ළමා ගී අමා-වසන්තා කේ. මිහිඳුකුලසූරිය

150918wasantha56_n
ළමා ගී අමා ගීත සමුච්චයේ කතුවරිය නිර්මාණ ශික්‌ෂණයකින් යුක්‌තව කල් ගත කොට මෙය මහන්සියෙන් කළ වැඩක්‌ බව පෙනේ. මෙහි එන සියලු ළමා ගීත කතුවරියගේ ස්‌වතන්ත්‍ර නිර්මාණ වන අතර එම ගී පදවලින් කියවෙන අර්ථය ළමයින්ගේ ඇල්ම වඩවන ආකාරයට ඉතා අපූරු ලෙස කෘතියේ සිතුවම් කොට තිබෙන්නේ කලාසූරී ජයසිරි සේමගේ මහතායි.

රන් වැටවට බැන්දූ
සිරිමා බෝ සමි»
රන් කරඬුවේ රැන්දූ
සිරි දළදා සමි»

රැස්‌කොට වැහි බිංදූ
වැව් සාගර බැන්දූ
පෙර මහ නරනින්දූ
කිතුගොස ලොව රැන්දූ

ඉන් පසු ළමාකමට සරිලන සරල බස්‌වහරකින් අපේ අතීතය, ඉතිහාසය වෙත බැඳුණු සංස්‌කෘතික උරුමය දරුවන්ට දායාද කරන ආකාරයද අපූරුය. බොදු උරුමය වූ දළදා වහන්සේ ගැනත් වැව් අමුණු ඇතුළු පෙර මහ රජවරුන්ගේ විශ්මිත නිර්මාණ වන වාරි තාක්‌ෂණය ගැනත් කියාදෙන මේ ගීතය දරුවන්ට අපූරු පාඩමක්‌ වෙයි.

කළු වළවේ කැලණි
මහවැලි ගං රැනි
කඳු හෙල් බැස යමිනී
සරසයි ලක්‌මෑණි

ගිරා මයුර රමණි
මලිති බටිති ලිහිණි
මියුරු කොවුල් නදිනි
සනසයි ලක්‌ මෑණි

මේ ගී නිර්මාණයෙන් දරුවන්ට තමන්ගේ පුංචි රට ගැන භූවිෂමතා පාඩමක්‌ බඳුව සොබා සෞන්දර්යය ගැන කියාදෙන ආකාරය අපූරුය. බෞද්ධ සංස්‌කෘතිය, අතීත උරුමය ගැන කියාදුන් කිවිඳිය ස්‌වභාව සෞන්දර්ය. මුසු භූගෝලීය පසුබිම පිළිබඳ චමත්කාරජනක හැඟීමක්‌ ජනිත කරයි. ළමා නිර්මාණයක තිබිය යුතු විශේෂ ගුණයක්‌ වන්නේ එම නිර්මාණය හරහා දරුවාට බොහෝ පාඩම් කියාදීමට හැකිවීමයි. දරුවා සමාජානුයෝජනය ලබන්නේ මේ නිර්මාණ තුළින් අවශෝෂණය කරගන්නා දැනුම හරහාය. බලන්න මෙම නිර්මාණය දෙස. මේ තුළින් දරුවන්ට අවශ්‍ය මූලික පාඩම් කිහිපයක්‌ම ඉගැන්විය හැකි ආකාරය ප්‍රශස්‌තය. ශ්‍රී මහා බෝධිය පිළිබඳවත් දළදා වහන්සේ සමඟ බුදු සිරිත පිළිබඳවත් කතාන්දරයක්‌ දරුවාගේ වයසට සරිලන ආකාරයෙන් කියාදිය හැකිය. එමෙන්ම පෙර දවස අප රටේ සිටි වැදගත් රජවරු ගැන සහ ඔවුන් ඉදිකළ වැව් අමුණු පිළිබඳවත් දරුවාට ඉගැන්විය හැකිය. අප රටේ තිබෙන වැදගත්ම ස්‌වාභාවික ගංගා ද ඒවා ආරම්භ වන කඳු සහ මුහුදට වැටෙන ස්‌ථාන පිළිබඳවත් ඉගැන්විය හැකිය. ජලජ පැළෑටි වර්ග මෙන්ම ගංගා ඔස්‌සේ වැඩෙන, දණ්‌ඩි, කූනි, පෙතියෝ, ඉස්‌සෝ, කාවයියෝ වැනි මත්ස්‍ය වර්ග පිළිබඳවත් කිඹුලන් වැනි දරුණු සතුන් පිළිබඳවත් කියාදිය හැකිය. දරුවන් ඇලුම් කරන කුරුල්ලන් හා ඔවුන්ගේ නාද පිළිබඳවත් ගීතයෙන් වින්දනයක්‌ ලබා දෙමින්ම ළමයාගේ දැනුම සංවර්ධනය කළ හැකිය. ආධ්‍යාත්මික හික්‌මීමක්‌ සහිතව ස්‌වභාව සෞන්දර්යයට ගහකොළට පක්‌ෂීන්ට ආදරය කරන දරුවකු නිර්මාණය කරගැනීමට මේ ළමා නිර්මාණ සමුච්චයම මහත් සේවයක්‌ කරන බව කිව යුතුය.

