මොනාලිසා සිපගතිමි

 

mona-lisjpg

 

සේන්   ගඟ දකුණ ඉවුර දිග පිහිටි පුංචි කෝපි කඩේට ඇතුල් වෙනවාද නැද්ද යන්න පිළිබද හිත හදාගන්න අසිරුයි. පැරීසියේ නොත්ත්‍රදාම් පල්ලිය අවට සැරි සැරීම නිසා කකුල් කෙඩෙත්තුව දැනෙනවා. කෝපි කඩේ යුවතියගේ සිනාවත් සුන්දරයි.

ඒත් සීත සමය එළඹ තිබෙන හෙයින් හිරු කඩිමුඩියේ රාජකාරිය  හමාර කොට නික්ම යන්න සූදානම් වෙන්නේ කෞතුකාගාරය වැහෙයිද කියන බිය හිතට ඇතුල් කරමින්. මේතාක් දුරගෙවා හමුවීමට ආ  ඒ සුන්දර යුවතිය නොබලා ආපසු යන්න සිදුවේද යන්න සැකය සිත වෙලා ගන්නවා. පය ඉක්මන් කරමි. ඒ සමයේ  ප්‍රංශය ලුවර් කෞතුකාගාරයට ඇතුල්වීමට ගාස්තුවක් අය නොකල හෙයින් ත්‍රිකෝණයක් වන් වු වීදුරු වැස්මක් තුලින් පහලට බැස ගතිමි. (දැන් ගාස්තු අය කරනවාද, නැද්ද යන්න නොදනිමි.)

ඒ සුන්දර යුවතිය මා එනතුරු බිම් මහලේ බලා හිදිනු ඇත. බැලූ බැලූ අත සිතුවම් සහ ප්‍රදර්ශණ භාණ්ඩය. ඒ සියල්ල විමසා බලා යායුතු තැන  සොයා ගැනීමට තරම් ඉස්පාසුවක් නැත. පිළිගැනීමේ නිළධාරිනි වෙත ලගාවෙත්ම ප්‍රශ්ණය අසන්නටත් පෙර මා සොයන්නේ කුමක්දැයි ඇය වටහා ගත්තීය. මොනාලිසා චිත්‍රයද, ඔව් ඊළග මොහොතේ පුංචි චිත්‍රයක් වටා කැරකෙන සිය ගණනක් අතර මමද තෙරපුණෙමි. සුවිසල් චිත්‍ර හා භාණ්ඩ, හරියට කියතොත් 7000ක් පමණ ඇති තැනක මේ කුඩා චිත්‍රයට  මෙතරම් වැදගත් තැනක් ලැබී ඇත්තේ ඇයි. මොනාලිසා  චිත්‍රයට ලැබී ඇති ප්‍රචාරය හේතුවෙන් සිතුවමට වඩා දැවැන්ත ප්‍රතිරූපයක් අපේ සිත තුල  පැලපදියම් වී ඇතැයි ක්‍ෂණයකින් මට සිතුනි. එහෙත් එහෙම තර්ක කරන්න එපා යැයි  සිතේ තව පැත්තක්  කියා සිටි.බොරු තර්ක කරන්නැතුව  අර සුන්දර සිනහව විදගනින් මිනිහෝ යැයි හිත බල කරයි.ඇති තරම් ඇය දෑසින් සිප ගතිමි.

ලියනාඩෝ ඩාවින්චි විසින් 14 වන සිය වසේදි පොප්ලර් රෙද්දක් මත තෙල් සායමෙන් කල ඒ සිතුවම දැන් මදක් අව පැහැයට හැරිලා. මීට කාලෙකට ඉස්සල්ලානම් මේ චිත්‍රය මීට වඩා දීප්තිමත්ව තියෙන්න ඇති.

mona9

ඉතාලියේ පුනරුද සමයේ ලියනාඩෝ ඩාවින්චි ඇන්ද මේ චිත්‍රයට නිමිත්ත වෙලා තියෙන්නේ ධනවත් සේද වෙළෙන්දකුගේ බිරිඳ කියලා කියනවා. තවත් සමහරු කියනවා ලියනාඩෝ ඩාවින්චිගේ ස්ත්‍රී ස්වරූපය මෙහි චිත්‍රයෙන්  නිරුපනය වෙනවා කියලා. ඒත් චිත්‍රය වඩාත් තීවෘර ප්‍රකාශනය වන්නේ සුන්දර සිනහවක්. චිත්‍ර විචාරකයන් පවසන ආකාරයට මේ සම්ප්‍රදාය හැඳින්වෙන්නේ STUMATO යනුවෙනි.  මේක අදිසි කියලා සිංහලයට පර්වර්තනය කරන්න පුලුවන්. ආලෝකයත් අඳුරත් හොදින් එකිනෙකට මුහුවෙලා තියෙනවා. ආලෝකය අඳුර වෙත ගලාගෙන ගිහිල්ලා, අඳුර ආලෝකය සමග කැලතිලා බෙදුමක් පේන්නේ නැහැ. වර්ණ අතර මායිමක් පේන්න නැහැ. හරියට පැතිරිච්ච මීදුමක් වගේ.

