11 අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව… යාපනය පොලිසියට ආයෙත් ඇණගෙන?……….

yapanaya-policeදිනසේන රතුගමගේ

පොලිස් ත්‍රස්තමර්දන අංශය මගින් පසුගිය සතිය තුළ යාපනයේදී තරුණයින් එකොලොස්දෙනෙකු අත් අඩංගුවට ගෙන් ඇත්තේ නීති විරෝධී අන්දමට බව කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කොට තිබේ.
පොලිස් ත්‍රස්තමර්දන අංශය මගින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක වන බව පැවසෙන ”ආවා ගෲප්” කල්ලියේ සාමාජිකයින් පිරිසක් බවට චෝදනා ඉදිරිපත් කරමිනුයි.

ඥාතීන් මානව හිමිකම් කොමිසමට පවසා ඇත්තේ ”ආවා ගෲප් ”කල්ලිය යනු මංකොල්ල කල්ලියක් ලෙසට ආරක්ෂක ප්‍රධානීන් හදුන්වා දී තිබියදී තම ඥාතීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන කොළඹ පිහිටි එම මුලස්ථානය වෙත රැගෙන ගොස් රදවාගෙන ප්‍රශ්න කිරීම නීති විරෝධී බවයි.

මේ ගැන තොරතුරු විමසූ විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරී තංගවේල් කනකරාජ් කියා සිටියේ ලැබී ඇති පැමිණිලි එකොලහක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කොට ඇති බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේදී හා රදවාගැනීමේදී මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කොට ඇති නිර්නායකයන්ට අනුව එම නිලධාරීන් ක්‍රියා කොට ඇත්දැයි යන්න සොයා බලන බවද එම නිලධාරියා කියා සිටියේය.

පොලිස් ත්‍රස්ත මර්දන අංශය මගින් අත් අඩංගුවට ගත් එකොලොස් දෙනාගෙන් තුන්දෙනෙකු අත් අඩංගුවට ගත් බවට ඔවුන්ගේ ඥාතීන්ට දැණුම්දීමක් හෝ ලදුපත් නිකුත් කිරීමක් සිදු කොට නොමැති බව මානව හිමිකම් නිලධාරියා පැවසීය.
යාපනයේදී අත් අඩංගුවට ගත් මේ පිරිස කොළඹට රැගෙන ගොස් ඇති බැවින් යාපනය කාර්යාලයේ නිලධාරීන්ට ඊට සෘජුවම මැදිහත් වීමට ඇති ඉඩකඩ අවම වී ඇති හෙයින් කොළඹ නිලධාරීන් හා දැඩි සම්බන්ධිකරණයක් යටතේ මෙම පරීක්ෂණ කටයුතු කරගෙන යාමට සිදුව ඇති බවද ඔහු සදහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.