”යහපාලනය” යනු ”රාජපක්ෂ රෙජීමයේ” නරක දේ වඩා හොඳින් කිරීමද?

Maithripala-Mahindaශ්‍රී ලංකාවේ ජනතාව ”හරි” හෝ ”වැරදිව”, දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට දේශපාලනයේ ”වෙනසක්” සිදු කළහ. ඒ අපි කවුරුත් දන්නා පරිදි මහින්ද රාජපක්ෂ තබා එ.ජා.ප. නායකයින් පවා විශ්වාශ නොකළ පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරදා ගෙදර යැවීමයි. මෙම දේශපාලන වෙනස පිළිබඳව විවිධ විශ්ලේෂකයෝ  විවිධාකාරයේ විශ්ලේශන සහ විග්‍රහ ඉදිරිපත් කරති.
ඇතැමෙක් එය මහින්ද රාජපක්ෂ පාලනයේ දුෂණයට ජනතාව තුළ මතු වූ විරෝධය ලෙස සලකති. තවකෙක් එය මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනයට එරෙහිවීමක් ලෙස පෙන්වා දෙන විට තවත් කණ්ඩායමක් මහින්ද ප්‍රමුඛ පාලනය ගෙන ගිය භීෂණයට ජනතාව එරෙහි වීමක් ලෙස ප්‍රකාශ කරයි. තවත් කණ්ඩායමක් එය මහින්ද රාජපක්ෂ නීතියේ ආධිපත්‍යයට ඉඩ නුදුන් නිසා එයට එල්ල වූ ජනතා විරෝධය ලෙස සලකති. තවත් පිරිසක් ඔහු වටා සිටි ගෝල බාලයින්ගේ නොමනා හැසිරීම් පාලනය කිරීමට මහින්ද උනන්දු නොවීමට දැක්වූ විරෝධයක් ලෙස පෙන්වා දෙද්දී මහින්දට පක්ෂපාතීව මෙය විශ්ලේෂණය කරන්නන් පෙන්වා දෙන්නේ මේ කිසිවක් නිසා නොව දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අති බහුතරය මහින්දට එරෙහිවීම නිසා මහින්දගේ පරාජය තීන්දු වූ බවයි.

lanka election

 

.
මෙම විශ්ලේෂණයන්ගෙන් අවසානයට දැක්වූ මතය බොහෝ දුරට පිළිගත හැකි මතයකි. මන්ද 2015 ජනවාරි 08 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිපලවලට අනුව සිංහල බෞද්ධ බහුතරය වූ සෑම ප්‍රදේශයකදීම මහින්ද රාජපක්ෂ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇති බැවිනි.
නමුත් එමගින් මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු වූයේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද නිසාම පමණක් යයි කිසිසේත්ම කිව නොහැක. මන්ද මෙම ජනවාර්ග දෙකම මෙරට ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත්  විට 25% ට වඩා වැඩි නොවන බැවිනි. ඒ අනුව ඔවුන් 100%ක්ම මහින්දට එරෙහි වුවත් සිංහල ජනතාව 100% ක් මහින්ද සමග සිටියේ නම් මහින්ද පරදින්නේ ද නැත.
මෙයින් පෙන්නුම් කරන්නේ සිංහල ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මහින්දට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බවයි. විශේෂයෙන්ම 2005 දී සහ 2010 දී මහින්දට පක්ෂව ඡන්දය දුන් පිරිසෙන් සැලකිය යුතු පිරිසක් 2015 දී මහින්දට එරෙහි වූ බවයි. එසේ වුයේ ඇයි?
ඉහත දැක්වූ හේතුන්වලට අමතරව මහින්දගේ පරාජයට හේතු වූ විශේෂිතම සාධකයක් ලෙස මහින්දගේ පුතුන්ගේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂගේ ක්‍රියා කලාපයන් පෙන්වා දිය හැකිය. ජනතාව අතර මහින්ද අප්‍රසාදයට පත්කිරීමට ඔහුගේ පුතුන්ගේ විවිධ ක්‍රියාවන් දායක වූ අතර ඉන් ප්‍රධානතම කාරනා  දෙකක් වන්නේ ඔවුන්ගේ “කාර් රේස් පිස්සුව” සහ විවිධ ආයතනවල රැකියා සහ තනතුරු නාමල්ගේ ලැයිස්තුවලට පමණක් සීමා වීමයි. මෙහි උච්ඡතම අවස්ථාව වූයේ රැකියා සඳහා පමණක් නොව විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමටත් නාමල්ගේ ලිපිවලින් හැකිවීමයි. ඔහුගේ ලිපියක් අනුව රුහුණු විශ්ව විද්‍යාලයට සිසුවියක් බඳවාගෙන තිබූ අතර මෙම සිද්ධිය එදා මහත් ආන්දෝලනයකට හේතු වුව මෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය කෙරෙහි ජනතාවගේ (විශේෂයෙන්ම උගත් සහ තරුණ ජනයාගේ) කලකිරීමට හේතු විය…

