Peradeniya:හෙන්රි රහසක් හෙළිදරව් කරයි

HENRY

 

 

මහාචාර්යවරයෙක් ප්‍රාණ ඇපයට ගත් පරාජිත ශිෂ්‍ය සටනක් ගැන හෙන්රි වර්ණකුලසුරිය අපුරු හෙලිදරව්ව්ක් කොට තිබේ.බොහෝ කාලයක් සැඟවී තිබු මේ රහස ඒ උද්වේගකර නාටකයේ ප්‍රධාන චරිතයකින්ම  අසා දැනගමු

 

(ප්‍රථම වරට ලිඛිතව හෙළිදරව් කරන සත්‍ය කතාවක්)

 

 

80 දශකයේ මුල් භාගයේදී පේරාදෙනිය සරසවියේ පැවැතියේ අතිශය පීඩාකාරී පාලනයක්. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ විජයග්‍රාහී ආණ්ඩුව දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිස ඔසවන්නට ඉඩ නොදීමේ අරමුණින්. ජ.වි.පෙ. ගැන කවරාකාරයේ විවේචන තිබෙන අයෙකුට වුවත් ඒ යුගයේ සරසවිය තුළ වූ අමනෝඥ රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් තිබුණේ එකී දේශපාලන ව්‍යාපාරයට පමණක් බව අමතක කරන්නට නොහැකි බවයි මගේ කල්පනාව වන්නේ.

 

වාර්ෂිකව පැවැත්වෙන සරසවි ශිෂ්‍ය නිළවරණයෙන් සුපුරුදු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය අති බහුතර ජයක් ලබනු නොරිසි පාලක පක්ෂය තම හිතවාදී සමවාදී ශිෂ්‍යයන් හෙවත් සරසවි බසින් පවසනවා නම් “ජුන්ටන්” උපයෝගී කොටගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශිෂ්‍ය පෙළපාලියකට මාකස් ශාලාව අසලදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

 

මේ ප්‍රහාරයට විරුද්ධව පොදු ශිෂ්‍යයන් පංති වර්ජන, පිකටිං සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන් නිශ්චය කිරීම සඳහා පාලකයන් විසින් උදලාගම විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් යුතුව කොමිසමක් පත් කරනු ලැබුවා. එය “උදලාගම කොමිසම” නමිනුයි හැඳින්වුණේ.

 

කූප්‍රකට උදලාගම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරය එල්ල කළ “ජුන්ටන්” නිවැරදිකාරයන් වී ප්‍රහාරයට ලක්වූවන්ගේ පංති තහනම් කෙරෙන කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වුණා. පසු කාලයේ ජාතික තලයේ ජ.වි.පෙ. ක්‍රියාධරයෙකු මෙන්ම එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ ආනන්ද ඉඩමේගම (ධම්මික මහත්තයා) ඇතුළු සත් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීම පොදු ශිෂ්‍යයන්ගේ සිත් සතන් තුළ කිසියම් ආකාරයකට පාලකයන්ට එරෙහි වෛරී හැඟීමක් ජනිත කරන්නට සමත් වුණා.

 

Idamegama

ධම්මික මහත්තයා නොහොත් ආනන්ද ඉඩමේගම

 

ඉන් අනතුරුව මේ අසාධාරණ පංති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට එරෙහිව නිරන්තරයෙන් විරෝධතා ව්‍යාපාර සංවිධානය වුණා. පිකටිං, පංති වර්ජන මෙන්ම අභියෝගාත්මක පෙළපාළි සරසවි දිවියේ සාමාන්‍ය එදිනෙදා අත්දැකීම් බවට පත් වෙන්නට වැඩි කලක් ගත වූයේ නැහැ.

