‘ස්වෛරී වධකාගාර’ ආරක්‍ෂා කරමු!

‘ස්වෛරී වධකාගාර’ ආරක්‍ෂා කරමු!

ත්‍රීකුණාමලය නාවුක හමුදා කඳවුරෙහි බිම් මාලේ වධකාගාරය ‘සුද්දන්’ දැක බලාගැනීම ස්වෛරීභාවයට තර්ජනයකැයි ජාතික නිදහස් පෙරමුණේ නායක තැන කියා තිබේ. ඇත්තකි! ‘ස්වෛරී’ රටක ජීවත්වන ‘ස්වෛරී’ ජනයාට තම රටේ ‘ස්වෛරී’ හමුදා යටතේ වධ බන්ධනයන්ට පාත‍්‍රවීම ඇති අයිතියට බාධා කිරීම ‘ස්වෛරීභාවය’ට අති මහත් තර්ජනයක් බවට සැක නැත. නමුත් විසි පස් වසරකට පෙර දකුණේදී රාජ්‍ය හමුදා භාරයේ වධ විඳ මියගිය පරම්පරාවක් සමරනු පිණිස නොවැම්බර් 12වැනිදා කොළඹ නව නගර ශාලාවට සෝමවංශ හා වීරවංශ විසින් හවුලේ කැඳවන ලද ඉල් මහ සමරුවේදී ‘ස්වෛරී වධකාගාර’ ගැන මේ විචිත‍්‍ර කල්පනාවන් සෙස්සන් හා බෙදාගන්නට අමතක වීම කණගාටුවට කරුණකි.

රාජ්‍යයේ අපරාධකාරීත්වය ස්වෛරීභාවයෙන් වසන් කිරීමේ ප‍්‍රඥාව දකුණේ සිංහලයන්ට පහළවන්නේ ඒ අපරාධයන්ට දෙමළුන් ගොදුරු වන තරමට ය. රාජ්‍ය හමුදාවන්ගේ වධ බන්ධන කර්මාන්තය ‘සුද්දන්ට’ නොපෙන්වා පවත්වාගෙන යාමේ අසීමිත දොලක් මීට දශක දෙකකට කලින් නොතිබුණේ එහෙයිනි. මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ අණ යටතේ ක‍්‍රියා කළ සෙබළුන් 200 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවත්වාගෙන යනු ලැබූ වැහැර යුද හමුදා වධකාගාරයේ වධ බන්ධනයන්ට ලක්කොට මරා දැමුණු සිය ගණනකගේ ඉරණම ඇසින් දුටු සාක්කිකරුවෙකුගේ ප‍්‍රකාශයක් 2001 ජූනි මාසයේදී ආසියානු මානව හිමිකම් කොමිසම විසින් එළි දක්වනු ලැබිණ. හලාවත, ගල්ගමුව, තඹුත්තේගම, ගිරිඋල්ල, මාවතගම, රිදීගම, පොල්ගහවෙල  හා ප‍්‍රත්‍යන්ත ගම් බිම්වලින් ගෙන එනු ලැබූ තරුණ – තරුණියන් දෙපයින් එල්ලා බොලොක්ක ආධාරයෙන් ගිනිමැලවලට පහත් කරමින් වධ හිංසාවන්ට පාත‍්‍ර කළ ආකාරය ගැන ඔහු විසින් සිදුකළ සවිස්තරාත්මක අනාවරණයේ මෙසේද දැක්විණ:

‘‘මා එහි සිටි කාලය තුළ 400ත් 500ත් පමණ වූ සිරකරුවන් පිරිසක් රාත‍්‍රී කාලයේ රැගෙන ගිය අතර ඔවුහු යළි නොආහ. මරා දැමූ ඔවුන්ගේ සිරුරු අවට ප‍්‍රසිද්ධ ස්ථානවල දැමූ බවට සැක නැත…..මා කඳවුරට ගෙනවිත් මාස කිහිපයකට පසු එහි සිටි සියළුම රුඳවියන් ලොරියකට පටවා පිටතට රැගෙන යනු ලැබිණ. තමන් මරා දමන්නට රැගෙන යතැයි සිතූ ඇතැම්හු සිහි විසඥ වූහ. අපව මහ වනයකට රැගෙන ගොස් රෑ වනතෙක් එහි රඳවා හිඳ රාති‍්‍රයේ පෙරළා කඳවුරට රැගෙන එනු ලැබිණ. මා පසුව දැනගත් පරිදි ඊට හේතු වී තිබුණේ ඒ දිනයේ කඳවුර නිරීක්‍ෂණයට ජාත්‍යන්තර රතු කුරුස නියෝජිතයන් පැමිණීමයි.’’ – ඒ රතු කුරුස නියෝජිතයන් වැහැර හමුදා කඳවුර දැක බලා ගැනීම අපේ ස්වෛරීභාවයට තර්ජනයකැයි කල්පනා කළ කී දෙනෙක් එදා දකුණේ සිටියේද?

Gota’s War 

 

තවත් නිදසුන්  ඕනෑ තරම් ය. මේ ඉන් එකකි: යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ පළමුවෙනි අනු ඛණ්ඩය ත‍්‍රිකුණාමලයේ සිට මාතලේට කැඳවන ලද්දේ 1989 මැයි මාසයේදී ය. මාතලේ දිස්ත‍්‍රික් හමුදා සම්බන්ධීකාරකයා වශයෙන් පත්කොට එවන ලද, එක්සත් ජනපදයේ ෆෝට් බෙනින්ග්හි පුහුණුව ලත් ලූතිනන් කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ යටතේ ජවිපෙ කැරළි මර්දන ක‍්‍රියා සඳහා සක‍්‍රීය ලෙස සහභාගී වූවන් අතර එවකට ලූතිනන්වරුන් වූ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් සහ සුමේද පෙරේරා ද සිටි බව සිය Gota’s War කෘතියෙන් හෙළි කරන ලද්දේ රාජපක්‍ෂවාදියෙකු සේ සැළකෙන සී ඒ චන්ද්‍රපේ‍්‍රම විසිනි. අට මාසයක් ඇතුළත මාතලේ ‘යථා තත්ත්වයට’ පත් කිරීමේදී ගෝඨාභය ඉටුකළ කාර්යය, එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමති රන්ජන් විජේරත්නගේ මහත් ප‍්‍රශංසාවට පාත‍්‍ර වූ බව ද චන්ද්‍රපේ‍්‍රම කියයි. නමුත් ඒ අට මාසය තුළ ගජබා රෙජිමේන්තුවේ කාර්යක්‍ෂම සෙනෙවිවරුන් විසින් කරන ලද ‘ප‍්‍රශංසා සහගත’ මෙහෙවරට ගොදුරුව දිවි බේරාගත්තෙකු 2012 දෙසැම්බර් 09 වැනිදා ‘ජනරළ’ පත‍්‍රයට මෙසේ කියා තිබිණ: ‘‘ගෙනාපු සමහර කොල්ලන්ව අයන්වලින් පුච්චලා හම ගැලෙව්වා. ඇඟිලි අතපය පෙති ගහල මැරුවා. කරන්ට් එක ඇල්ලූවා. එතන ඇස් උගුල්ලන වැඩේ කරන්න ආමිකාරයෙක් හිටියා. මගේ දකුණු පැත්තෙ ඇහැ නැත්තේ ඌ නිසායි……ඒ මිනීමරුවන් වෙරිමරගාතෙ අපි හිටපු තැන දොර ඇරල ගිහින්. මට ඇවිදගන්න බෑ, කකුල් දෙකම කඩලා. ඒත් බඩ ගාගෙනම එළියට ආවා. ඒ විදිහට ඉස්කෝලෙ ගේට්ටුව පැත්තට බඩ ගෑවා…. හරියටම ඉර එළිය වැටීගෙන එනකොට රතු කුරුස වාහනයක් ඉස්කෝලෙට හරවනවා මම දැක්කා. මම අමාරුවෙන් ඒ දිහාට එන්න හදනවා එතන එක්කෙනෙක් දැක්කා…ආමි එකෙක් මාව අරගෙන යන්න හැදුවා. රතු කුරුසෙන් ඒකට ඉඩ දුන්නෙ නෑ. එතන හමුදාවෙ ලොක්කෙකුට ඉංගීසියෙන් කියලා ජීප් එකේ දාගෙන නුවර ඉස්පිරිතාලෙට ගෙනාවා.’

