රාජ්‍ය ත්‍රස්තවාදය යළි ක්‍රියාත්මකයි… ශිවාජිලිංගම් කියයි

M. K. Shivajilingamදිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනාට පොලීසිය විසින් වෙඩි තැබීම දෙමළ දේශපාලන පක්ෂ දකින්නේ රාජ්‍ය ත්‍රස්තවාදය යළි ක්‍රියාත්මක වීමක් ලෙස යැයි උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම් පැවසීය.

මේ සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම දැඩිලෙස විරෝධ වන බව කී මන්ත්රීවරයා ඒ පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට සියළු දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිත හමුවක් 23 වෙනි ඉරිදා යාපනයේ පැවැත්වන බවද කියා සිටියා.

විශ්ව විද්යාල සිසුන් දෙදෙනාට පොලීසිය විසින් වෙඩි තැබීමෙන් පසුව යාපනයේ වත්මන් තත්ත්වය ගැන තොර්තුරු දැන ගැනීමට ශිවාජිලිංගම් මන්ත්රීවරයාට කතා කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා මියගිය සිසුන්ට වන්දි ගෙවීමට තීරණය කළත් සිදු විය යුතුව තිබුණේ මෙවැනි සිද්ධියක් මේ අන්දමට සිදු නොවීමට පොලීසිය වගබලා ගැනීම බවයි.

පොලීසිය සිසුන් දෙදෙනාට වෙඩි තැබීමෙන් පසුව එය සාමන්ය රිය අනතුරක් ලෙස හුවා දක්වා වසන් කිරීමට කටයුතු යෙදීම ඉතා අසාධාරණ මෙන්ම බරපතල වරදක් බවද මන්ත්රීවරයා සදහන් කළේය.

එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි උණ්ඩයක් තිබුණද අනෙක් සිසුවා මියගිය අන්දම පිළිබදව සැකයක් ඇති බැවින් යාපනයේ ජනතාවගෙන් විශාල පිරිසක් සිතා සිටින්නේ පොලීසිය ඔහුට පහරදී මරාදමන්නට ඇතැයි යනුවෙන් බව කී සිවාජිලිංගම් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වන තුරු ජනතාවගේ සැකය සාධාරණ බවද කියා සිටියේය.

විශ්ව විද්යාල සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනා ලබන නොවැම්බර් මස 4 වෙනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන මෙන් යාපනය දිසාවිනිසුරු එස්.සදීස්කරන් 22 දා නියෝග කොට තිබුණි.

මියගිය සිසුන් දෙදෙනාගෙන් කිළිනොච්චියේ පදිංචි නඩරාජා සිසුවාගේ අවසන් කටයුතු අද (23 වෙනිදා) කිළිනොච්චියේදීත්, යාපනයේ චුන්නාකම් පදිංචි සිසුවාගේ අවසන් කටයුතු හෙට (24 වෙනි සදුදා) යාපනයේදී සිදු කිරීමටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් තීරණය කොට තිබේ.

මේ අතර හදිසියේම වියෝවූ මෙම සිසුන් දෙදෙනා වෙණුවෙන් ශෝකය පළකිරීම පිණිස ලබන 24 වෙනි සදුදා යාපනය විශ්ව විද්යාලයේ සියළුම පීඨවල සිසුන් පන්ති වර්ජනය කොට ශෝකය පළ කරණ මෙන් යාපනය විශ්ව විද්යාල මහා ශිෂ්ය සංගමය සියළුම සිසුන්ට දැණුම් දී තිබේ.

ලබන සදුදා යාපනය නගරයේ වෙළෙද සැල් වසා දමා මියගිය සිසුන්ට ශෝකය පළ කිරීමට එක්වන මෙන් ශිෂ්ය සංගමය කළ ඉල්ලීම යාපනය එක්සත් වෙළෙද සංගමය පිළිගත් බව එම සංගමයේ සභාපති එස්. සෙන්දිල්පිලේලේ පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.