 

මේ කිසිදු විරෝධතාවක් තඹේකට මායිම් නොකළ, සිසුන්ට පියෙකු විය යුතු යැයි මා විශ්වාස කරන, එහෙත් මැර පාලකයෙකු ලෙස නම් කරන්නට මා නොපැකිළෙන උපතුලපති පණ්ඩිතරත්න  දිනෙන් දින ශිෂ්‍ය මර්දනය දියත් කළේ විරෝධතාවේ යෙදෙන සිසුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරමිනුයි.

 

මෙහි කූටප්‍රාප්තිය වූයේ ශිෂ්‍යයන් උපවාසයක් කරා තල්ලු කිරීමයි. මා කලින් සඳහන් කළ පිකටිං, පංති වර්ජන, පෙළපාළි වැනි විරෝධතා නිෂ්ඵල ප්‍රයත්නයන් බවට පත්වෙද්දී, සිසුන් උපවාස කරා යොමු වීම වැළැක්විය නොහැකියි. උපවාසය ආරම්භ කෙරුණේ සරසවි පරිපාලනය ඒකකය පිහිටි සනාතන මන්දිරයට යාබද කලා පීඨ ගොඩනැගිල්ලත්, ප්‍රධාන පුස්තකාලයත් යා කරන විවෘත කොන්ක්‍රීට් වහළය මත තැනූ අට්ටාලයකයි.

 

 

Senate          සනාතන මන්දිරය අසල උපවාසය කළ කොන්ක්‍රීට් වහළ

 

ශිෂ්‍යයන් හත්දෙනාගේ පංති තහනම ඉවත් කිරීමට බල කරමින් තවත් සිසුන් හත්දෙනෙකු උපවාසයට හිඳගත්තේ ජයග්‍රහණයකින් මෙපිට සටන අත්හරින්නේ නැති බවට සපථ කරමිනුයි. එහෙත් මේ උපවාසය ගැන නෑසූ කන් ඇතිව සිටින්නට පාලකයන් පියවර ගත්තේ සිය උද්දච්ඡභාවය ප්‍රකට කරමින් අන්තනෝමතික ආකාරයටයි.

 

මේ තත්ත්වය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග ප්‍රයෝගිකව සම්බන්ධ නොවූ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමග අනුගතව නොසිටි අප වැනි පොදු කාරණාවලදී ක්‍රියාකාරී වූ ශිෂ්‍යයන් ශිෂ්‍ය සටන වෙත  ආකර්ෂණය වුණා. විවිධ ඉසව් වල විසිරී සිටි සිසුසිසුවියන් කිසියම් සහෝදරාත්මක බැඳීමකින් එක් අරමුණක් වෙත සමීප කරන්නට ‍පාලකයන්ගේ අසාධාරණ මුණිවත බල කළා.

 

උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ වූයේ ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ බහුතරයක් උපතුලපතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුළින් හෙළා දකින තත්ත්වයක් යටතේදීයි.

 

මාරාන්තික උපවාසය දවසින් දවස ගෙවෙද්දී ශිෂ්‍යයන් අතර හැඟීම් ඇවිස්සෙන්න පටන් ගත්තා. මුළු සරසවියම එකා වන්ව පංති වර්ජනයකට අවතීර්ණ වූයේ මාරාන්තික උපවාසයත් සමගයි. දිනපතා අති දැවැන්ත පෙළපාළි සරසවි බිම ආක්‍රමණය කළා. ගලහ හංදියේ සිට සනාතන මන්දිරය දක්වා මොර දෙමින් විවිධ සටන් පාඨ කියමින් ඇදෙන පෙළපාළිවලට දිනෙන් දින එක් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූයේ පාලකයන් වෙත භීතියේ සංඥාවක් ගෙන එමිනුයි.

 

අවසානයේ සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා ශිෂ්‍යයන්ට වහාම පිට වන ලෙස බල කෙරුණා. එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැලෙන සහෝදර සිසුන් අත්හැර ගම්බිම් කරා යන්නට වැඩිමනත් සිසුසිසුවියන් පෙළැඹුණේ නැහැ. පාලකයන්ගේ අණට එරෙහි වූ ඔවුන් සරසවි බිමේ කඳවුරු බැඳගත්තා.

