‘මේ කතාව’-සුරේඛා සමරසේන

සුරේඛා සමරසේනගේ පොත් ත්‍රිමාන හැඩයෙන් පොඩි පොතක්,
පිටු 144 යි .එක හුස්මට කියවන්න පුළුවන් readable පොතක්.
blooming a book නැත්නම් පොත පුබුදුවන්න කියන අභ්‍යාසයටත් ගැළපෙන පොතක් , කොච්චර වේගෙන් කියවගෙන ගියත් ඒ චරිත ,සිද්ධි එක්ක සංවාදගත වෙන්න බලකරන වියමනක්.
කෑගල්ලේ රත්නපුරේ පැත්තේ ගෑනුන්ගෙ මිනිස්සුන්ගෙ හාව භාව ලීලයි ,ගංසභා ගතියි ,මාන්නක්කාරකමුයි ,ඇහැට පේන්නැති රිද්මයකින් පවත්වාගෙන යන හැටියි දැනුනම මට හිතෙන්නෙ සුරේඛා කුළුදුලෙන් ම මෝරච්චි තැනකින් පටන් ගත්ත කියලයි .
ලියන හින්දම මම ත් උන්නවා ලියපුවා සංස්කරණය කරන එක මොන තරම් අමාරුද කියල .-දීප්ති දහනායක

 

සුරේඛා සමරසේන

 

ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳව හදාරන සුරේඛා සමරසේන 2007 වසරේ සිට 2010 වසර දක්වා රාවය පුවත් පතේ කර්තෘ මණ්ඩල සාමාජිකාවකව හිඳිමින් ප්‍රවෘත්ති සහ විශේෂාංග මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළාය. දකුණේ ද උතුරේ ද මිනිසුන්ගේ සැබෑ ජීවිතය සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙස 2009 දී කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පිරිනමන වසරේ විශිෂ්ටතම තරුණ ජන මාධ්‍යවේදිනියට හිමි සම්මානය ලබා ගත්තාය.

පසුව යුක්තිය වෙබ් අඩවියේ සේවය කොට ඉන් අනතුරුව නිදහස් ජනමාධ්‍යවේදිනියක ලෙසද කටයුතු කරන ඇය දැනට වෙරිටේ රිසර්ච් ආයතනයට සම්බන්ධව සේවය කරයි. දේශපාලන ලියවිලිවලින් ඔබ්බට ගොස් සිය වෙනස් ලේඛන රටාවෙන් නිර්මාණකරණයේ යෙදෙන සුරේඛාගේ ප්‍රථම නවකතාව ‘මේ කතාව’ යන නමින් ජුලි 09 වන දා මහජන පුස්තකාලයේ දී එළි දකියි.

.

මේ කතාව’ ’71, ’83 , ’89 , 2009 වැනි විවිධ ඓතිහාසික අවස්ථා පහුකරනවා. ඒ වගේම වාමාංශික ව්‍යාපාරවල කණ්ඩායම් දේශපාලනය තුළ තිබෙන අභ්‍යන්තර කරුණු සමීපව ග්‍රහණය කරගන්නවා. එක් දහස් නවසිය අසූව දශකයෙ මැද භාගයේ ඉපදෙන සුරේඛාට ඇයි අවශ්‍ය වෙන්නෙ වාමාංශික දේශපාලනය ඇසුරෙන්ම නවකතාවක් ලියන්න?

