රංජන් ගේ ඇතුල් පැත්ත හෙළිදරව් වෙයි

රන්ජන් රාමනායක  හට කොහේ ගියත් රැල්ලක් ඇති කිරීමේ හැකියාව ඇත. ශ්‍රි ලංකාවේ සිටින දේශපාලකයින් අතරේ මෙන්න මගේ ගෙදර කියා තමන්ගේ ගේ පෙන්නන්න පුළුවන් දේශපාලකයින් සිටින්නේ අතළොස්සකි .ඒ අතළොස්ස අතරේ සිටින රංජන්ට හංගන්නට දේවල් ඇත්නම් ඒ ඉතා අඩුවෙන් විය යුතුය.

බත් පාර්සල් අදින නළුවක් ලෙස වැඩ පටන් ගත් තමන්ට ජැක්සන්ඇන්තනි සමඟ හැරෙන්නට වත් බැරි බව පිළිගන්නා මේ රංග ශිල්පියා  සරසවිය පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡා සටහනකි මේ.

RANJANR

මොකක්ද මේ අඛණ්ඩ ජනප්‍රියත්වයේ රහස?

 

මට මතකයි විජය මාමා (විජය කුමාරතුංග) එක්තරා ‘සරසවිය’ සම්මාන උලෙළකදි කියූ දෙයක්. නිවේදකයෙක් ඔය ප්‍රශ්නය ඔය විදියටම විජය මාමාගෙන් අහනවා. ඔහුගේ උත්තරය වෙන්නේ ‘ඒක අහන්න ඕනෑ රසිකයන්ගෙන්’ කියන එකයි.

 

 

ඔබේ පිළිතුරත් ඒකමද?

 

ඔව්. හැබැයි ඒකට මං තව දෙයක් එකතු කරන්න කැමැතියි. මොකද, ‘නළුකම’ ම විතරක් නෙමේ.

 

 

එහෙනම්?

 

මගේ පැවැත්ම. ඒ කියන්නේ රසිකයන් ඉදිරියේ මං පරමාදර්ශවත් වෙන්න ඕනෑ. මං පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට ප්‍රසිද්ධියේ බොන්න බැහැ. අඩුම ගානේ සිගරැට් එකක්වත් බොන්න බැහැ. කුණුහරුපයක් කියන්න බැහැ. දතක් ගලවලා ඉන්න වෙලාවක වුණත් රසිකයෙක් හිනාවුණත් කට ඇරලා හිනාවෙන්න ඕනැ.

 

RanjanR_360px_12_12_22

දේශපාලන ක්ෂේත්‍රයේත් එහෙමද?

 

ඔව්. මේ රසිකයන් ම තමයි මාව ඡන්දයෙන් දිනවල දුන්නේ. මාව රටේ වගකිව යුතු තනතුරකට පත්කරලා තියෙන්නේ. ඔවුන් ඉදිරියේ මං බඩු මිල ගැන කතා කරන්න ඕනැ. මැදපෙරදිග දුක්විඳින අපේ කාන්තාවන් ගැන කතා කරන්න ඕනැ. දූෂණ, වංචා ගැන කතාකරන්න ඕනැ. දරුවන් වඩාගන්න ඕනැ. ඔළුව උදුමවගෙන ඉන්න බැහැ. සුරසැප විඳින්න බැහැ.

 

 

ඔබේ කැරිස්මැටික් (CARISMATIC) ගුණයත් මේ අප්‍රමාණ ජනප්‍රියත්වයට බලපානවා.

 

