රාජගිරියේ සුදු අලියා ගැන දුමින්දට ජනතා දොස් මුරයක් – යහපාලනයට කළු පැල්ලමක්

Duminda Dissanayakaකෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් රුපියල් දෙකෝටියකට අධික මිලක් ගෙවා මාසික කුලියට ගෙන ඇති ගොඩනැගිල්ල ප්‍රයෝජනයට නොගෙන විශාල මුදලක් ගෙවීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන මතු වෙමින් තිබේ.

කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියලක්වත් ඊට යොදවා නැති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර පාරේ, කෝට්ටේ පිහිටි එම ඩී.පී.ජේ ටවර් ගොඩනැගිල්ල සඳහා ලී බඩු ආදිය ලබාගැනීමටත් ගොඩනැගිල්ලේ කාර්යාල හා කාමර වෙන්කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති සහ වා සැකසුම් කටයුතුවලටත් ටෙන්ඩර් කැඳවමින් පසුගිය 16 වැනි බදාදා ඉංග්‍රීසි පුවත්පතක දැන්වීම් දෙකක් පළ කර තිබිණි.

මෙම ටෙන්ඩර් දැන්වීම් මගින් දක්වා ඇති පරිදි ගොඩනැගිල්ලේ ලී භාණ්ඩ සැපයීම හා සවි කිරීම සඳහා රුපියල් මිලියන 140කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය. කාමර හා කාර්යාල වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති හා වා සැකසුම් සඳහා තවත් රුපියල් මිලියන 112කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය.

‘අපි සෙත්සිරිපායට ගියත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් කාමර වෙන් කරන්න ඕනෑ. අපි සෙත්සිරිපායට ගියත් එකයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් එකයි. අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා මේ මුදල යනවා’ යැයි අමාත්‍යවරයා පවසයි.

“ඩී.පී.ජේ ටවර්” නමින් හඳුන්වන ගොඩනැගිල්ල ජනප්‍රිය සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකක් වන අතර එම ගනුදෙනුව සිදුව ඇත්තේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මතය. එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාශයට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ සන්දේශය ඉදිරපත් කරන තිබුණේද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.