art-353-TORTURE-300x0

මාතලේ විජය විද්‍යාලයේ හමුදා කඳවුර

 

දැන් මිනී කඳු මතුවන මාතලේ විජය විද්‍යාලයේ හමුදා කඳවුර පරීක්‍ෂා කරන්නට, විසි වසරකට පෙර ආ ජාත්‍යන්තර රතු කුරුස නියෝජිතයන් අපේ ස්වෛරීභාවයට තර්ජනයකැයි කණස්සලූ වූ කී දෙනෙක් එදා දකුණේ සිටියේද? එපමණක් නොව, රාජ්‍ය හමුදාවන් විසින් සිදු කළ අතුරුදහන් වීම් 553ක් සම්බන්ධයෙන් රැස්කළ තොරතුරු රැගෙන 1989සැප්තැම්බරයේ ජිනීවා බලා පිටව යන අතරවාරයේ කටුනායක ගුවන් තොටුපොළේදී නවතනු ලැබූවා යැයි කියන මහින්ද රාජපක්‍ෂ, ස්වෛරීභාවයට එරෙහි කුමන්ත‍්‍රණයක නියැළිණැයි කල්පනා කළ කී දෙනෙක් එදා දකුණේ සිටියේද?ඊටත් වඩා, එදා ඒ තොරතුරු රැගෙන යාමට උත්සාහ කරන ලද්දේ, අද ත‍්‍රිකුණාමලයේ නාවික වධ කඳවුර පිරික්සා බැලීමට පැමිණි අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීමේ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව හමුවටම බව දන්නෝ කී දෙනෙක් දැන් දකුණේ සිටිත්ද?

රාජ්‍ය අපරාධ මුවා කළ හැකි බංකරයක් බවට ස්වෛරීභාවය යොදාගැනීමේ මිනීමරු කල්පනාවන් විසි පස් වසරකට පෙර පහළව තිබුණේ ‘ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයකැයි’ 1990 ජනවාරියේ පාර්ලිමේන්තුවේදී වහසි බස් දෙඩූ රන්ජන් විජේරත්න වැන්නන්ට ය. නමුත් 2000 වසරේ මැද භාගය වනවිට ඒ කාර්යය ජනතා විමුක්ති පෙරමුණ මහත් අභිරුචියෙන් සිය කරට ගත් අතර ජාතික නිදහස් පෙරමුණේ නායක කාරකාදීන් දැන් අලූත් වටයකින් පෙරට ගෙන යමින් තිබෙන්නේ ඒ නින්දිත උරුමය මිස අන් කිසිත් නොවේ. එහෙත් විසි පස් වසරකට පෙරත්, පසුත් ලේ පිළී ගඳ ගසන ස්වෛරීභාවය ගැන නීච පුරසාරම් විසින් වසන් කරන්නේ ඊට හිලව් කොට වධ බන්ධනයන්ට හා සමූල ඝාතනයන්ට ලක් කළ උතුරේත්, දකුණේත් පීඩිත මිනිස් පරම්පරාවන්ට ඉටු නොකළ යුක්තියයි.

දශකයෙන් දශකය ලෙළවන ස්වෛරීභාවය පිළිබඳ මේ ලේ වැකි වාගාලාප විසින් දකුණේ මිනිස් විචාර බුද්ධිය වර්ගවාදී මුග්ධත්වයේ බොර සැඩ දියෙහි තව දුරටත් ගිල්වා තැබීමේ තර්ජනය පැරණි ජවයෙන්ම මතු කිරීම විස්මයක් නොවේ. නමුත් සොර දෙටු පරපීඩකයන් සමග ‘නැගිටින්නට අර ඇඳිය හැක්කේ’ ඔවුන් හා බුදියාගත්තවුන්ට පමණි.☐

ප්‍රධාන සේයාරුව: ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් විසින් මාතර හක්මන දී ඝාතනය කරන ලද තරුණයෙකුගේ සිරුර අසළ වැළපෙන ඥාතීන් – 1989 / ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.