නව වම සහ පශ්චාත් වම දක්වා වාමාංශික දේශපාලනය සමග ඇයි හොඳයිකම් කියපු ගැහැණුන්ගෙ කතාවක් ලිවිය යුතුයි කියන එක මගෙ හිතේ කලක ඉඳන් තිබුණා. මම ටිකක් උස් මහත් වුණාට පස්සෙ ‘71 සිටම ඒ කලාපයේ වැඩ කරපු ගැහැනු මා එක්ක සම්බන්ධතා තිබුණා. ඒ වගේම පශ්චාත් වමේ යුගය කියන එක මට ඉතාම ළඟින් අහුවෙනවා. මේ යුග දෙකක කතන්දර දෙක එකට ගැට ගහල ගැහැණු චරිත දෙකක් ප්‍රධාන චරිත දෙකක් බවට පත් කරල මමත් ඒකෙ චරිතයක් බවට පත්වෙමින් පරිපූර්ණ මනංකල්පිතයක් ලෙස නොවන අර්ධ සත්‍යයක් හැටියට එළිදරව් කරන්නෙ, මට ඒක කියන්න ඕන වෙච්ච නිසා. ඒක ඇතුළෙ කිව යුතුයැයි හැඟුණු, බොහෝ විට පිටත සමාජය නොදන්නා ඒගොල්ලන්ට වැහිල තියෙන කලාපයක සිද්ධ වෙන දේවල් පිළිබඳව කතාවක් මට කියන්න ඕනෙ වුනා. ෆ්‍රීඩා ‍කාලෝ කියනවනේ මම හිතලු ඇන්දෙ නෑ මම හොල්මන් ඇන්දෙ නෑ මම ඇන්දෙ මගේ ජීවිතේ කියලා. මමත් එහෙමයි. මට කතා ගොතන්න පුලුවන්. මම ඒකට ආසයි. ඒක වෙනම දෙයක්. නමුත් මට කතාවක් කියන්න පුලුවන් අමුද්‍රව්‍ය ඇත්ත තුළ තිබුණා. ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා. ඒ ඇත්ත කතාව එකතු කරගෙන මම කතාවක් ගෙතුවා. එහෙම තමයි මේ කතාව හැදෙන්නෙ. ඉතිං මම හිතනවා මට ඇසුරු කරන්න නොලැබුණ කලාපයේ කතාවක් අඩුපාඩු නැතුව ලියවුනා කියලා. මොකද ඒ ගැහැනු අදත් මගේ හොඳ මිතුරියෝ. වයස් භේදයකින් තොරව ඒගොල්ලො මා එක්ක ගනු දෙනු කරනවා ඉතිං මට මේ කතාව ඉතාම වගකීමෙන් හෙළිදරව් කරන්න පුලුවන් කමක් ලැබුණා.

ඒ කියන්නෙ මේක ප්‍රබන්ධයට වඩා ළඟ සත්‍යයට?

ඔව්, අනිවාර්යයෙන්ම.

මේ කතාව ඇතුළෙ ඔබ දේශපාලනයේ රන් දෙවොල්වලට ගිනි තියනවා. රියන් ගණන් උස ප්‍රතිරූපවල බොරු කකුල් ගලවනවා කිව්වොත් හරිද?

ඔව් ඇත්තටම. මේ පොතේ එක තැනක කියනවා , “සැබෑ නායකයින් සිටින්නේ කොහේද? එහෙම අය ඉන්නවද? මාර පක්ෂ තියෙන්නේ කොහේද? එහෙම ඒව තියෙනවද?”දැන් ඇත්තටම කිව්වොත් අපි ප්‍රධාන ධාරාවට නෙවෙයි විකල්පයටනෙ කැමති වෙන්නෙ. පත්තරවලින් අපි කැමති වෙන්නෙ විකල්ප පත්තර වලට. පක්ෂ වලිනුත් අපි කැමති වෙන්නෙ විකල්ප පක්ෂවල හෝ කණ්ඩායම් වලට. මේ ප්‍රධාන ධාරාවේ නැත්නම් මහා එකත් එක්ක දේවල් එක්ක ගනුදෙනු කරන්න බැරිව ගිය, ටිකක් ඒකෙන් පිටට පැනපු අය වන අපට යම් කාලෙකදි විකල්ප ඒවා මාර දේවල් විදිහට පෙනුනා. මම හිතනවා හරිම ආකර්ෂණීයයි නව පරම්පරාවකටත් සහ මේ අලුත් පරපුරට අලුත් වර්ගයේ පරපුරට අලුත් ගනයේ පරපුරට ඉදිරියටත් හරිම ආකර්ෂණීය වෙනවා. හැබැයි එහෙම වෙලා ඒ අය ඒකට ඇතුල් වුනාට පස්සෙ දකින්න පුලුවන් වෙන දේවල් තමයි මේ කතාවෙ තියෙන්නෙ. මමත් එහෙමයි. එතකොට අපි මාර පුරුෂයො සහ මාර මිනිස්සු කියල දැකපු අය ළඟින් ඇසුරු කරන්න පටන් ගත්තට පස්සෙ ඒක එහෙම නෙවෙයි කියල හිතෙනවා. කණ්ඩායම් තුළ තියෙන පුරුෂාර්ථ ඉවර වෙනවා. මහත්මා ගාන්ධි ලංකාවෙ අපට මාර මැජික් එකක් වෙන්න පුලුවන්. හැබැයි මහත්මා ගාන්ධි වුනත් ළඟින් ඇසුරු කරපු කෙනෙකුට ඊට වඩා වෙනස් අත්දැකීම් තියෙන්න පුලුවන්.

