මෛත්‍රිට වැරද්දුවේ ඇමති ගයන්තද?

Gayantha Karunathilakeපෙරළිකාර කතාවෙන් පසු ජනාධිපති සිරිසේන මහතා තමන්ගේ ස්ථාවරය පැහැදිලි කොට සිදුවූ හානිය පාලනය කර ගැනීමේ උත්සාහයක යෙදෙන බවක් දක්නට ලැබේ. දැන් බැළු බැල්මට වැරදිකරු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලකයි. පසුගිය කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ දැන්වත් මාධ්‍ය පාලනය කරගන්න යනුවෙනි. ජනධිපතිවරයාගේ තර්කය වුයේ තමන්ගේ කථාව වැරදි ආකාරයට වර්හ කොට තිබුන බවයි.

මෙය කැකිල්ලේ නඩු තීන්දුවට සමාන කථාවක් බව සිතු ගයන්ත කරුනාතිලක ඇමතිවරයා මඳ සිනාවක් පා නිහඬ වුන විය හැකිය. අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විවිධ චෝදනා පරීක්‌ෂා කිරීම සඳහා හිටපු ආරක්‌ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳව තම අප්‍රසාදය පළ කරන බවත්, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ කථාව හේතුවෙන් ස්වාධීන කොම්ෂන් සභා වල සාමාජිකයින් කීප දෙනක් හෝ ඉල්ලා අස්වුයේ නම් තත්වය තවත් බරපතල වීමට ඉඩ තිබුනි.

මේ වන විට ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති තර්ක මෙසේය.

  • ඇමති පවුසිට නඩු දානවා නම් මුළු කැබිනට්‌ මණ්‌ඩලයටම නඩු දාන්න ඕනේ.
  • ආයතනවල ස්‌වාධීනත්වයට අපෙන් කිසිම අභියෝගයක්‌ නැහැ.
  • හමුදාපතිවරු පදක්‌කම් එක්‌ක කුඩුවට දාලා පින්තූර ගත්තා. මේවා ලෝකේ පුරා ගියා.
  • දහනම වෙනි සංශෝධනය සම්මත කර ගන්න මම කරපු දේවල් මමයි දන්නේ.
  • මාව විවේචනය කරන අය මගේ කතාව සම්පූර්ණයෙන්ම කියවලා නැහැ.
  • මේ ආණ්‌ඩුව යල් පැනපු, කල්පැනපු විකුණගන්න බැරි බඩුවක්‌ නෙමෙයි.

මේ තර්ක සඳහා මාධ්‍ය සහ සිවිල් සමාජ වෙතින් ප්‍රති තර්ක ගනනාවක් ඇත .ඒ තර්ක සැකෙවින් මෙසේය.

  • ජනාධිපතිවරයාගේ කථාව වැරදියට වාර්තා කළ නම් ඒ පිළබඳව පියවර නොගන්නේ මන්ද?
  • ඇමති පවුසිට නඩු දානවා නම් මුළු කැබිනට්‌ මණ්‌ඩලයටම නඩු දාන්න ඕනේ යන්නෙන් ජනානධිපතිවරයා අදහස් කරන්නේ කවර කොන්දේසියකට හෝ යටත්ව පාර්ලිමේන්තු බලතුලනය ආරක්ෂා කර ගැනීම සඳහා නිහඬව සිටීය යුතු බව නොවේද? අනෙක් අතට එසේ කිරීමෙන් යහ පාලනය රැකගත හැකිවෙයිද?ඩෙන්මාර්ක්
  • ආයතනවල ස්‌වාධීනත්වයට අපෙන් කිසිම අභියෝගයක්‌ නැති බව පැවසුවද ආයතනයක ක්‍රියාකලාපය විධායකය විසින් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කල් පසු එහි නිලධාරීන්ට නිදහසේ කටයුතු කළ හැකිද යන්න ප්‍රශ්නයකි.අනෙක් අතට මුල්‍ය විමර්ශන දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන බව දැනගන්නට තිබුනේ නම් ඒ පිළබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු නොකොට අදාළ ආයතන ප්‍රධානින් හා සාකච්චා කිරීමට ඉඩ තිබින.එසේ නොකිරීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා තම දේශපාලන අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවයි.
  • හමුදාපතිවරු පදක්‌කම් එක්‌ක කුඩුවට දාලා පින්තූර ගැනීම සම්බන්ධයෙන් මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ ඔවුන් පදක්කම් පැළඳගෙන විමර්ශන අවස්ථාවට සහභාගී වුයේ මන්ද යන්නයි.අනෙක් අතට සුපිරි පදක්කම්ලාභියෙකු වූ සරත් ෆොන්සේකා කුදලා ගෙන යන විට දැන් කම්පාවට පත්ව සිටින පිරිස කොහි සිටියේද යන්නයි.

ජනාධිපතිවරයාගේ කථාව පිළබඳව අදහස් පළ කරන වඩා මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ ජනාධිපතිවරයා විවේචනය කරනවා වෙනුවට ඔහු මේ කථාව කීරීමට තුඩුදුන් හේතු සාධක විමසිය යුතු බවයි.

ජනධිපතිවරයා ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ඇති සහයෝගයය අඩුය.තීරණාත්මක මොහොතක එක්සත් ජාතික පක්ෂයෙන් ලබාගත හැකි සහයෝගය පිළබඳව විශ්වාසයක් නැත. අනෙක් අතට තවත් වාරයක් සඳහා ඉදිරිපත් වීමේ අදහස පෝෂණය කරන පිරිසක් ජනාධිපතිවරයා වට කොට ගෙන සිටිති.

මේ තත්වය හමුවේ ජනාධිපත්වරයා දේශපාලන හුදෙකලාවකට පත්වීම අරුමයක් නොවන බව මධ්‍යස්ථ විචාරකයින් පෙන්වා දෙති. මේ හුදෙකලාවට පිළියම් නොසොයා හුදෙක් ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් පමණක් යහපාලනය පවත්වා ගත නොහැකි බව මේ පිරිස පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.