සියල්ල එකට මුසු වෙලා කැලැතිලා, එකම ප්‍රකාශණයක් බවට පත්වෙලා. පින්සල් පාරවල් කොච්චර සියුම්ද කිවුවොත් පියවි ඇසට පේන්නේ නැහැ. මොනාලිසාගේ මුහුණ ලයිට් එකක් ගැහුවා වගේ දිලිසෙනවා. ඩාවින්චි පෘෂ්ඨයක් මතට ආලෝකයක වැටෙන ආකාරය සියුම්ව නිරීක්ෂණය කරලා ඒ දැනුම තමන්ගේ චිත්‍රයේ ප්‍රකාෂණ ශක්තිය තිව්‍ර කරන්න යොදා ගෙන තියෙනවා. මදහස නැගෙන දෙතොල් හා දිලිසෙන ඇස ආකර්ෂණීය සිනහවක් උත්පාදනය කරනවා. එක් චිත්‍ර විචාරකයෙක් බැලුයේ ඇගේ උගුර දිහා. උගුරේ නාඩි වැටෙන අන්දමත් සියුම්ව නිරූපණය කරලා තියෙනවා . ඒ හින්දා මේක  චිත්‍රයක් නෙවෙයි, ලෙයින් මසින් පිරුණු ගැහැනියෙක් කියලා හිතෙන තරමට සජීවි බවයි සමහර චිත්‍ර විචාරකයෝ කියන්නේ.

mona-people

 

 

උඩු කය වැස්මේ  සියුම් රේන්ද රටා පවා සිතුවම් කරලා. තවත් ටිකක් සැලකිල්ලෙන් බැලුවොත් ඉර එළිය කෙස්රොද අතරින් එබිකම් කරන  ආකාරය පවා සිත්තම් කරලා. එහා මෙහා යන සෙනඟ අතරේ හැප්පෙමින් තෙරපෙමින්  මොනාලිසාගේ සුන්දර සිනහව ඇති තරම් විඳ ගත්තා. මොනාලිසාට ජීවය දීපු ඩාවින්චි ගැනත් වරක් දෙවරක් හිතුනා. ඩාවින්චි මහ රෑ මෝචරි වලට රිංගලා මළ සිරුරු පරික්ෂා කරමින් කායවිඡ්ඡේද විද්‍යාව, එහෙම නැත්තම් මිනිස් සිරුරේ නිර්මිතය ගැන ලබාගත් දැනුම මොනාලිසාට ජීවය දීමේදි උදව් වෙන්න ඇති.  ඒත් මොනොලිසාගේ සුන්දර සිනහව මගේ මතකයට වඩාත් සමීප කලේ මා කිසි දවසක හමුනොවුනු කිහිප දෙනෙක් වෙතටයි. ඒ ඔගස්ටස් විනයාගරත්නම්, නිමල් මෙන්ඩිස් හා මිල්ටන් මල්ලවආරච්චි

. මේ ත්‍රිත්වය මොනාලිසාගේ ඒ සුන්දර සිනහව හරීම අපුරුවට සංගීතයට මිශ්‍ර කරලා තියෙනවා. තනුව, පද රචනා හා ගායනය එකට එක සංයෝග වෙලා හරියටම ඩාවින්චිගේ චිත්‍රයේ අඳුරත් ආලෝකයත් එකට මුසු වුනා වගේ “හද පාරන මාරුතයේ ඔබ ආ හැටි  ආදරියේ” ගීතයේ පදයක් මුමුණමින් ත්‍රිකෝණාකාර වැස්මෙන් එළියට එනකොට හිරු රාජකාරිය අවසන් කොට ගිහින්. ලා සඳක් හීන් සිරුවෙන් සේන්  ගඟට උඩින් මතුවෙලා.

louver-mona1)

ලුවර් -මොනාලිසාගේ සේන් ගඟබඩ නිවහන

 

How does Monalisa manage to smile always?

ලහිරු හර්ෂණ ආදිත්‍ය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.