මට ඕනෙ වුනේ මේ කතාව කියන්න. මම හිතා මතා මා අතේ තියෙන ආයුධ වලින් ඒවට පහර දුන්නා. මම ඒක කළේ දැනුවත්ව. මට අතට අහුවෙච්ච ගල් වගේම මට මේවට සාක්ෂි දෙන මේ පොත ඇතුළෙ ඉන්න මගේ පාත්‍ර වර්ගයා මගේ අතට ඇහිඳලා දුන්න ගල්වලින් මම ඒවට ගැහුවා. සමහර අයට රිදෙන්න පුලුවන්. මම රිද්දුවා ප්‍රතිරූප වලට. මම ඒක පිළිගන්නවා.

මේ කතාවෙ’ වලව්වෙ වැඩ කරන කානම්මගෙ ඉඳන් වැඩවසම් වලව්වක මිණිබිරිය අරුන්දතී බණ්ඩාර වෙනකම් ගැහැනු ලිංගිකව පාවිච්චි වෙනවා. අනෙක් අතට මොහෙට්ටාලලා වගේ වංශවත්තු සහ රාළ ලා වගේ දාස කම් කළ කොළඹින් දුර බැහැර සාමාන්‍ය පිරිමින්ගෙ ඉඳන් වාමාංශික ප්‍රතිපත්ති ගරුක නායකයින් වන නිහාල් ලා සහ විකුම් ලා දක්වා කරන්නෙ ගැහැනු ලිංගිකව පාවිච්චි කරන එක. මේ හැමෝම කරන්නෙ එකම දේ නේද?

ඒ ප්‍රශ්නයට මම ඉතාම කැමතියි. මේක මට කියන්න ලැබෙන එක හොඳයි. මම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මම ඒක හිතා මතා කරපු දෙයක්. මට ඕනෙ වුනා කියන්න පක්ෂයක නායකයෙක් වෙන නිහාල් , දේශපාලන කණ්ඩායමක නායකයෙක් වෙන විකුම් අර ගමේ ගොඩේ දාඩිය කුණු ගඳ ගහන ගස් නගින රාළට වඩා වෙනස් වෙන්නේ කොතනින් ද? ඒ වගේම අර මොහොට්ටාල කියන වලව්වක හිටපු පරම්පරා හයිය අරගෙන ගමක් පාගගෙන හිටපු සුළු ධනේෂ්වර තක්කඩියාට වඩා වමේ නායක නිහාල් වෙනස් වෙන්නෙ කොතනින්ද ගැහැනුන් අරභයා? ගැහැනුන් අරභයා හැසිරෙන කොට රාළ සහ නිහාල් සමාන වෙනවා. මොහොට්ටාල සහ විකුම් සමාන වෙනවා. මට මේ මේ සමාන භාවය කියන්න ඕනෙ වුනා. යම් තැනකදි ගැහැනුන් සම්බන්ධව ඒ අයගෙ ක්‍රියාකලාපයන් එකිකෙට වෙනස් වෙන්නෙ නෑ. ඇඳක බැඳ දාපු ගැහැනියකට අතවර කරන්න පුලුවන් වෙන රාළ වගේ මිනිහෙක් වගේම – විප්ලවීය පිරිමියෙක් ආතක් පාතක් නැතුව අම්මා තාත්තා නැතුව ගෙයක් නැතුව අසරණ වෙන , පක්ෂය තුළ හැදෙන ගැහැනු දරුවෙක් ව ලිංගිකව අයථා පරිහරණය කරන්න පටන් ගන්නවා. මට මේ සාම්‍යය පැහැදිළි කරන්න ඕනෙ වුනා. ඒවා වෙනස් වෙන්නෙ නෑ. සර්පයොත් එක්ක ඉන්න ඒ පිරිමි වෙනස් වෙන්නෙ නෑ. තමන්ගෙ කියවීම ඇතුළෙ හෝ තමන්ගේ දේශපාලනය ඇතු‍ලෙ හෝ වෙනස් වෙන්න ඒගොල්ලන්ට හික්මීමක් ලැබිල නෑ. මට ඒකයි කියන්න ඕනෙ.

