ හරි හෝ වැරදි වුවත් එය ක්‍රියාත්මක කළා. ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක් වූ රජීව් ගාන්ධි මරා දැමීමට ඔහු ගත් තීරණය එබඳු තීරණ අතර ඔහු විසින් ඔහුගේ ජීවිතේදී ගන්නා ලද ඉතාම අඥාන වූ තීරණයක්.  ඔහු දැන සිටියා ගාන්ධි  මරා දැමීමෙන් සමස්ත ඉන්දියාවත් ලෝකයත් ඔහුට එරෙහි වන බව. නමුත් එසේ තිබියදීත් ඔහුට අවශ්‍ය වුනා එල්ටීටීඊය මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාව මෙහි එවීම සම්බන්ධව ගාන්ධිගෙන් පළිගැනීමට. ඔහු ක්‍රෑර මිනිසෙක්. ඒ නිසා ඔහු ගාන්ධිව මරා දැමුවා. ඔහු දැඩි ඉවසීමක් ඇති කෙනෙක්. ඔහුගේ අරමුණ ඉටුකර ගැනීමට සුදුසු මොහොත එනතෙක් ඔහු බලා සිටියා පහර දෙන්න.

ප්‍රශ්නය -: ඔබ පැවසුවා ශ්‍රී ලංකා යුද හමුදාව 2005 – 2009 දක්වා කාලය තුළ ජයග්‍රාහී හමුදාවක් බවට පරිවර්තනය වූ බවට. මෙවැනි මාරුවීමකට තුඩු දුන් හේතු මොනවාද?

පිළිතුර -: මා ඉගෙනගත් පාඩම් ඇසුරෙන් ඒවා පෙළගැස්විය හැකියි. පසුගිය ආණ්ඩුවේත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකාගේත් පැහැදිලි දැක්ම වූයේ ත්‍රස්තවාදය පරාජය කළ යුතු බවයි.  යුද්ධයෙහි පලපුරුදු කෘතහස්ත සෙනෙවියකු වූ ඔහු ඒ සඳහා කැපවුණු අතර ඔහු පොරොන්දුවක් උනා ඔහුගේ අනුප්‍රාප්තිකයෙකුට යුද්ධ කිරීමට ඉඩ නොතබන බව. ඔහු ඒ පොරොන්දුව ඉටු කළා. නමුත් රජයේ සම්පූර්ණ සහය නැතුව ඔහුට එය කළ නොහැකියි. රජය සුබදායි ආකල්පයක හිටියා හමුදාවේ යුධ ශක්තිය වැඩි කිරීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධව. හමුදාවට අලුතෙන් සෙබළුන් බඳවාගැනීම් මගින් යුධ හමුදාවේ මිනිස් බලය 120,000 සිට 230,000 දක්වා වැඩිකරණු ලැබුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ “ ඔබ යුද්ධය ඉවර කරන්න. අප ඇඟිලි ගසන්නේ නැහැ“ කියායි. පතොරමේ සිට මිසයිල දක්වා එල්ටීටීඊය පැරදවීමට අවශ්‍ය කරන සියලු දේ ආණ්ඩුව අපට ලබා දුන්නා.

එම කාල පරිච්ඡේදයේදී, සංග්‍රාම භූමියට අවශ්‍ය කරන නායකයන් හෙවත් සෙනෙවිවරුන් තෝරාගනු ලැබුවේ හමුදාපති විසිනුයි. ඔහු සමත්කම්  ඇති  නිළධාරීන් තෝරා ගනු ලැබුවා සංග්‍රාම භූමියේ මෙහෙයුම් සඳහා. ඔහු ජ්‍යෙෂ්ඨත්වය ගණන් ගත්තේ නැහැ. මා බ්‍රිගේඩියර් තත්වයට උසස් කල මොහොතේ, සේනාංකාධිපතිවරයෙක් ලෙස පත්කරන විට මට වඩා ඉහළ ජ්‍යෙෂ්ඨයන් රැසක් හිටියා. හමුදාපතිතුමාට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබුණ අතර ඔවුන් කණ්ඩායමක් ලෙස එක්වී මෙම අත්‍යාවශ්‍ය තීරණ ගනු ලැබුවා. මැනවින් සැලසුම් කර කොමාන්ඩෝ සෙබළුන් සහ විශේෂ කාර්ය බලකා සෙබළු යොදවා  එල්ටීටීඊ ප්‍රධාන කඳවුරු රාශියක් සාර්ථක මෙහෙයුම මගින් විනාශ කරනු ලැබුවා.

