Lotterey: ස්‌වීප් ඇදෙන්නේ නැත්තේ ඇයි…?

කොච්චර ගත්තත් අපට ස්‌වීප් ඇදෙන්නේ නැත්තේ ඇයි…?
ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනිය පිළිතුරු දෙයි

* මේ දවස්‌වල එක දවසකට ගොවිසෙත ලක්‌ෂ 30ක්‌ විකිනෙනවා…
* දිනුම් අදින යන්ත්‍රය කෝටි 6 ක්‌…

ශාමිලා පෙරේරා මහත්මිය

මේ වන විට මෙරට ලොතරැයි ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල් මෙරට ලොතරැයි මණ්‌ඩලය මගින් පිරිනැමීමත් සමඟ ජනතාව ලොතරැයි මිලදී ගන්නේ තරගයට මෙනි. එම නිසා ඇතැමුන් ලොතරැයි මිටි පිටින් මිලදී ගැනීමද දැකිය හැක. තමන්ට ගොඩ යා හැකි එකම ක්‍රමය මෙය යෑයි සිතා ලොතරැයි මිලදී ගන්නෝ ද බොහෝ ය. ඒ අතරේ ලොතරැයි වැඩි වශයෙන් මිලදී ගත්තද තමන්ට දිනුමක්‌ නොමැති වුවහොත් එම ලොතරැයි සම්බන්ධයෙන් සැක සංකා උපදවා ගැනීමටද ඇතැමුන් පෙළඹී සිටිති. මේ නිසා ඇතැමුන් ලොතරැයි පිළිබඳවත් එහි දිනුම් ඇදීමේ ක්‍රමවේදය පිළිබඳවත් විවිධ කට කතා පතුරුවති. සමාජයේ අද බොහෝදෙනා මේ ලොතරැයි තමන් ගේ ජීවිත වල කොටසක්‌ කරගෙන ඇති නිසා මේ කරුණු සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශාමිලා පෙරේරා මහත්මියගෙන් විමසුවෙමු. ඇය ඒ ගැන දිවයින ඉරිදා සංග්‍රහයට කරුණු දැක්‌වූයේ මෙසේය. lottery

අපේ තෑගි රටාවක්‌ තිබෙනවා එය විද්‍යානුකූලව සාදන ක්‍රමවේදයක්‌. මේ තනතුරට එන්න කලින් මමත් හිතුවේ ඔය වගේ එක එක දේවල්. ඒත් මෙතනට ආවහමයි තේරුණේ මේ ලොතරැයි කියන එක විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කරන දෙයක්‌ බව.

අපි විකුණන හැම ලොතරැයි වලින්ම සියයට හතලිස්‌ හතක්‌ තෑගි සඳහා වෙන්කරනවා. ඒක පාර්ලිමේන්තු පනතකින් නියම කරලා තියෙන්නේ.

ඉතිරි සියයට පනස්‌ තුනෙන් ඒකාබද්ධ අරමුදලට දෙන්න ඕන. වසරකට අපි මිලියන තුන්දහස්‌ පන්සියයක්‌ ඒකාබද්ධ අරමුදලට දෙනවා. වෙනම අදායම් බදු ගෙවනවා. වැට්‌බදු, ජාතිය ගොඩනැඟීමේ බදු ගෙවනවා. ප්‍රචාරණ කටයුතු සියල්ල කරන්න ඕන.

ටිකට්‌ පතකින් රුපියල් තුනයි පනහක්‌ ලොතරැයි නියෝජිතයන්ට හා විකුණන අයට ගෙවනවා

බදු සඳහා රුපියල් දෙකක්‌ වැයවෙනවා

ලොතරැයියක්‌ මුද්‍රණයට ශත පනහක්‌ වැයවෙනවා

මේ සියල්ල වැය කළ පසු සමහර ටිකට්‌ වර්ග වලින් සතයක්‌වත් ඉතිරි වෙන්නේ නැහැ

ලොතරැයි දිනුම් ඇදීම් සැම විටම අපි සිදුකරන්නේ විශේෂ අධීක්‌ෂණ මණ්‌ඩලයක්‌ ඉදිරිපිට. අධීක්‌ෂණ මණ්‌ඩලය පවා වරින් වර මාරු වෙනවා. පොලිස්‌ නිලධාරියෙක්‌ ඉන්නවා. විගණන නිලධාරියෙක්‌ ඉන්නවා. අපේ ආයතනයේ අය ඉන්නවා. මේ දිනුම් ඇදීම් සිදුකරන්නේ රුපවාහිනි සංස්‌ථාව ඇතුළේ. මේක ඉතාම විනිවිද භාවයකින් කරන්නේ. ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් අවසර අරගෙන මේ දිනුම් ඇදීමේ ක්‍රමය බලන්න පුළුවන්.