සුරේඛා මේ කතාව ලියන්නෙ අවුරුදු තුනකට කලින්. එය ’71 සිට 2012 දක්වා කාලයක් ආවරණය කරනවා. මේ කටුක තත්ත්වය ගැහැනුන් විෂයෙහි අදටත් වලංගුයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

අනිවාර්යයෙන්ම හිතෙනවා. අපි හිතමු ‍ඓතිහාසික කතාවක් ඇතුළෙ අපි ගැහැනු චරිතයක් ප්‍රතිනිර්මාණය කළොත් – උදාහරණයක් විදිහට අපි කියමුකො කුවේණි කතාව කියලා. කුවේණිය නැත්නම් රිද්දිය කියන ඒ චරිත අදටත් අපි දකිනව. කොච්චර ඓතිහාසික වුනත් ඒ ගැහැනියගේ කතන්දරය එක හා සමානව අදටත් අපි අත්දකිනවා. එතකොට මේ කණ්ඩායම් දේශපාලනයේ සහ නව වමේ දේශපාලනයේ ගැහැනිය තාමත් මේ වගේ දේවල්වලට අඩු වැඩි වශයෙන් මුහුණ දෙනවා. මම යම් කිසි විදිහකට ඒ කොටසින් අයින් වෙන්නේ යම් සේ ද – මම එතන හිටියේ අවුරුදු දහ අටේ විස්සෙද තවත් දහ අටේ විස්සෙ කෙනෙක් එතනට ඇවිල්ලා ඒ අඩුව පුරවමින් ඉන්නවා . මම ඒක දකිනවා. මම මේක අරුන්දතීලගෙ පරම්පරාවට පිදුවට ඇත්තටම ඒක අනාගතයේත් ඔය කියන කලාපයේ ගැහැනුන්ට ඔප්පු වෙච්චාවෙ කියල කියන්න පුලුවන්. ඒක ඒ අයටත් අදාළයි.

එතකොට ගැහැනියට පාවිච්චි නොවී දේශපාලනය කරන්න බෑ කියලද ඔබ කියන්නෙ?

ඒක හොඳ ප්‍රශ්නයක්. ගැහැනියට පාවිච්චි නොවී දේශපාලනය කරන්න බැරිද? පාවිච්චි වෙනව කියන්නෙ ලිංගිකව විතරක් නෙවෙයි. එයාට දෙන වැඩ කොටස, ඒ කියන්නෙ තීරණාත්මක තීන්දු තීරණ ගන්න තැන්වලටද එයා වැටෙන්නෙ? එහෙම නැත්නම් සංවිධාන කටයුතු සහ උයන පිහන දේවල් තේ හදන දේවල්වලට ද එයාව කොටුවෙන්නෙ.. ? මේ කියන ප්‍රශ්නය මට දිගටම තිබුණා. උදාරණයක් විදිහට යම් කිසි කණ්ඩායමක් ඇතුළෙ දේශපාලනය කරන මට ‘බත් අම්මා’ කියල නමක් පට බැඳෙනවා. මේ නම මාරයි. ඒක මට ලැබිච්ච සම්මානයක් වගේ. මම කල්පනා කරනවා ඇයි මෙහෙම කියන්නේ කියලා. ගැහැනු කම කියන කාරණේදී අපිට අනාදිමත් කාලයක් ඉඳන් ජාන ගතව එනවා තමන් ඇසුරේ ඉන්න කාට හරි තේ එකක් හදල දෙන්න බත් ටික්ක උයල දෙන්න කවන්න දරුවට කිරි ටික පොවන්න පුරුද්දක්. මේ එන හුරුව නේද මේ දේශපාලනිකව පාවිච්චි කරන්නෙ?