ප්‍රශ්නය -:එල්ටීටීඊ ය පරාජයට පත්වී ඇදවැටීමට හේතු වූ කාරණා මොනවාද?

පිලිතුර -: ප්‍රධානම කාරණය නම් ඔවුන් සටන් කරනු ලැබුවේ මෙතෙක් සටන් කළ සුපුරුදු හමුදාව සමග නොවීමයි. ඔවුන් අවසාන සංග්‍රාමයේදී  සටන් කරණු ලැබුවේ ඉහළ වෘත්තිභාවයක් ඇති වෙනස්ම ආකල්ප ඇති හමුදාවක් සමගයි. සෑම මට්ටමකම සිටියේ ඉතා පළපුරුදු අණ දෙන නිලධාරීන්. මම කලින් කීවාක් මෙන් අප අපේ දුර්වලතා හඳුනාගෙන ඒවා දුරුකරගෙන තිබුණා.. එල්ටීටීඊ යේ තිබූ යහ ලක්ෂණ අප හඳුනාගෙන තිබුණා. අප ඔවුන්ගෙන් ඒවා ඉගෙන ගනු ලැබුවා. ඊට පෙර කාලයේ අප සටන් කලේ ඉතාම සම්ප්‍රදායික ආකාරයෙනුයි. නමුත් හතරවන ඊලාම් යුද්ධයේදී විශේෂ බලකා සහ කොමාන්ඩෝ සෙබළුන් සංග්‍රාම භූමියේ කිසියම් හැඩයකට ඔවුන්ගේ සෙබළුන් විහිදවීම කළා. මෙය එල්ටීටීඊය විසින් පෙර සටන් වලදී සිදු කළ දෙයක්. එමගින් අපේ පසුපෙළට දැඩි භීතියක් ඇති කළා. මෙවර අප ඔවුන්ට එය කරනු ලැබුවා. අප අපේ ගතානුගතික සම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත්වීමට අපේ උපරිම උත්සහය ගනිමින් සිටියදී  ප්‍රභාකරන්ට ඔහුගේ ගරිල්ලා සටන් ක්‍රමයෙන් ඉවත්වීමට අවශ්‍ය වෙමින් තිබුණා.

එය එල්ටීටීඊ ය ලද විහාල පරාජයක්. ඔවුන් කලේ ඔවුන්ගේම සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් සේ යොදා ගැනීමයි. එල්ටීටීඊ යට මහජන සහය නොලැබීම ඔවුන් පරාජය වීමට හේතු වූ කරුණු අතරින් එක් හේතුවක් වුණා. ඒ සමගම ප්‍රභාකරන් සිදුකළ ලොකුම වරදක් තිබුණා. එනම්  එල්ටීටීඊ ය සම්ප්‍රදායික සටන් හමුදාවක් (අප පෙර සිටි තත්වයේ) බවට   පත්කර ඔවුන් සංග්‍රාම භුමියට යැව්වා ඒ වනවිට නවීකරණය වූ ඉතා ඉහළ වෘත්තීය හමුදාවක් වූ අප සමග සටන් කිරීමට.