 

බලහත්කාරයෙන් පොලිසිය සරසවි බිමට ඇතුළු වී උපවාසයේ යෙදෙන සිසුන් පැහැරගෙන යන්නට ඉඩ ඇති බවට ඇති වූ සැකය සිසුන් ජයගත්තේ විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි සියලු මාර්ග අවහිර කොට, ගස්වල අතු කපා බාධක යොදා සිය අණසකට නතුකොට ගැනීමෙනුයි. මේ මාර්ග බාධක දිවා රෑ නොතකා පැය විසිහතරේම සන්නද්ධව සුරැකීමට සිසුන් පියවර ගත්තා.

 

උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අවදානම් වෙද්දී ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පවා අත්හිටවූ උපකුලපතිවරයා සිය කාර්යාලයට පැමිණීමද සීමා කළා.

 

ඒ සමගම ශිෂ්‍යයන් ජිවිත අවදානමෙන් බේරා ගැනීම සඳහා පාලකයන්ට බල කෙරෙන දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකදී තින්දු වුණා. මාද ඊට සහභාගි වී සිටියේ දැඩි ආවේගශීලී හැඟීම් සමගයි. ඒ අනුව උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් ලබාගැනීමට තීන්දු වුණා. ඉන් එහා විකල්පයක් අප ඉදිරියේ වූයේ නැහැ.

 

එදින දහවල් 12 ට පෙර උපකුලපතිවරයා සිය කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන අනතුරුව උපවාස ස්ථානය දක්වා බලහත්කාරයෙන් කැඳවාගෙන ඒමට තීන්දු වුණා. මෙය අතිශය වගකීම් සහිත, අවදානමෙන් යුතු කටයුත්තක් බව අප දැනගෙන උන්නා. ඒ සඳහා සූදානම් වුණා. සරසවිය පුරා විසිරී සිටි දහස් ගණනක් සිසුසිසුවියන් තමයි අපගේ ශක්තිය වු‍ණේ.

pacha gaha

 

පේරාදෙනි සරසවි පච ගහ

 

උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගැනීමට සමගාමීව සනාතන මන්දිරය ඉදිරිපිට “පචගහ” අසලින් ආරම්භ වන දැවැන්ත පෙළපාළියක් සංවිධානය කෙරුණේ ‍පාලකයන්ගේ පමණක් නොව ශිෂ්‍යයන්ගේ අවධානයද වෙනතකට යොමු කිරීම සඳහායි. පෙළපාළිය ගලහ හංදියට වෙත ගමන් කොට උපවාස අට්ටාලය වෙත ආපසු පැමිණෙන කාලය අතරතුර ඉතා රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.

 

නියමිත වේලාව වන විට උපකුලපතිවරයා එදින නොපැමිණෙන බවත්, එවකට විද්‍යා පීඨාධිපති වූ මහාචාර්ය ඩයස් වැඩබලන උපකුලපති ලෙස පණ්ඩිතරත්නගේ උපදෙස් ක්‍රියාත්මක කරන බවත් අපට ආරංචි වුණා.

 

පෙළපාළිය දැවැන්ත පිඹුරෙකු ඇදෙන්නා සේ කලාගාරය ඉදිරිපසින් අල්විස් වටරවුම  දෙසට ඇදෙන්නට පටන් ගත්තා. ඝෝෂාකාරී සටන්පාඨ වලින් මුළු සරසවි බිමම දෝංකාර දෙන්නට වුණා. මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ ජීවිත, අවදානමේ බවත් කිසිදු අහරක් හෝ පානයක් නොමැතිව පස්වන දිනයටත් ළඟා වන හෙයින් තව පමා වුවහොත් උපවාසය නැවතුණත් දීර්ඝ කාලීන ආබාධවලට ඔවුන් ලක්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සිසුන් පැහැදිලි කළා.