මට අහන්න ඕනෙ මේකයි. ගෙදරක අම්මාගේ නැත්නම් ගෘහණියගේ භූමිකාවම පක්ෂයක් ඇතුළෙත් රඟපාන්න ඕනෙද? ඒ කියන්නෙ එයාට තියෙන්නෙ තේ අල්ලන්න විතරද? මේ කරුණු මගෙ ඇතුළෙ පැසවන්න ගන්නවා. ඒ කියන්නෙ එතන ඉඳන්ම පාවිච්චි වෙනවා. ඊළඟට ලිංගිකව. ඊටත් පස්සෙ පහර දෙන්න ගන්නවා. පහර දෙන්න ගත්තහම ඉතාම නරක විදිහට මේ ගැහැනුන්ට පහර දෙනවා මේ පිරිමි. තමන්ගේ දේශපාලනික විවේචනයක් හෝ කවර හෝ හේතු මත- තමන් ලිංගිකව පරිහරණය වෙනවා කියල දැනුනම කාලය නාස්ති කරනව කියල දැනුනම එයාලා අයින් වුනොත් , එයාලට පහර දෙන්න පාවිච්චි කරන ආයුධ බලන්න… මේ දේවල්වලට මට විරෝධයක් තිබුණා.

ඇත්තටම මට කියන්න… මම මේක ඔබෙන් නෙවෙයි මේ සාකච්ඡාව කියවන අයගෙන් අහන්නෙ, පාවිච්චි නොවී වමේ දේශපාලනය කරන්න පුලුවන් වුන කාන්තාවක් මට කියන්න කියලා. විවියන් ගුණවර්ධන වැනි චරිත පෙර වමේ දි අපට මුණ ගැහෙන්න පුලුවන්. හැබැයි ඉන් පස්සට නව වමේ දේශපාලනය සහ කණ්ඩායම් දේශපාලනය ඇතුළෙ හඬක් හැටියට නැගී හිටපු සහ නායකත්ව තලයට ආපු ගැහැනු කවුද? පාවිච්චි වීම හැර වෙන මොකක්ද ඒගොල්ලන්ට වුනේ? ඒ අතර වෙනස් වෙන අය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. නමුත් වෙනස් අයගෙන් වැඩි පිරිස තමන්ගෙ පෞද්ගලික සුභ සාධනය හදා ගත්තා විනා දේශපාලනිකව කාර්යයක් කළේ නෑ. ඒගොල්ලො දේශපාලනය කරා කියනවට වඩා මම කැමතියි වෙන විදිහකට ඒක දකින්න… මේ පොතේ ඉන්නව චරිතයක් අඟුණකොලපැලැස්සෙ ඉඳල ඇවිත් දේශපාලනයේ ගෑවිලා යුරෝපයට යනවා ඉගෙන ගන්න. ඒ වගේ චරිත ඉන්නවා. ඒගොල්ලන් නම් සමහර විට පිරිමිත් පාවිච්චි කරගෙන ඉස්සරහට ගිය අවස්ථා තියෙන්න පුලුවන්. ඒ අය ගැන නෙවෙයි මම කියන්නෙ. මම වගකීමෙන් කියනවා අනෙක් පොදු ගැහැනු ගත්තම පාවිච්චි වෙනවා හැර වෙන දෙයක් වෙන්නෙ නෑ කියලා.

තව දුරටත් මේ ගැන කතා කළොත් ගැහැනියට තෝරා ගැනීමක් ඇත්තෙම නැද්ද? පිරිමියා සියල්ලට වග කිව යුතු වෙන අතරේ ගැහැනිය තම බුද්ධිය සහ මනස පාවිච්චි නොකරනවා කියන එකද අදහස් වෙන්නේ?

අපි පොදුවෙ බලමු. ගැහැනු පිරිමි දෙගොල්ලම සමෝ සමේ ගත්තම ඒ කවුරුත් යම් යම් තැන්වලදි – විශ්ව විද්‍යාලෙදි වෙන්න පුලුවන් විප්ලවය කියන් දේට සම්බන්ධ වෙන්නෙ යම් යම් හේතු කාරණා හින්දා. ඒක වෙන්නෙ තෙල් බැම්මෙදි වෙන්න පුලුවන් ගමේ බෝක්කුවක් උඩදි වෙන්න පුලුවන්. ඒගොල්ලන්ට මේ බෞතීස්මය හෙමිහිට හෙමිහිට ලැබෙනවා. ලැබිලා ඒ අය මේ කණ්ඩායම්වලට සම්බන්ධ වෙනවා. ඒ තුළ එයාලගෙ දැඩි වුවමනාවක් තියෙනවා යමක් කරන්න. මම පොතේ යම් තැනක කියනවා ‘මේවා අවජාතක අහම්බයනුත් නොවෙයි… ‘ කියලා හැබැයි මේවා ටිකක් විතර කෘතිමයි. තව කවුරුහරි කියන දේකින් නැත්නම් සමාජය ඇසුරින් තමයි මෙවැනි දේට අනුයෝජනය වෙන්නෙ. ගැහැනියත් එහෙමයි. කසාද බැඳල ළමයෙක් හදාගෙන පැත්තකට වෙලා ඉන්නෙ නැතුව… තියෙන ක්‍රමය වෙනස් කරන්න සහ වෙනස් වෙන්නනෙ ඕනෙ.