ඔවුන්ට සිටියේ ඉතාම දක්ෂ සටන් කරුවන්. පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන්, මිනිස් බෝම්බකරුවන්, කාලතුවක්කු නිරීක්ෂකයන් ඇතුළු භට  කණ්ඩායම්.  ඉහළම හැකියාවන්ගෙන් යුතු සටන්කරුවන් සිටියත් ඔහු ක්‍රමෝපායන් වෙනස් කර ඔහුගේ හමුදාව සම්ප්‍රදායික සටන්කරුවන් බවට පත් කළා. ඒ නිසා මෙතෙක් කළමනානරණය කළ වාසි සහගත තත්වයන් ඔහුගෙන් ගිලිහුණා. එසේම විශාල වශයෙන් කාඩරයන් බඳවා ගත්තද ඔවුන්ට ලැබූණු පුහුණුව ඉතාම සීමා සහිත වුණා.   තවත් හේතුවක් නම් ශ්‍රී ලංකා යුධ හමුදාව පෙරමුණු කිහිපයකින් බලසම්පන්න ප්‍රහාර දියත් කිරීමට සමත් වීම. එමනිසා එල්ටීටීඊය සතු මිනිස්බලය හැකිළිමෙන් සටන් දිගටම දරා සිටිය නොහැකි වුනා.

ප්‍රශ්නය -: එල්ටීටීඊ දේශපාලන අංශයේ නායිකා “තමිලිනී“ ඇගේ පොතෙහි සඳහන් කරනවා දිගුකලක් යුධ වැදීමෙන් ඇතිවූ තෙහෙට්ටුවත්, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් වයසට යෑමත් යන කාරණා  හතරවන ඊලාම් යුද්ධයේදී ඔවුන්ගේ පරාජයට හේතු වූ කරුණු අතර වූවා කියා. ඔබේ අදහස ?

පිළිතුර -: තවම මම ඇගේ පොත කියවා නැහැ. නමුත් එල්ටීටීඊ යේ වැටීම ගැන මේ කියන කරුණු සමග මම එකඟ නැහැ. ප්‍රභාකරන් තරුණ වේවා මහලු වේවා, ඔහු පෙර සිටි ක්‍රෑර පුද්ගලයාම තමයි. ඒ වගේම සංග්‍රාමයේ අවසන් විනාඩිය දක්වා ඔහුගේ නායක්ත්වය අනර්ඝයි. එසේම අනෙකුත් අණ දෙන්නන් වූ බානු, රත්නම් මාස්ටර්, සහ සුසෙයිගේ අණදීමත් ඉහළ තත්වයක පැවතුණා. අවසන් දින කිහිපයේ සුසෙයිගේ විධානයන් හමුවේ කිසිවෙකුටත් ආපසු හැරී යෑමේ අවශ්‍යතාවය තිබුණේ නැහැ. ඔවුන්ගේ කොමාන්ඩෝ භටයන් මෙම නායකයන්ගේ අණ පරිදි ඉතා හොඳින් රාජකාරිය ඉටුකළා.

එල්ටීටීඊ සංවිධානය දැඩි පීඩාවකට පත්වූයේ ඔවුන්ට සිටි දක්ෂතම නායකයන්ගෙන කෙනෙකු වන බාල්රාජ් හෘදයාබාධයකින් මරනයට පත්වීමෙනුයි.  ඊළඟට  ඔවුන්ට සිටි දක්ෂ සංග්‍රාම නායකයකු වූ කරුණා අම්මාන් ගේ වෙන්වීමයි. එසේම තවත් දක්ෂ නායකයකු වූ තීපන් අහිමිවීමයි. ඔහු පුදුකුඩිඉරුප්පු අහිමි වන තෙක් සටන් කළා. ඉහළම නායකත්වය ශක්තිමත්ව අවසන් පැය කිහිපයේදීත් අවසන් යුද්ධයේදී සටන් කළා.