මේ සඳහා යොදා ගන්නා විශේෂ යන්ත්‍රය ප්‍රංශයෙන් ගෙන්වන ලද එකක්‌. එය රුපියල් මිලියන පනහක්‌ පමණ වෙනවා. සමහර ඒවා මිලියන හතලිස්‌ පහක්‌ වෙනවා. සමහර ඒවා මිලියන හැටක්‌ වෙනවා. හැබැයි මේ එක යන්ත්‍රයක්‌වත් මම ගෙනත් නැහැ. මේ සේරම කලින් ආණ්‌ඩුව කාලේ ගෙනාපු ඒවා. මෙෂින් එකේ බෝල අතින් අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඒවා අල්ලන්නේ ග්ලවුස්‌ දාලා. ඒවා අල්ලන අයත් විශේෂ පුහුණුවක්‌ ලැබූ අය. මේ එක බෝලයක මිල රුපියල් දාහතර දහසක්‌ පමණ වෙනවා.
lotteryym
සෑම ලොතරැයි හයකින්ම එකකට තෑග්ගක්‌. ඒක රුපියල් විස්‌සක්‌ වෙන්න පුළුවන්, කෝටියක්‌ වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ පොදුවේ ගත්තහම විකිණෙන මුළු ටිකට්‌පත් ප්‍රමාණයට අදාළව. මේ වෙන කොට ගොවිසෙත මුල් දිනුම වැඩි හින්දා එක දිනුම් වාරයකට ටිකට්‌පත් ලක්‌ෂ විසිපහත් තිහත් අතර විකිණෙනවා. මීට කලින් එක දිනුම් වාරයකට ගොවිසෙත විකිණුqනේ ලක්‌ෂ පහළොවක්‌, විස්‌සක්‌ විතර. හැබැයි මේ පාර දිනුම ඇදුනට පස්‌සේ ඕක ලක්‌ෂ පහළොවට ආපහු බහිනවා.

මේක අපි කාටවත් ඕන විදිහට අංක අද්දවන්න බැහැ. මෙතන දහස්‌ ගාණක්‌ වැඩ කරනවා. ඒ අයගේ පවුල්වල අයත් ටිකට්‌ ගන්නවනේ. එහෙම අද්දවන්න පුළුවන් නම් මේ හැමෝම තමන්ගේ අයට මේ ටිකට්‌පත් දිනවලා දේවි. ඒත් එහෙම කරන්න බැහැ. කාටවත් ඕන වුණත් ඒක කරන්න බැහැ.

ගොඩක්‌ අය කියනවා ලොකුම තෑග්ග බෙදලා දෙන්න කියලා. ඒත් ඒක කරන්න බැහැ. මේක විද්‍යානුකුලව හදලා තියෙන්නේ වෙනම විශේෂ මණ්‌ඩලයකින්. ඒකෙ ඉන්නේ විශේෂඥ දැනුම තියෙන අය. විගණන නිලධාරීන් ඒ මණ්‌ඩලයේ ඉන්නවා. සියලු දෙනා සාකච්ඡා කර තමයි, මේවා හදලා තියෙන්නේ මේ එකක්‌ වෙනස්‌ කරනවා නම් තෑගි රටාව පමණක්‌ නොව දිනුම් ඇදීමේ රටාව පවා වෙනස්‌ කළ යුතුයි.

ලොතරැයි දිනුම්ගැන ජනතාව හිතන විදිහේ වැරැද්දකුත් නැහැ. හේතුව මේ ලොතරැයියක්‌ මිලදී ගන්නා ඔනම් කෙනෙක්‌ හිතන්නේ මේක තමන්ට ඇදෙන්න ඕන කියලා.

මම දිනපතා අඩුම ගානේ ලොකු චෙක්‌පත් දහයක්‌වත් අත්සන් කරනවා තෑගිවලට. මේ වසරේ මේ දක්‌වා රුපියල් මිලියන හය දහස්‌ හාරසිය එකක්‌ තෑගි විදිහට බෙදලා දීලා තියෙනවා.

මේ වසරේ ජනවාරි සිට මේ දක්‌වා සුපිරි ත්‍යාග 28 ක්‌ පිරිනමා තිබෙනවා.

එසේම ලොතරැයි දිනුම් වාර ගණන අපි වැඩි කළා.

සමහර ත්‍යාග ගන්න කවුරුත් එන්නේ නැහැ. කවුරුන් හෝ එම ත්‍යාග ගන්න ආවේ නැත්නම් මාස හයකට පස්‌සේ ඒකාබද්ධ අරමුදලට අපි ඒ මුදල බැර කරනවා.
lotterylanka
2015 වසරේ මේ වෙනකොට අපේ ආදායම රුපියල් මිලියන පහළොස්‌ දහසක්‌.

මේ වසර අවසන් වන විට එය රුපියල් මිලියන දාහත්දහසක්‌ වෙතැයි බලාපොරොත්තු වෙනවා. 2016 වසරේ අපේ ඉලක්‌කය මිලියන විසිදහසක ආදායමක්‌ ලබාගැනීමයි.

2015 වසරේ මේ වන කොට රුපියල් මිලියන දෙසීයක ලාභයක්‌ අප ලබා තිබෙනවා , අපි නිරෝගා ලොතරැයිය ආරම්භ කළා. ඒක දිගටම කරගෙන යනවා.

2016 වසරේ ජංගම දුරකථන ඔස්‌සේ කෙටි පණිවිඩ ලොතරැයියක්‌ ආරම්භ කරනවා.

අපි දැනට ඉන්නේ කුලියට. මේ සඳහා මාසිකව අපි විශාල කුලියක්‌ ගෙවනවා. අපි දුම්රිය හා බස්‌ ආසන්න තැනක ඉන්න ඕන. ඒ බස්‌ හා දුම්රිය හරහා ලොතරැයි නියෝජිතයන්ට යවන්නේ. ඒ නිසා අපි අපේ මූලස්‌ථානය ඉදි කිරීම 2016 වසරේ කොළඹ වොක්‌ෂෝල් වීදියේ ආරම්භ කරනවා.

මේ ආයතනය ලාභ ලබන වාණිජ ආයතනයක්‌ බවට පත් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ජනිත සෙනෙවිරත්න

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.