 

kirialla
මහින්දගේ පරාජයට මෙකී නොකී හේතු සියල්ල බලපෑ අතර “දේදුනු” විප්ලවයේ නියමුවන් එදා මෙවැනි දෑ තලු මර මර ඉදිරිපත් කරමින් මතුවට එන “යහපාලනය” යටතේ මෙවැනි දේ සිහිනෙන්වත් සිදු නොවන බවට සපථ කළහ.
එසේ සපථ කළ “යහපාලන” යටතේ අද සිදුවන්නේ කුමක්ද?එදා නාමල් රාජපක්ෂ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනියට දන්වන්නේ සිසුවියක් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලෙසයි.අද “යහපාලන” රජයේ පතක යෝධයකු වන මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කැලණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිට දන්වන්නේ තමන් දන්නා හඳුනන අයකු වන ” අසවල් අය” කථිකාචාර්ය තනතුරකට බඳවා ගන්නා ලෙසයි. මෙම තොරතුර මාධ්‍යයන්හි පළවූ පසු එය සාධාරණය කරමින් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා එවූ පැහැදිලි කිරීමක්ද මාධ්‍යවල පළවිය.
සැබවින්ම මෙය මොනතරම් ලජ්ජා සහගත තත්වයක්ද? වෙන රටක නම් උසස් අධ්‍යාපන ඇමතිවරයා මේවන විට ඉල්ලා අස්වී හමාරය. එහෙත් ශ්‍රී ලංකාව අමුතු රටක් නිසා එසේ වන්නේ නැත.
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මෙවැනි දෑ පිළිබඳව කලකිරුණු ජනතාව “යහපාලනයෙන්” බලාපොරොත්තු වූයේ මෙයද? මෙවැනි ලිපියක් ලිවීම පිළිබඳව ලජ්ජා විය යුතු ඇමතිවරයා (මොවුන්ට ලජ්ජා නහර නැති නිසා එය අදාළ නොවේ.) එය මාධ්‍යයේ පලවීම ගැන වී.වි.ආචාර්ය සංගමය උරණ වී තමන්ට පනත මගින් පැවරී ඇති බලතල ගැන පාරම් බාමින් ආචාර්යවරුන්ට තර්ජනය කරන්නේ ඔවුන් තමන්ට බලයට ඒමට උදව් නොකළත් තමන් ඔවුන් තනතුරුවලින් ඉවත් නොකළ බවද පෙන්වා දෙමිනි.
මොහු වි.වි. අධ්‍යාපනය ලැබුවකු දැයි මම නොදනිමි. එසේ නොලැබුවකු වුවත් ඔහු දැන් උසස් අධ්‍යාපන ඇමති ලෙස දැනගත යුතු වන්නේ රටක උගතුන්, බුද්ධිමතුන් බිහි කරන විශ්ව විද්‍යාල යනු නිදහස් චින්තනයේ උල්පත බවයි. එහි ශිල්ප හදාරන්නන්ට මෙන්ම ශිල්ප දෙන්නන්ට ද තමන් කැමති ඕනෑම මතවාදයක් දැරීමට ශුද්ධ වූ අයිතියක් ඇති බවයි.
එම නිසා ලක්ෂ්මන් කිරිඇල්ල පවසන පරිදි සියලු ආචාර්යවරු ඔහු උසස් අධ්‍යාපන ඇමති නිසා ඔහුට සහ ඔහුගේ රජයට පක්ෂපාතී බත් බැලයින් සහ “කඩේ යන්නන්” විය යුතු යැයි සිතයි නම් එවන් උසස් අධ්‍යාපන ඇමතියකු ලද රටේ ජනතාව ගලක් ගෙලේ ගැට ගසාගෙන බෝගම්බර වැවට පැනිය යුතු නොවේද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.