ඔව්. දැන් බලන්න ජැක්සන් ඇන්තනි. රඟපෑම් එක්ක බලද්දි මට එයා එක්ක හැරෙන්නවත් බැහැනේ. ඒත් ජනප්‍රියත්වය අතින් මං ඉදිරියෙන්. ජැක්සන් හිටපු ජනාධිපතිවරයා බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලා එයාට කඩේ යනවා. එතැනදි මිනිසුන්ට පේන්නේ එයා තමා වෙනුවෙන් විතරයි වැඩකරන්නේ කියලා. මම ඕනෑම අවදානමක් ගනිමින් සියල්ල විවේචනය කරනවා. කෙළින් කතා කරනවා. එතකොට මිනිස්සු හිතනවා තිරයේ විතරක් නෙමේ, හැබෑ ජීවිතයේත් මිනිහා වීරයා කියලා. කමලාසන් දක්ෂයි. ඒත් රැජිනි කාන්ත් තමයි සුපිරි නළුවා. රැජිනිගේ ඇති දෙයක් නැහැ. විග් එකයි, මේක්අප් එකයි ගැලෙව්වම ලෙඩ කපුටෙක් වගේ. නමුත් ස්ක්‍රීන් එකට ඇවිල්ලා ඇඟිල්ල කරකවනකොට ම රසිකයෝ දැපනේ වැටෙනවා. එම්.ජී.ආර්ට වඩා සිවාජි ගනේෂන් දක්ෂයි. ඒත් වීරයා එම්.ජී.ආර්. මං හිතන්නේ ඒක තමයි මේ කැරිස්මැටික් ගුණය. ඇක්ටිං අප්සෙට් වෙන්න පුළුවන්. ඒත් මිනිස්සු එයාට ප්‍රියයි. සමහර රසිකයෝ මාව දැක්කම සෙල්ෆි ගහගන්නවා. සමරු පොත්වලට අත්සන් කරගන්නවා. මම ඉතිං කිට්ටු කරලා අහනවා ‘මල්ලි ඔයා මගේ මොන ෆිල්ම් එකට ද කැමැති කියලා. එතකොට කියනවා “එකකටවත් කැමැති නැහැ” කියලා. මම බයිසිකල් රෝදෙක පැච් එකක් ගියාවගේ හැකිළෙනවා. ඊට පස්සේ මම අහනවා. ‘ඒ ඇයි’ කියලා. එතකොට කියනවා “තරහවෙන්න එපා ඔයාට රඟපාන්න බැහැ. නමුත් ඔයා හොඳ මිනිහෙක්; ඔයා කෙළින් කතා කරනවා. ඒකයි අපි ඔයාට කැමැති” කියලා.

RANJANRA

 

ඔබ රටේ ජනප්‍රිය නළුවා වුණේ, ජනප්‍රියම දේශපාලනඥයෙක් වුණේ ඉතාම දුෂ්කර, අතිශය කටුක ගමනක ප්‍රතිඵලයක් වශයෙන්?

 

මට කිව්වෙ බත් පාර්සල් නළුවා කියල. මුල්ම කාලේ මං හිටියේ විජය මාමලගෙ ගෙදර. එයාගෙන් හැලෙන චිත්‍රපට ගන්නේ මම. හැබැයි එයා යසපාලිතගේ චිත්‍රපට හලන්නේ නැහැ. හැලෙන්නේ කුසුම් චන්ද්‍ර ගමගේ වගේ අයගේ චිත්‍රපට තමයි. මාමා ඔවුන්ට කියනවා “මට ඕවයේ රඟපාන්න වෙලාවක් නැහැ; මේ අලුත් කොල්ලෙක් ඉන්නේ මිනිහව දාලා කරගන්න” කියලා. අනේ මමත් ඉතිං ඒවායේ රඟපානවා. මට මතකයි මං රඟපාපු ‘භාග්‍යා’ ටෙලිනාට්‍යය විකාශය වුණු මුල්ම දවස. එදා අපේ ගෙදර මඟුල් ගෙයක් වගේ.

 

කඩල තම්බලා රෑට බල බල කන්න. දැන් මට බයයි රෑට ‘කරන්ට්’ යයි කියලා. මම එදා දවල් මීගමුව නගර සභාවට ගිහිල්ලා ඇහැව්වා “අද රෑට එහෙම ලයිට් කපනවද” කියලා. මිනිහා අමුතු විදියට මං දිහා බලලා අහනවා “මොකද තමුසේ අද රෑට රොබරියක් දෙන්නද යන්නේ” කියලා. මං කිව්වා නැහැ මං රඟපාන ටෙලිනාට්‍යයක් අටහමාරට යනවා. ඒකයි ඇහැව්වෙ කියලා. ඒ දවස්වල මගේ ඇඟ කවකටු පෙට්ටිය වගේ. මිනිහා බලන්න ඇති යකෝ මූත් නළුවෙක් ද කියල. මං තරම් කට්ටක් කාපු නළුවෙක් සිංහල සිනමාවේ තවත් නැතුව ඇති; ඒ ලබපු පන්නරය තමයි මෙච්චර දුර මාව අරන් ආවේ.

