Bangladesh premier league : ක්‍රීඩකයන් හත්දෙනකුට වරම්

 

 

Bangladesh_

 

එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට බලාපොරොත්තුව සිටි ගිවිසුම්ගත ක්‍රීඩකයන් 16 දෙනකුට ඒ සඳහා විරෝධතාවක් නොදැක්වීමේ සහතික (එන්.ඕ.සී.) ලබානොදීමට පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කරන ලද නමුත් එම තීරණය ආපස්සට හරවමින් ගිවිසුම්ගත ක්‍රීඩකයන් හත්දෙනකුට පමණක් බී.පී.එල්. තරගාවලියට යෑම සඳහා අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.
තිලකරත්න ඩිල්ෂාන්, සචිත්‍ර සේනානායක හා අජන්ත මෙන්ඩිස් යන ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගිවිසුම් අස්සන් කර ඇති ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයන් තිදෙනා සමඟ ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර, තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් හතර දෙනාටද බංග්ලාදේශ තරගාවලියට යෑමට අවසර ලබාදී ඇත.

 

බී.පී.එල්. තරගාවලිය මේ මස 22දා සිට දෙසැම්බර් 15දා දක්වා පැවැත්වීමට නියමිත අතර එම දින වකවානුවලදීම ශ්‍රී ලංකාවේ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියත් දෙසැම්බර් – ජනවාරි මාසවලදී ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයත් හේතුවෙන් ගිවිසුම්ගත ක්‍රීඩකයන්ට එසේ බී.පී.එල්. තරගාවලියට තහංචි පැනවීමට පසුගියදා තීරණය විය.
එහෙත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින යහපත් ක්‍රිකට් සබඳතාව තවදුරටත් පවත්වාගෙන යෑමේ වැදගත්කමත්, මේ දිනවල මෙරට පවතින වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් නොවැම්බර් 20දාට ආරම්භ වීමට නියමිතව තිබූ පළමු පෙළ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය සතියකින් කල් දැමීමත් මෙසේ තීරණය වෙනස් වීමට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

තවද ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත පළමු කලාප විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරවා ගැනීමේදී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේද දායකත්වය ලබාගැනීමේ අරමුණ ඇතිවද මෙසේ බී.පී.එල්. සඳහාද නම්‍යශීලී තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පැමිණ ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත් බී.පී.එල්. සඳහා සහභාගි වීම හේතුවෙන් එම ක්‍රීඩකයන්ට මෙරට පළමු පෙළ තරගාවලියේ වට කිහිපයක් මඟ හැරෙන නමුත් එම ක්‍රීඩකයන් 7 දෙනා මුදාහැරීමට අදාළ ක්‍රීඩා සමාජද අනුමැතිය දී ඇතැයි පැවැසේ. එසේම මේ සඳහා සහභාගි වන සමහර ක්‍රීඩකයන් පෙන්වා දී ඇත්තේ බී.පී.එල්. තරගාවලියෙන් ලැබෙන අත්දැකීම් ඉන්පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේදී එරටේදීම විස්සයි – 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියටද ප්‍රයෝජනවත් වන බවයි.
තවද මෙසේ සහභාගි වන ප්‍රධාන කොන්ත්‍රාත්තු අස්සන් කරන ලද ක්‍රීඩකයන් 7 දෙනාට අමතරව
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර් සංගක්කාර හා ඩිල්ෂාන් මුණවීරද බී.පී.එල්. තරගාවලියට සහභාගි වෙති.

Only seven cricketers get nod for Bangladesh Premier league.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.