ප්‍රශ්නය -: මූලික අයිතිවාසිකම් ක්‍රායාකාරීන්, ජාත්‍යන්තර මානවහිතවාදී ආයතන කියා සිටිනවා අවසන් යුද්ධය පැවති අවස්ථාවේ හමුදාවන් විසින් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කල බවට. මේ චෝදනාවලට ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

පිළිතුර -: සේනාකාංධිපතිවරයකු ලෙස මෙන්ම අවසන් යුද්ධයේ අවසන් යුද්ධයේදී අවසන් සංග්‍රාමය පැවතුණු භූමියේ අවසාන අවස්ථාවේ සිටියකු ලෙසත් මම තරයේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මානව අයිතීන් අපයෝජනයට ලක්කිරීම්,  යුධ අපරාධය ශ්‍රී ලංකා යුධ හමුදාව අතින් අවසන් යුද්ධයේදී සිදුවූයේ නැහැ. එම යුද්ධය පැවතියේ රජයේ හමුදාව සහ ත්‍රස්තවාදීන් අතරයි. යුද්ධයක් පවතිද්දී එතැන අනිවාර්යයෙන් තුවාල ලැබුවන් සිටිනවා. මානුෂීය නීතියක් ලෙස සාමාන්‍ය වැසියන්ට අනතුරු සිදුවීම අවම කරන්නට අපට ගත හැකි සියලුම පූර්වආරක්ෂක උපක්‍රම අප විසින් ගනු ලැබූවා. ඒ නිසයි අප අපගේ යුධ මෙහෙයුම් “මානුෂීය මෙහෙයුම්“ ලෙස නම් කරනු ලැබුවේ.

අප ඉතාම ගෞරව සම්ප්‍රයුතක්තව සංග්‍රාම මෙහෙයුම් වලට අර්ථයක් දුන් නිසා කිසි විටක ජනතාව පදිංචිව සිටි ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කලේ නැහැ. නියමු රහිත යානා සම්බන්ධ කරගනිමින්  මෙහෙයුම් මැදිරි  වෙත ලබාගන්නා තොරතුරු අනුව සියලු අංශ විසින් ත්‍රස්තවාදීන් සැඟව සිටින ස්ථාන සහ සාමාන්‍ය වැසියන් පදිංචිව සිටින ස්ථාන හඳුනා ගනු ලැබුවා. ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව සමග මිශ්‍රව සිටින බව දැන දැනත් අප පහර දීමෙන් වැළකුනා. රජය අපට දැඩි ලෙස උපදෙස් දී තිබුණා තුවාල ලබන සංඛ්‍යාව බිංදුවේ තබන ලෙස.

ප්‍රශ්නය -: අවසාන වශයෙන්, එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ඔහුගේ අවසන් සටනේ අවසන් මිනිත්තු 45 සටන් කලේ ඔබේ සෙබළුන් සමගයි. ඔබ විශ්වාසයෙන් යුතුව සිටියාද ඔහුව අල්ලා ගන්නා බවට?

පිළිතුර -: මම ඉතා හොඳ විශ්වාසයකින් සිටියා ශ්‍රී ලංකා යුධ හමුදාව ඉක්මනින් ඔහුව අල්ලා ගන්නා බවට. අවතැන් වූ ජනතාව ආරක්ෂාව සොයා අප දෙස දිව එන විට මා එය දැන ගත්තා. මම සංග්‍රාම සිතියම දෙස බලද්දි මට පෙනුනා ඔවුන්ගේ පාලන ප්‍රදේශ සිඝ්‍රයෙන් හැකිලෙමින් පවතින බව.  එවිට අපට දැන ගැනීමට අවශ්‍ය වුනා අප වෙතට එන සාමාන්‍ය ජනතාව අතරේ සැඟවීගෙන, ත්‍රස්තවාදී කාඩරයන් වෙනත් ක්‍රමෝපායක් ඇතිව පැමිණෙනවාද යන වග. එවිට අපට වැටහුණා ඔවුනගේ සටන් ක්‍රමෝපායන් අවුල් සහගත වී ඇති බවත් අපට ඒතරම් කාලයක් සටන් කිරීමට අවශ්‍ය නොවන බවත්. 2009 මැයි මස 18 වනදා සවස් වන විට සැබැවින්ම යුද්ධය අවසන්ව තිබූ මුත් මට මෙන්ම යුධ හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට තිබූ ලොකුම ප්‍රශ්නය ප්‍රභාකරන් කොහිද? යන්නයි.