 

 

 

ඔබ ජනප්‍රිය සිනමා නළුවා වුණාට කලාත්මක සිනමාවේදී ලොකු සාර්ථකත්වයක් අත්පත්කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔබට වුණු ලොකුම අභාග්‍යය විජයට හිටියා වගේ පතිරාජ කෙනෙක් (ධර්මසේන පතිරාජ) ඔබට නොසිටීමයි.

 

ඔව්. මට ටිකක් හරි හිටියේ උදයකාන්ත වර්ණසූරිය වගේ අධ්‍යක්ෂවරයෙක් විතරයි. මේක ඉතිං මට ලැබුණු දේ. හැමදේම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නත් බැහැනේ. ලැබිලා තියෙන දේ ගැන සන්තෝෂ වෙනවා මිසක්.

 

 

තරුණ සිනමාකරුවනුත් ඔබත් අතර කිසියම් පරතරයක් මම දකිනවා?

ජයන්ත චන්ද්‍රසිරි ‘එල්ලේ සිරා’ කියල ෆිල්ම් එකක් කරන්න ගියා. ඒකට ගන්න හිටියේ මාව. ඒත් කෙරුණේ නැහැ. ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ විජය මම. ඒත් පස්සේ වෙන නළුවෙක් දාලා කළා. ‘සිංහාවලෝකනයේ’ මං රඟපෑව මංගල දර්ශනය බලද්දි මං නැහැ.

 

ඒ කියන්නේ එතැනදි හරස්වෙලා තියෙන්නේ දේශපාලනය?

ඔව්. පක්ෂය මාරු කළොත් චරිතේ දෙන්නම් කියපු අධ්‍යක්ෂවරුනුත් හිටියා. මොකද, එදා මං ආණ්ඩුව දරුණුවට විවේචනය කරපු කෙනෙක්නේ.

 

දේශපාලනයට එන්න සිනමාව ඉවහල් වුණා වගේ ම සිනමාවේදි ඔබට දේශපාලනය බාධකයක් වෙලත් තියෙනවා?

ඒක තමයි ඇත්ත. ජනප්‍රිය නළු සම්මානය දෙන්න වෙයි කියලා ඇතැම් සම්මාන උත්සව පැවැත්වූයේ නැහැ. මං සංවිධායකවරුන්ට, ආයතනවලට දොස් කියනවා නෙමෙයි. ඔවුන් අසරණයි. මොකද ඊට උඩින් තමයි දේශපාලන තීන්දු, තීරණ තියෙන්නේ. ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයේ මාත්තෙක්ක රඟපාන නිළියෝ හතරදෙනාගේ කවර පත්තරවල යනවා. නමුත් මගේ යන්නේ නැහැ. මං රඟපාන පික්චර් එකක් පෙන්වනකොට පත්තරේක කවරයක් යන එකමාර චූං එකක් නේ. නමුත් එහෙම නොලැබුණු අවස්ථා තියෙනවා. ‘පායා එන්න හිරුසේ’ චිත්‍රපටයේ දැන්වීම්, මගේ නමයි, පින්තූරෙයි නැතුව රූපවාහිනියේ දානවා. ඒ දේශපාලන බය. විජය මාමාට වුණෙත් ඕකමනේ.

අවසාන වශයෙන් සිනමාවේ හා දේශපාලනයේ ඔබේ ඉදිරි ගමන මොකක් ද?

 

ඔබ විශ්වාස කරන එකක් නැහැ, මට එහෙම ඉලක්ක නැහැ. ජීවිතේ අපි බලාපොරොත්තු ‍වන දේ නෙමෙයිනේ අපට ලැබෙන්නේ. මේ යන විදියට යනවා. මැවුම්කරුවගේ අතේ තමයි ඔක්කොම තියෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත.
(උපුටා ගැනීම – සරසවිය පුවත්පත)

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.