විනිමය සුරැකුම් ලොක්කන් අත්අඩංගුවේ හිටපු සභාපති පනී

dhamikapp
විනිමය සුරැකුම්පත් කොමිසමේ (SEC) හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ධම්මික පෙරේරා මහතා මීට ස්වල්ප වෙලාවකට ඉහතදී මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග විනිමය සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොනී ඉබ්‍රාහිම් නැමැත්තෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් විනිමය සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවාද අත්අඩංගුවට ගැනීමට නියමිත වේ.
‘තාරුණ්‍යයට හෙටක්’
මොවුන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් එහි සේවය කළ සමයෙහි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට රුපියල් මිලියන 05 ක මුදලක් ලබාදීම සම්බන්ධයෙනි. ඔවුන් එසේ එම මුදල ලබාදී ඇත්තේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය හරහා කොටස් වෙළඳපොල පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියකට ආධාර වශයෙනි.
විනිමය සුරැකුම්පත් කොමිසමේ සෙස් ගිණුමේ ඇති මුදල් කොටස් වෙළඳපොලේ කටයුතු සඳහා හැරෙන්නට වෙනත් කිසිම කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි බව විනිමය සුරැකුම්පත් කොමිෂන් පනතේ ප්‍රකාශිතවම දක්වා ඇත. එය අවම වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට හෝ බැරකළ නොහැක. කරුණු එසේ තිබියදී විනිමය සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මික පෙරේරා සිය අත්සන් යොදමින් රුපියල් මිලියන 05 ක මුදලක් තාරුණ්‍යයට හෙටක් සංවිධානය වෙත ලබාදී තිබේ. මොවුන් දෙදෙනාට පෙර සභාපතිනිය වශයෙන් කටයුතු කළ ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියගේ අවධියේදී හිටපු මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ද සුරැකුම්පත් කොමිසමේ මුදල් අවභාවිත කළ බව කියවෙන චෝදනාවක් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට විමර්ශනය කරමින් සිටී.
නාලක ගොඩහේවා සොයා ඔහුගේ නිවසට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් අද (04) සන්ධ්‍යාවේ ගොස් තිබුණද ඔහුට මෙම තත්වය කලින් ආරංචිවීම නිසා නිවසට පැමිණීම මගහැර ගොස් තිබේ.
ලංකා නෙව්ස් වෙබ් හෙළිදරව්වක්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.