වාහන බලපත්‍රය _ මන්ත්‍රීවරුන්ට වසර 5ට වරක් “අන්ලිමිටඩ්”! රජයේ සේවකයින්ට වසර 10ට වරක් උපරිම දෙවාරයක්.

vehicle permitරජයේ සේවකයන්ට වසර දහයකට වරක් වාහන බලපත්‍ර ලබාදුන්න ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍රය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහකට වරක් පත්වන බැවින් මෙම තීරණය ගත් බවත්, එහි දී නවක පැරණි සියලු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍ර ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වඩා මන්ත්‍රීවරුන් කාර්යබහුල බැවින් එලෙස වසර පහකට වරක් බලපත්‍ර ලබාදීම සාධාරණ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ තමන්ට මේ පිළිබඳව මෙතෙක් දැනුම්දීමක් කොට නොමැති බවයි.

ඒ මහතා මෙසේ අදහස් දක්වා ඇත.

“අපට තාම මේ පිළිබඳව මොකුත් කියලා නෑ. මුලදි කිවුවා ණයක් දෙනවා කියලා. ඊටපස්සෙ කිවුවා වාහනයක් දෙනවා කියලා. කොහොම වුණත් මේ ගැන කතා කරන්න අද කමිටුවක් රැස් වෙනවා. එතැන දි තමයි අවසන් තීරණය ගන්නේ. අපට නිල වශයෙන් දැනුම් දීලා නැති නිසා ඒ ගැන මොකුත් කියන්න බෑ. කොහොම වුණත් කෙනෙකුට තියෙන වරප්‍රසාදයක් කප්පාදු කරනවට අපට එකඟ වෙන්න බෑ”

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ රජයේ සේවකයන්ට තිබූ වරප්‍රසාදය යළි ලබාදිය යුතු බවයි.

“මහජන නියෝජිතයන්ට බලපත්‍රයක් අවුරුදු 05කට වරක් දෙනවා වගේම රජයේ සේවකයන්ටත් එය ලබාදිය යුතුයි. එක්කෙනෙකුට අවුරුදු 05කට සැරයක්, එක්කෙනෙකුට අවුරුදු 10කට සැරයක් කියලා ක්‍රමවේද 02 ක් තියෙන්න බෑ. ඒකට අපි විරුද්ධයි” යනුවෙන් රණතුංග මහතා පවසා තිබේ.

 නාස්තිකාර වියදම් කපා හරිමින්, ජනතාව මත පැටවෙන බර අඩුකිරීම තම අරමුණ බව මේ රජයේ ප්‍රධානීන් නිතර පවසන දෙයකි. වාහන බලපත්‍රය අහෝසි කිරීමේ මුදල් ඇමතිවරයාගේ යෝජනාවේ අරමුණ වුයේද එය විය යුතුය. එහෙත් එම යෝජනාවට එරෙහිව රජයේ නිලධාරීන්ගෙන් නැගුනු විරෝධය හමුවේ එය සංශෝධනයට ලක්කොට නිලධාරියෙකුට වසර 10ට වරක් මුළු සේවා කාලයටම දෙවරක් පමණක් ලබාගත හැකි ලෙස එම යෝජනාව සංශෝධනය කෙරුණි. නමුත් නාස්තිය දුෂණය භංග කොට මේ රට සුර පුරයක් කිරීමට කතා කරන මෙම “මහජන නියෝජිතයින්” දැන් තමන්ට පමණක් එවැනි කිසිදු සීමාවක් නොමැතිව තමන්ට රිසි සේ බෙදා ගනිමින් මෙම යෝජනාවන් සම්මත කිරීමට සූදානම් වෙයි. කණගාටුවට කරුණ වන්නේ “උනුත් එකයි – මුනුත් එකයි” කියූ ජ.වි.පෙ. ද ඇඟ බේරා ගැනීමේ උත්තර දෙමින් මෙම වරප්‍රසාද භුක්ති විඳීමේ ගිජුකමින් පෙළීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.