මම යුද හමුදාපතිතුමාට කතා කර කිව්වා අප උතුරේ සෑම බිමි අඟලක්ම අල්ලාගෙන අවසන් බව. නමුත් එතුමා පැවසුවේ ප්‍රභාකරන් අල්ලා ගන්නා තුරු යුද්ධය අවසන් නොවන බව. සැවොම ප්‍රභාකරන් දැක ගැනීමේ අතිමහත් උවමනාවෙන් පසුවෙද්දී හතරවන විජයබා පාබල හමුදාව විනාඩි 45 ක දිගු අභියෝගාත්මක සටනකින් පසු නන්දිකඩාල් කලපුව අසළදී ප්‍රභාකරන් මරා දමා තිබුණා.

ප්‍රශ්නය -: සමහරු කියනවා ඔහුව කොළඹට ගෙනැවිත් මරා දැමූ බවට. ඔබේ අදහස?

පිලිතුර -: එය කටකතාවක් පමණයි. එය එසේ පැවතුනාවේ. සත්‍ය නම් ඔහු මිය ගියේ සටනකදීයි. කවුරුවත් දන්නේ නැහැ ප්‍රභාකරන් එතැන සිටි බව 19 වනදා උදේ වනතුරු. එය තමා අප කළ අවසාන සටන එල්ටීටීඊය සමග.

මගේ සෙබළුන් “සර් අපි ප්‍රභාකරන් මැරුවා“ කියා ප්‍රීතිය පළ කල මොහොත, දශක තුනකටත් වඩා  සංග්‍රාම භූමියේ මෙහෙයුම් අතර සිටි සොල්දාදුවකු ලෙස මට  මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් ලෙස සටහන් කරන්න පුළුවන්.  මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් යුද්ධය අවසන් වුනේ සියලුම සේනාංකවල සේනාංකාධිපතිවරුන් නිලධාරීන් සහ සෙබළුන්  විසින් කරන ලද අප්‍රමාණ කැපකිරීම්වල නිශ්ඡිත ප්‍රතිඵලයක් මත බව. එය සාමූහික ප්‍රයත්නයක්.

ප්‍රශ්නය -: ප්‍රවෘත්තියක් තිබුණා ප්‍රභාකරන්ගේ බාල පුතු හමුදාව විසින් මරා දැමූ බවට?

පිලිතුර -: මම මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂෞප කරනවා. ශ්‍රී ලංකා හමුදාවට ඔහු අසු වූයේ නැහැ. එය වැරදි චෝදනාවක්.

ප්‍රශ්නය -: ඔබ ඔබගේ සම්පූර්ණ තාරුණ්‍යයම දේශයට සාමය ගෙන ඒම සඳහා එල්ටීටිඊ ය සමග සටන් කර ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ලබා තිබෙනවා. ඔබට දැන් මොනවද කියන්න තියෙන්නේ.?

පිළිතුර -: ඔව්… මම දශක තුනකටත් වඩා කාලයක් දැඟලා සිටි නිළ ඇඳුම ගලවා තැබුවා.  සැප්තැම්බර් 5 වනදා මම ගෙදර ගියේ ජයග්‍රාහී හමුදාවක අභිමානවත් සොල්දාදුවකු ලෙසයි. මට කවදාවත් අවශ්‍ය වුනේ නැහැ පරාජිත සොල්දාදුවකු ලෙස විශ්‍රාම ලබා ගෙදර යන්න. මම මගේ සිහිනය සැබෑ කර ගත්තා. මට මගේ පවුලේ අය සමග ගෙවන්නට සරල ජීවීතයක් තිබේවි.

