යාපනයේ නෙතට උළෙලක්

ධර්මසේන පතිරාජ
ධර්මසේන පතිරාජ

 

මේ සටහනේ විශේෂත්වයක් ඇත.යාපනයේ  සිට බොහෝ මාධ්‍ය වෙනුවෙන් වාර්තා කළ මයිල්වාගනම් නිමලරාජන් මර දැමු දා පටන් යාපනයෙන් ගලා ආ  සිංහල පුවත් දහර  වියැලී ගියේය.

කල හැකි එකම දෙය වූයේ උදයන් පුවත් පතට කතා කොට තොරතුරක් දැනගැනීම පමණි.

ඒ ද  විනාඩි දෙක තුනකට සීමාවූ කෙටි පණිවිඩයකි.

දැන් යාපනයේ සිදුවෙන් දේ ඒ බිමේ සිට වාර්තා කිරීමේ අවස්ථාව ලැබී ඇත. සියල්ල පරිපුර්ණ නැත.එහෙත් බලාපොරොත්තුව සිත නලියයි.මේ උත්සවයේදී එළි දැක්වුණු පොතක කතුවරයාවූ ජයපාලන් කවියාට වීසා නොලැබීම හේතු කොටගෙන අඩුවක් තිබුනත් නෙත පිනවූ බොහෝ දේ එහි වූ බව බිමේ සිට අපට  මේ පුවත දැන්වූ හිතවතා කියා සිටියේය.

 

දෙමළ සිංහල පාලමක්

දකුණේ සිනමාවේදීන්, ගීත රචකයින්, නළුවන්, කවියන්, සරසවි සිසු සිසුවියන්, පොත් ප්‍රකාශකයින්, තිස් දෙනෙකුට අධික පිරිසක් සහ උතුරේ බුද්ධිමතුන්, සරසවි සිසු සිසුවියන් ඇතුළු පිරිසක්

උපුල් ශාන්ත සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල

29 දින සන්ධ්‍යාවේ යාපනය මහජන පුස්තකාලයට රැස්ව එක් හෘදයාංගම කාර්යයකට සම්මාදම් වී සිටිනු දැකීම නෙතට උළෙලක් විය.

 

 

 

ආදරයට ඇස් තැබීම

උක්ත නමින් හැඳින්වුණු මෙම සාධු කාර්යය වූයේ යාපනයේ පුස්තකාලයට විශාල පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම සහ දෙමළ ලේඛකයකුගේ කෙටි නවකතා තුනක් සිංහල බසින්ද සිංහල ලේඛකයකුගේ නවකතාවක් දෙමළ බසින්ද එළිදැකීමයි.  පුද දුන් පොත් අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි  භාෂා තුනටම අයත් 5000කට අධික පොත් ප්‍රමාණයක් තිබුණි. උපුල් ශාන්ත සන්නස්ගලගේ මූලිකත්වයෙන් සිදු වූ මෙම පරිත්‍යාගයට ඔහු ඇතුළු තවත් පොත් ප්‍රකාශකයෝ කිහිප දෙනෙකුම තම ශක්ති ප්‍රමාණයෙන් දායක වූහ.

සෙක්කු ගොනා

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විසින් සිංහලට පරිවර්තන කරන ලද වී. අයි. එස්.  ජයපාලන් රචනා කළ කෙටි නවකතා තුනක් ඇතුළත් ‘සෙක්කු ගොනා’ පොත ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජයන් වෙත පිරිනැමුණි. තමන් දෙමළ සමාජය ගැන සිනමා මාධ්‍යයෙන් කතා කළ බව ඔහු කීවේය. ප්‍රවීන පරිවර්තක ගාමිණී වියන්ගොඩ පැවසුවේ පරිවර්තකයා නිසා මිනිසා අන්‍ය ජන සමාජවලින් හුදකලා නොවී තමන්ගේ අදහස්, හැඟීම් නාඳුනන අය හා බෙදා ගන්නා බවයි. ‍එළි දැක්වෙන පොත් දෙකෙන් ජන කොට්ඨාස දෙකට මුහුණ දෙන්නට ලැබෙන ගැටළු සාකච්ඡා කර ඇති අයුරු ඔහු පහදා දුන්නේය. ප්‍රවීන ගීත රචක ලූෂන් බුලත්සිංහල සිංහල දෙමළ සංහිඳියාව 1956න් පසු බිඳී ගිය බව සඳහන් කළේය. ප්‍රධාන ආරාධිතයා වූ යාපන විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය එන්. ෂන්මුගලිංගම් මෙම මාහැගි කාර්යයෙහි ඓතිහාසික වැදගත්කම සිත පුරා උතුරා යන ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව වර්ණනා කළේය.

 

 

151129163215_jaffna_library_624x351_bbc

දෙගොල්ලන්ගෙම අම්මා

සාමිනාදන් විසින්ම දෙමළ බසට නඟා ඇති උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත ‘අම්මා’ නවකතාව උතුරෙන් බිහි වූ ප්‍රවීන ලේඛකයකු වන ජේ. යේසුරාසාට පිළිගන්වන ලදි. යාපනයේ පුස්තකාලය ‘ෆීනික්ස්’ පක්ෂියෙකුට උපමා කළ  සන්නස්ගල තමන් ඇතුළු පිරිස එම පක්ෂියාට පියාපත් රැගෙන පැමිණි බව පැවසීය. මෙම ළබැඳි සබැඳියාව චිරා පවත්වන්නට වසරක් යන්නට මත්තෙන් දෙමළ, සිංහල තරුණ ලේඛක ලේඛිකකාවන් පනස් දෙනෙකුගේ නිර්මාණ භාෂාද්වයෙන්ම පරිවර්තනය කොට පළ කරන බව ඔහු කීවේ යාපනයේ සහෝදර දෙමළ ජනතාවට දකුණේ සහෝදරාත්මක, මිත්‍රශීලී, ලෙන්ගතු දෑත් දිගු කරමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.