මෙම “ළමා ගී අමා” නිර්මාණ සමුච්චය දරුවන්ට අවුරුදු චාරිත්‍ර සමග මානව ධර්මතාද ඉගැන්වීමට අමතක නොකරයි. “සිරියාවයි අවුරුද්දේ” (12 පිට) සඳුයි හිරුයි මගේ ලොවේ (29 පිට) වැනි නිර්මාණ මීට උදාහරණ වේ.

සුබ නැකතින් ගිනි මොළවා
අම්මා කිරිබත් ඉව්වා
නැකතට පැළයක්‌ සිටුවා
තාත්ත කිරිබත් කැව්වා

බුලත් හුරුලු ගනිමු අපි
දෙමාපියන් වඳිමු අපි
වැඩිහිටියන් පුදමු අපි
අවුරුදු සිරි විඳිමු අපි

දරුවන්ට මෙම සිරිත් විරිත් ළමා කාලයේදීම පුරුදු පුහුණු නොකරන්නේ නම් පසුකලක ඔවුන් සමාජ ධර්මතා කිසිවකට ගරු නොකැරේ. ළමා විය ඉක්‌මවන දරුවන් ලෙස සමාජානුයෝජනය වීමේ දී දරුවන් ශික්‌ෂණය කළ යුත්තේ මෙවැනි ගුණධර්ම, චාරිත්‍ර වාරිත්‍ර හා සමාජ ධර්මතා ඔස්‌සේය. සඳුයි හිරුයි මගේ ලොවේ (29 පිට) ගීතයද දෙමාපියන් හිරුට සහ සඳට රූපකාර්ථවත් කරමින් මාපිය වන්දනය වස්‌තු කර ගත්තෙකි. එය මවුපියන්ට, වැඩිහිටියන්ට ගරු කිරීම උගන්වන්නකි. කුඩා කාලයේම මේ මානව ධර්මතා අත්හැරුණු දරුවන් තුළ ඇති සමාජ වෛරය කෙතරම්ද යන්න නාගරික සමාජයේ නව පරපුර කියා ගොනු වන සමාජ කොටස්‌ දෙස බැලීමෙන් තේරුම් ගත හැකිය. දරුවන්ට ළමා කාලය අහිමි කිරීම මෙන්ම ගුණධර්ම ප්‍රගුණ නොකරවීම සමාජ ෙ€දවාචකයක්‌ වන බවට හොඳම උදාහරණ දෙන්නේ මේ අයගේ අදහස්‌ හා සිතුම් පැතුම්ය. ළමා ගී අමා ගී සමුච්චය මේ සියලු රික්‌තක පුරවන බව පෙනේ. එහි ඇතැම් ගීත ආගම දහම කෙරෙහිද දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීමට උත්සාහ ගනී. “සිලි සිලියයි බෝ දල්ලේ – පොසොන් සඳේ සඳ රැල්ලේ” (17 පිට) “බුදු සාදුට ගී ලියන්න ආකාසේ ඉඩ මදි” (21 පිට) වැනි නිර්මාණ තුළින් ඒ අඩුවද පිරිමැසී තිබේ.

සමාප්තිය

වසන්තා කේ. මිහිඳුකුලසූරිය මහත්මියගේ “ළමා ගී අමා” නමැති ගීත සමුච්චය සැබැවින්ම මෑත කාලයේ ළමා ගීත සාහිත්‍යයට වැටුණු මිණි මිණි පොද වැස්‌සකි. වසරකට නවකතා 100 ඉක්‌මවා පළවෙතත් ළමා නිර්මාණ පළ වන්නේ ඉතා අල්ප වශයෙනි. එහෙත් ළමුන් යනු එසේ නොසලකා හැරිය යුතු පිරිසක්‌ නොවේ. දින දින වියෑකෙමින් යන එම ළමා සාහිත්‍යය උදෙසා කතුවරිය දුක්‌ඛසෙයියාවෙන් වුවද නිමකළ මේ නිර්මාණ ප්‍රයාමය දරුවන්ට සාරඵල නෙළා දෙන ගීත සමුච්චයක්‌ බව සැකහැර සඳහන් කළ හැකිය. කුමන ක්‌ෂේත්‍රයකවත් ගැඹුරක්‌ නැති අල්පශ්‍රැත මිනිසුන්ට මේ නිර්මාණවල අගය නොවැටහුණද සංස්‌කෘතික විඥානයක්‌ ඇති තිලකරත්න කුරුවිට බණ්‌ඩාර වැනි ප්‍රවීණයන් මේ ගීත සමුච්චය ගුවන්විදුලියේ ප්‍රචාරය කිරීමට ඉහළින්ම තෝරාගැනීමද අගයl කළ යුතුය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලය

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.