මේකෙදි තමයි මේ අය අර කියන ගොඩට වැටෙන්නෙ. ඒ වැටුනට පස්සෙ යම් විදිහකට එහෙම වෙන පිරිමි ගැහැනු දෙගොල්ලන්ටම මම මේ මොකක්ද කරන්නෙ කියන ප්‍රශ්නෙට මූණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි එතනදි ස්ත්‍රියට සුවිශේෂී වු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක හරියට දේශපාලකයින්ට ඡන්දෙ දෙන දෙමළ සිංහල මුස්ලිම් මිනිස්සු ගත්තොත් දෙමළ මිනිස්සුන්ට සුවිශේෂී වූ ප්‍රශ්න තියෙනවනෙ. ඒ වගේම මේ කණ්ඩායමේ කාන්තාවන්ට සුවිශේෂී වෙනත්ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් පූර්ණ කාලීන සාමාජිකාවක වන ගැහැනියකගේ ප්‍රශ්න පූර්ණ කාලීන වන පිරිමියෙකුගේ ප්‍රශ්නවලට වඩා වෙනස් වෙන තැනක් තියෙනවා. ඒ කාරණය තමයි මම පොතෙන් මතු කරන්න උත්සාහ කරන්නෙ. එතකොට ඒකට තමන්ම වග කියා කියන්න ඕනෙ කියන්න අමාරුයි. මොකද ඒක පුද්ගල ප්‍රශ්නයක් නෙවෙයි. පුද්ගල මට්ටමේ ගැටළු තියෙනවා කාටත්. නමුත් ඊට අමතරව ඒ කණ්ඩායම් සංස්කෘතියේ දේශපාලන සංස්කෘතියේ කාන්තාවට ඇතිවන ප්‍රශ්න තියෙනවා. එතකොට ඒක පොදු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන සවිඥානිවක වෙන්න කියන ආමන්ත්‍රණය දෙන්න තමයි මට ඕනෙ වුනේ.

වෙනත් පැත්තකට මේ කතා බහ යොමු කළොත් , ‘මේ කතාව’ වගේ දිග කතාවක් ඔබ කියන්නෙ කෙටියෙන්. ඒකට හේතුවක් තියෙනවද?