 

ඒ මොහොතේ ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී‍මට මේ තත්ත්වය අපට බල කළා. ඒ අනුව උපකුලපතිවරයා වෙනුවට මහාචාර්ය ඩයස් අත්අඩංගුවට ගැනීමට තීන්දු වුණා. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ කිසි ලෙසකින් මහාචාර්යවරයාට හඳුනාගත නොහැකි සිසුන් බවට කළ යෝජනාවට අනුව මාත් මා සමග නිෂ්පාදන ඉංජිනේරු විෂයයන් හැදෑරූ ‘ජැකා’ත් (‘ජැකා’ යන අනවර්ථ නාමය නිසා ඔහුගේ අනන්‍යතාව මේ ලිපියේදී සුරැකෙනු ඇති. දන්නෝ දනිති.) තවත් කිහිප දෙනෙකුත් ඊට මූලික වන්නට එකඟ වුණා. මහාචාර්ය ඩයස්ගේ රූපකාය අප නොහඳුනන හෙයින් විද්‍යා පීඨයේ ඔත්තුකරුවෙකු අපට පෙර එතුමාගේ කාර්යාලයට ගොස් එතුමන් එහි සිටින බව ස්ථිර කළා.

 

මමත් ‘ජැකා’ත් මට නමින් සිහිපත් නොවන තව දෙතුන් දෙනෙකුත් විද්‍යා පීඨාධිපති කාර්යාලයට ගොස් කෙටි දේශනයක් පැවැත් වූවේ මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවිත අවදානම පැහැදිලි කරමින් වැඩ බලන උපකුලපතිවරයා ලෙස එතුමන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නටයි. එසේම මේ මොහොතේ උපවාස අට්ටාලය වෙත ගොස් අප පවසන කාරණා සියැසින් දැක බලාගැනීමේ වැදගත්කමත් අප අවධාරණය කළා.

 

මහාචාර්ය ඩයස් දැඩි භීතියකට පත්වුණා නිසැකයි. තමන්ට අප හා පැමිණෙන්නට නොහැකි බව එතුමන් පවසා සිටියා. එහෙත් අප පැමිණ සිටියේ අපගේ ඉලක්කය ජය ගැනීමට මිස හිස් අතින් ආපසු යන්නට නම් නොවේ. මාත් ‘ජැකා’ත් මහාචාර්යවරයා දෙපසින් ඔසවා ගත්තා. අප සූදානම් වූයේ ඔසවාගෙන වුව එතුමන් උපවාස අට්ටාලය වෙත රැගෙන යන්නටයි. තමන්ට ගැලවිමක් නොමැති බව තේරුම් ගත් මහාචාර්යවරයා තමන්ව බිමින් තබන ලෙසත්, අප හා එන්නට එකඟ බවත් පැවසූවා.

 

මේ වන විට පෙළපාළිය නමැති පිඹුරු රාජයා ගලහ පාර ඔස්සේ ආපසු පැමිණෙමින් තිබුණා. ඊට සමාන්තරව මහාචාර්ය ඩයස් ආරක්ෂක වළල්ලකට මැදි කොටගෙන අප ඉදිරියට ඇදුණේ විකල්ප මගක් ලෙස සරසවි ක්‍රීඩා භූමිය ඔස්සේ වැටී ඇති අඩිපාර දිගේයි. කිසිදු අතුරු හිංසාවකින් තොරව මහාචාර්යවරයා උපවාස භූමියට රැගෙන ඒම සඳහායි, පැහැර ගැනීමේ සංවිධායකයින් විසින් මේ ආරක්ෂක වළල්ල යොදා තිබුණේ. මේ වළල්ලෙන් රිංගා මහාචාර්යවරයාගේ වෘෂණ කෝෂ මිරිකන්නට තැත් කළ කඩප්පුලියෙකුව තග දමා ඉවත් කරන්නටත් සිදු වුණා.