මම විතරක් නොවෙයි.  සටනට අණ දුන් හමුදාව තුළ සිටින මගේ සමකාලීන සගයනුත් ඔවුන්ගේ සමස්ත තාරුණ්‍යය පුද කළේ එල්ටීටීඊ යට එරෙහිව ඝන වනාන්තරවලට වී සටන් කරමින්. විශාල කැපකිරීම්, පරිත්‍යාගයන් සහ ජීවිත පූජාවෙන් තමයි අප සාමය වෙත ළඟා වූයේ. මම සිතනවා මේ සාමය සදහටම පවත්වා ගැනීමට  දේශපාලන නායකත්වය වගකීමෙන් ක්‍රියා කළ යුතු බවට. අප සහජීවනය ගැන කතා කරනවා. නමුත් සවන් දෙන්න. ඔවුන් කතා කරන්නේ ඉඩම් බලතල,  බලය බෙදීම, පොලිස් සහ අධිකරණ බලතල ගැනයි. ඔවුන් කියනවා කිලිනොච්චි රෝහලේ අධ්‍යක්ෂවරයා ඉවත් කර එයට ද්‍රවිඩ නිලධාරියෙක් පත් කරන ලෙස. ජාතික ගීය දෙමළෙන් ගයනවා වගේ. සහජීවනයට ඔවුන් ළඟ ඉඩක් නැහැ. සාමයට එරෙහි වන උතුරේ සිදුවන මෙම වර්ධනයන් ගැන රජය තැතිගැන්මට ලක්විය යුතුයි. දේශපාලන නායකයන් ඔවුන්ගේ ඇස් ඇරවන දේවල් සේ මේවා සැලකිය යුතු අතර පුළුල් කෝණයකින් මේ දෙස බැලිය යුතුයි.

ප්‍රශ්නය -: ඔබ හිතනවාද එල්ටීටිඊ යට නැවත පැමිණීමට වේදිකාවක් ඇතිවෙමින් තිබෙන බව?

පිලිතුර -: මේ තත්වය නිසි පරිදි හසුරුවා නොගත හොත් ඒල්ටීටීඊ යට නැවත පැමිණීමට හැකියාව තියනවා. 12400කට අධික සටන්කරුවන් පිරිසක් සමාජයේ විසිරී සිටිනවා. ඔවුන් ඉතා විශාල පුනරුත්ථාපන ක්‍රියාවලියකට යටත් කර සිටියත් එයින් අදහස් කරන්නේ නැහැ ඔවුන් 100% ක්ම සාමාන්‍ය වැසියකු බවට පරිවර්තනය වන බව. නව නායකත්ව ප්‍රභාකරන් තරම් ප්‍රබල නොවුනත් සිද්ධියක් ඇතිවුවහොත් එල්ටීටීඊය නැවත් පැමිණිය හැකියි. මන්ද ඔවුන්ගේ දෘෂ්ටිය තවමත් එසේම නිසා. මම හිතන්නේ නැහැ දෙමළ දේශපාලන නායකයන් ඉඩම්, පොලිස්, අධිකරණ බලතල වලින් සෑහීමකට පත්වන පිරිසක් කියා. ඔවුන්ගේ (TNA) නයාය පත්‍රය ඊලාම් වලින් මෙපිට දෙයක් නොවෙයි.

– See more at: http://www.ft.lk/article/566048/Road-to-Nandikadal#sthash.hBcpEJH7.sMACnN9Z.dpuf

ශානිකා ශ්‍රියානන්ද විසින් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා සමග ඉංග්‍රීසියෙන් කල සංවාදයක සිංහල පරිවර්තනයයි.

පරිවර්තනය එෂාමා කාරියකරවන.

road to nandikadal

kamal gunarathne

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.