මේකෙ ආකෘතිමය වෙනස්කම් තියෙනවා සහ මම කතාව ඉතාම කෙටියෙන් කියනවා. මම අවුරුදු තුනකට කලින් මාස තුනක් ඇතුළත මේ වගේ දෙගුණයක් දිග කතාවක් තමයි ලිව්වෙ. හැබැයි අවුරුදු තුනකට පස්සෙ මුද්‍රණයට දෙද්දි මට හිතුණා නෑ මම මේක තව ටිකක් හින්දනවා කියලා. මම එතකොට මේ කතාව බාගෙට බාගයක් හින්දනවා. මට ඕනෙ වුනා මේක පැය දෙකකින් වගේ කියවන්න පුලුවන් කතාවක් බවට පත් කරන්න. කාටත් වෙලාව හදාගෙන කියවන්න පුලුවන් විදිහට. හැබැයි වැදගත්ම කාරණේ තමයි ආකෘතිමය වෙනස් බව සහ ඉතා ඉක්මණට එක හුස්මට කියවල ඉවර කිරීම ඇතුළෙ මට ඒගොල්ලන්ට පීඩනයක් දෙන්න ඕනෙ වුනා. පාඨකයා මේක ඇතුළෙ ඕනෙවට වඩා රස්තියාදු වෙලා ඒ චරිත එක්ක ඕනවට වඩා කුළුපග වෙලා ඒව එක්ක ඕනවට වඩා බද්ධ වෙලා කාලය මරනවට වඩා මට ඕනෙ කළා පාඨකයාව හිතීමේ කාර්යයට යොමු කරන්න. මම දන්නෙ නෑ ඒක ඒ විදිහට වෙයිද කියලා. ඒත් මට හිතෙනවා මම පාඨකයාව සහභාගි කරගන්න උත්සාහ කරනවා කියලා. ‘එහෙම වෙන්න ඇති’ කියල කියන කොට එයාලට හිතෙනව ‘එහෙම වෙන්න පුලුවන්ද එහෙම නැත්නම් එහෙම නොවෙන්න පුලුවන්ද? ‘ කියල. අනිත්කාරණය මේක ඓතිහාසික නවකතාවකුත් නෙවෙයිනෙ. වර්තමානයට ගෝචර වෙන කතාවක්නෙ. ඒ නිසා මට එයාලවත් සම්බන්ධ කරගෙන ඉක්මනින් කෙටියෙන් ඒත් බරක් ඇති කතාවක් කියන්නයි ඕනෙ වුනේ. ඒක අර්බුධකාරී හෙළිදරව්වක් වුනත් කියවන්න පහසුවෙන්න මේ ක්‍රමය උපකාරී වෙනව කියල මම හිතනවා.

නමුත් මම ඊළඟ නවකතාව ටිකක් දිගට ලියන්නයි හිතාගෙන ඉන්නෙ. ඒක ටිකක් වෙනස් කතාවක් වේවි.

සුරේඛා මේ පොතේ ලියන්නෙ තමන්ට මුණ ගැහෙන ගැහැනු ජීවිත ගැන. අතිශයෝක්තියට නො නගාම කිව්වත් ඒ අතිශය කටුක වූ වේදනාවන් ගැන. ඔබ ස්ත්‍රීවාදී කෝණයකින් ලියන බව වෙනත් සාකච්ඡාවකදිත් කියා තිබුණා. ගැහැනියකගේ ජීවිතය කෙසේ විය යුතුයි කියලද ඔබ හිතන්නෙ?

වර්තමාන ලංකාවේ සමාජ දේශපාලන යතාර්ථයට සාපේක්ෂව බැලුවොත් ගැහැනු පිරිමි හැමෝගෙම ජීවන මට්ටම මීට වඩා උසස් විය යුතුයි කියන එක තමයි මූලිකම දෙය. ඒ අයගේ සිහිනවල මට්ටම- ඒ අයගෙ සිතුම් පැතුම්වල මට්ටම තව උසස් විය යුතුයි. මේක පොදුවෙ අපි රටවලට පොදු කාරණයක්. නමුත් ලංකාව ඇතුළෙ ගැහැනියකගේ තත්ත්වය බැලුවොත් මට නැවතත් කියන්න වෙන්නෙ ගැහැනියට සුවිශේෂී වූ ප්‍රශ්න තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් ලංකාවේ දේශපාලන කණ්ඩායම් තුළ ස්ත්‍රිය විසංයෝජනය කරන්න තියරි හොයනවනෙ. ස්ත්‍රියගේ ප්‍රශ්න ගැන ඒගොල්ලන්ට තියෙනවනෙ වෙනවෙන දාර්ශනික කියවීම් ටිකක්. හැබැයි මම තියන්න උත්සාහ කරන්නෙ ඒ ස්ත්‍රීවාදී පිරිමින් පමණක් නෙවෙයි සමහර ස්ත්‍රීවාදී ගැහැනුන් පවා දැකගත යුතු දැනගත යුතු තවත් සුවිශේෂී වූ කාරණාවන් තියෙනවා ලංකාවෙ ස්ත්‍රිය සම්බන්ධව. නමුත් ‘මේ කතාව’ ඇතුළෙ ලංකාවේ සමස්ත ස්ත්‍රිය ගැන කතා කරන්නෙ නෑ. එක කොටසක් පිළිබඳව විතරයි මේ කතා කරන්නෙ. දේශපාලනික වෙන ස්ත්‍රිය, වමේ දේශපාලනයට එන ස්ත්‍රිය ස්ථානගත විය යුතුයි කියල හිතන තැන ගැන මගේ අදහස තමයි ඒ තැන ඒ අයට ලංකාවෙ නැහැයි කියන එක. මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ලෝකයේ අනෙක් රටවල වමේ ව්‍යාපාරවලට සාපේක්ෂව ටිකක් විතර දරුණුයි කියන එක. ඒ ඇසුරු කිරීම හරි අමාරුයි. කොච්චරද කිව්වොත් මේ ගැහැණුන් නවතින තැන් බැලුවොත් මේකෙන් ගැලවිල පැන ගන්න එක්කෙනක් දෙන්නෙක් හැර අනිත් අය අත්පත් කරගෙන තියෙන තැන අතිශය ඛේදජනකයි. මේ ව්‍යාපාර ගැහැනුන්ව දරාගත්තේ නෑ කියන එකයි මගේ මතය.