 

dias case

විද්‍යා පීඨයෙන් සනාතන මන්දිරයට

 

මහාචාර්යවරයා අට්ටාලය පිහිටි උස් ස්ථානයට ඉණිමගක් යොදාගෙන නැංවීම දක්වාම මමත්, ‘ජැකා’ත් දෙපසින් උන්නේ අප බාරගත් රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරමිනුයි. මහාචාර්ය ඩයස් උපවාසකරුවන්ගේ සුවදුක් විමසන්නට උත්සුක වූයේ තමන්ගේ ජිවිතයත් අනතුරක නොවේදැයි භීතියෙන් යුතුව විය යුතුයි.

 

මහාචාර්යවරයා බේරාගැනීමේ මෙහෙයුම ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුවුණා. උපකුලපතිවරයා, යටත් වු බව ප්‍රකට කරමින් සියලු ඉල්ලිම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දු පත්‍රයක් එවා තිබුණා. උපවාසය නැවතුණා. මහාචාර්ය ඩයස් නිරුපද්‍රිතව ගෙදර ගියා. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ පසු කලෙක ජ.වි.පෙ. නායකයෙකු ලෙස ඝාතනයට ලක් වූ ඩී. එම්. ආනන්ද විජයග්‍රාහී කතාවක් පවත්වමින් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියා.

 

විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා තිබූ හෙයින් පොදු ශිෂ්‍යයන් ප්‍රමුදිත මනසින් යුතුව ගෙවල් දොරවල් බලා පිටත් වුණා. පසුදා පිටත්ව යන අදහසින් රැඳී සිටි අප වැනි පිරිස මහ රෑ සරසවි බිම අත්පත් කොටගත් ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණියේ කාරුණික ආරක්ෂාව යටතේ මහ රෑ මහනුවර බස් නැවතුම වෙත බලහත්කාරයෙන්, එහෙත් කිසිදු විරෝධයක් නොමැතිව ගෙනැවිත් අතහැර දමනු ලැබුවා.

 

මාස ගණනාවකට පසු විභාග සඳහා සරසවිය විවෘත වෙද්දී උපකුලපතිවරයාගේ පොරොන්දු පත්‍රය කුණු කූඩයට විසිවී තිබුණා. පංති තහනම්, ශිෂ්‍යභාවය අහෝසි වීම් පෙරපරිදිම ක්‍රියාත්මක වුණා. පොදු ශිෂ්‍යයන් මෙන්ම සරසවියත් දැඩි නිහඩතාවක ගිලුණා. විභාග පැවැත්වුණා. අවසන් වසරේ සිටි අපේ සගයන් විසිරී ගියා.

 

කළු ජූලිය එළැඹුණා. ජ.වි.පෙ. භූගත වුණා. ශිෂ්‍ය නායකයන්ගේ කොඳු කඩාදමා තිබුණා. මා ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නට සිදුවුණා. අපට විරුද්ධව රහස් පොලිසිය පැවරූ නඩුව වසර කිහිපයකට පසු සාක්ෂි නොමැතිකමින් ඉවතට විසි වුණා.

 

සිද්ධියෙන් වසර එකහමාරකට පසු නාවික හමුදා නිළධාරියෙකු ලෙස මා බඳවා ගනිද්දී එම රහස් පොලිසියටම මට විරුද්ධව තමන් විසින්ම පවරනු ලැබූ නඩුවක් මහනුවර උසාවියේ තිබෙන බව සොයා ගන්නට ලැබුණේ නැහැ.

http://nokieekatha.blogspot.co.uk/

(වාර්ෂික සමරු කළඹක පළ කරන්නට සරසවි මතක ලිපියක් ලියන්නට මා පෙළඹවූ කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචි ඉංජිනේරු පත්මා රත්නායකට තුති පුදමි. මේ නොකී කතාව  සංශෝධන සහිතව මෑතදී මුලින් පළ වූයේ එහිය.)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.