ඒ ජීවිතවලට වගකියන්න කෙනෙක් නෑ…

ඔව්. මිනිස්සු දහයක් පහළොවක් හිටියත් අන්තිමට එක මිනිහෙක්වත් නෑ. එයාලට දරුවො නෑ. ඒගොල්ලො ඉගෙන ගෙන නෑ. ඒගොල්ලන්ගෙ අධ්‍යාපනය යම් කාලෙක නැවතිලා තියෙනවා. ආපහු ගිහිල්ලා අර මහ සමාජය ඇතුළෙ ඉන්න අමාරුයි. අනිත් එක ඒ වගේ දේශපාලන ව්‍යාපාරයකින් අයින් වෙන පිරිමියෙක් දිහා බලන විදිහට නෙවෙයි ගැහැනියක් දිහා බලන්නෙ. පිරිමියෙකුට පුලුවන් කොණ්ඩෙ රැවුල කපලා ආණ්ඩුවෙ රස්සාවකට යන්න. හැබැයි ගැහැනියකට ඊට වඩා අමාරුයි සමාජයට අනුගත වෙන්න.

මේ ප්‍රශ්නයට අදාළව උතුරේ සහ දකුණේ වෙනසක් දකිනවද?

අපි දකිනවා උතුරෙත් විකල්ප දේශපාලනයක් තිබුණා. දෙමළාගේ දේශපාලන ප්‍රශ්නය පිළිබඳව පෙර කියවීම සහ පසු කියවීම, විප්ලවකාරී පසු මැදිහත්වීම ඇතුළෙත් අපි දකිනවා කාන්තා චරිත මතුවෙනවා. දකුණෙ නව වමේ සහ කණ්ඩායම් දේශපාලනය තුළ ගැහැනුන් නායකත්වයත් සමඟ මතු වෙලා එන්නෙ නෑ. ඒ ප්‍රශ්නය ගැන මගෙන් එක මෙහොතක අහනවා ලංකාවේ ඉඳලා පසුව යුරෝපයේ ජීවත් වෙල පසුව ලංකාවට පැමිණි වැඩිහිටි මනුස්සයෙක්. එයා අහන්නෙ “මෙහෙ කාන්තාවො දේශපාලනයට සම්බන්ධ වුනේ නැද්ද?” කියලා. එතකොට මම මේ ලියවිල්ල ලියල ඉවරයි. ඒ වෙලාවෙ මට හිතෙනව මේකටත් උත්තරයක් මේක ඇතුළෙ තියෙනව නේද කියලා. කොටි සංවිධානයේ හිටි කාන්තාවන් තමන්ගෙ අත්දැකීම් පොත්වලට නගල තියෙනවා . නමුත් මම හිතනවා දකුණෙ රැඩිකල් දේශපාලනය තුළ කාන්තාවගේ තත්ත්වය ඊට වඩා නරකයි කියලා. හින්දු සමාජය කාන්තාව තියනවට වඩා වෙනස් තැනක යි එයාලගේ විප්ලවීය ව්‍යාපාරය කාන්තාව තියන්නෙ. ඇඳුම පැළඳුම පවා වෙනස්. දකුණෙත් එහෙම හිටියා. ඒත් නායිකාවො බිහිවුනේ නෑ.

මම හිතනවා උතුරට වඩා දකුණේ ව්‍යාපාර ඇතුළෙ ගැහැනියව තලා පාගා දැම්මා කියලා.

www.mirrorgirl.lk

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.